විමල් වීරවංශගේ ජාතික ආරක්‍ෂාවක කණස්සල්ල - ජයවික‍්‍රම සූරියබණ්ඩාර

විමල් වීරවංශගේ ජාතික ආරක්‍ෂාවක කණස්සල්ල - ජයවික‍්‍රම සූරියබණ්ඩාර

16 September 2019 07:00 pm

අදින් දශක තුනකට ඉහතදී මහමග දැවී ගිය තම පාසැල් මිතුරකුගේ මළකඳක් අලෙවි කරමින්ද, උග්‍ර වාමාංශිකයෙකු ලෙස වෙස් වළාගනිමින්ද විමලසිරි ගම්ලත් නමින් ජාතිය ගළවා ගන්නට ආයේ යැයි කියමින් එක්තරා මිනිසෙකු 1994 අගෝස්තුවේ ලාංකේය දේශපාලන වේදිකාවක මොරගෑවේය. ඔහු වනාහී අද පා.ම. විමල් වීරවංශ නම් මහා දේශප්‍රේමියාය. එදා ජාතිය ගළවාගැනීමේ පෙරමුණේ ‘මල්බඳුන’ ලකුණ වෙනුවෙන් ඡන්ද එකතු කිරීම සඳහා දේශපාලන වේදිකාව මත ‘විමලසිරි ගම්ලත්’ නැමැත්තා බෙරිහන් දුන්නේ, සහෝදරයා සහෝදරිය, අම්මේ තාත්තේ, මේ පාර නම් වරද්දාගන්න එපා ! මේ වතාවෙත් වරද්දාගෙන කෙළවා ගන්න එපා කියාය. ඔහු එසේ බෙරිහන් දුන්නේ ධනේශ්වර පක්‍ෂවලට ඡන්දය දීමට බලා සිටිවුන් ඉලක්ක කොටය. ඒ, රැවටිලිකාර ධනේශ්වර පක්‍ෂ දේශපාලනයේ තරම එදා සිටි විමලසිරි ගම්ලත් නැමැත්තා මැනවින් දැන සිටි නිසාය.

ඉක්බිති ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප දේශපාලනයට රුචි කළාවූ ලාංකේය ජනසමාජය 1994 න් පසු මැතිවරණවලදී සීනුව ලකුණින් ඡන්ද පත්‍රිකා බලගන්වන්නට වූයේ ප‍්‍රධාන ධාරාවේ දේශපාලනය අරබයා තිබූ විශ්වාසය දිනෙන් දින බිඳ වැටීමේ වේගය තීව්‍ර වෙමින් තිබූ නිසාය. මෙරට ඡන්දදායකයාගේ ඡන්ද සත්කාරයෙන් උමතුභාවයට පත් වූ විමල් වීරවංශ ප‍්‍රමුඛ ජවිපෙ නායකත්වය ඡන්ද ගොඩ ලොකු කොට ගැනීම වෙනුවෙන් ඔ්නෑම දෙයක් කළයුතු යැයි යන ස්ථාවරයකට පැමිණීමේ ප‍්‍රතිඵලයක් ලෙස, 2002 පෙබරවාරියේ සිට දේශප්‍රේමයෙන් ඔත්පල වූයේ, යන්න ආයේ කොහේදැයි යන්න පවා අමතකවය.

ඒ, එවක අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ වේලුපිල්ලේ පිරභාහරන් අතර අත්සන් කළා වූ සටන් විරාම ගිවිසුම පසුබිම් කොට ගෙනය. ඒ වනවිට විමලසිරි ගම්ලත් සහෝදරයා විමල් වීරවංශ මන්ත්‍රී වී සිටියේය. 1994 දී වේදිකා මත මොර ගෑ, නිකට මත රැවුල වවා ගත් මහා මාක්ස්වාදියා 2002 වසරේ සිට වසර 06 ක් පුරාවට දියත් කළාවූ දේශහිතෛශී දේශපාලනයට යටත්ව දිරවාගත නොහැකි තරමේ වෘෂභකරණයකට ගොදුරු වූවේය. ‘විමල් වීරවංශ දේශපාලනය’ සිය වැරදි මාත‍්‍රාවන් සහිත දේශප්‍රේමය ජවිපෙට ඔරොත්තු නොදුන් නිසාවෙන් ‘මහින්ද අයියාගේ මැදමුලන වලව් පොජ්ජ’ වෙත ඇදී ගියේ සිය විමුක්ති සටනේ ගමනාන්තය පුද්ගලිකත්වය නැමති දහජරාවක ගිල්වා තබාය. ඒ යන්නට නොහැකි වූ වන්දනා චාරිකාවන්ගේ අඩුපාඩු ගැනද සමාජගත කොටය. එතැන් සිට රාජපක්‍ෂ දේශපාලනයට දේශපේ‍්‍රමයේ සිනිඳු සළු අන්දවමින් පෙරට ගෙන ගියේ ජවිපෙ තුළ හෙබවූ ස්වාධීන නායකත්වයට වඩා ‘කඩේ යන්නෙකුගේ භූමිකාව’ මැනවින් පත්තියම් වූ නිසාය. ඒ පත්තියම් වීම විමල් වීරවංශ කුටුම්භය ශක්තිමත් කරන ලද්දේ ඉතා සරු සාරවත් ලෙසය. එබැවින් වීරවංශ දේශපාලනයට දේශප්‍රේමය වූකලී සිය ජීවන වෘත්තිය බවට පත්වූයේ රාජපක්‍ෂ කඳවුරේ චතුර ලෙස මෙකී සටන් පාඨය හැසිරවීමට සමතෙකු තවත් නොවුණා වූ නිසාය.

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් රාජපක්‍ෂ කඳවුරේ දේශපාලනය කේන්ද්‍ර වී තිබෙනුයේ දේශප්‍රේමය සහ ජාතික ආරක්‍ෂාව පදනම කොට ගෙනය. මේ දේශපාලනයේ ප‍්‍රධාන ශබ්දවාහිනී යන්ත‍්‍ර දෙක ලෙස ක්‍රියාත්මක වනුයේ වීරවංශ - ගම්මන්පිල දෙබෑයන් වන අතර ගම්මන්පිල ජනමාධ්‍ය භීෂණකරුවා වද්දී, වීරවංශ වේදිකා සටන්කරුවා වී සිටී. ඒ ජාතික අනාරක්‍ෂාවේ විපත්තියෙන් රට ගළවා ගත්තේය යන පුරසාරමක් දොඩනා ගෝඨාභය දේශපාලනය වෙනුවෙන් කඩේ යාමේ ප‍්‍රමෝදයෙන් උත්සන්නවය. ලාංකේය ජාතික රාජ්‍යය අනාරක්‍ෂාවකට ගොදුරු වනුයේ සහාය ක්‍රීඩක ද්විත්වයක පක්‍ෂ දේශපාලනය හරහාය. නමුත් වීරවංශ දේශපාලනයට අනුව දේශද්‍රෝහී අපතයා එක්සත් ජාතික පක්‍ෂය සහ රනිල් වික‍්‍රමසිංහය. රාජපක්‍ෂවරුන් දේශප්‍රේමීන්ය. වීරවංශ දේශපාලනයට මේ වාසි සහගත තත්වය අත්පත් වූයේ වික‍්‍රමසිංහ පාලනය 2002 දී අත්සන් කළ සටන් විරාම ගිවිසුම සහ රාජපක්‍ෂ පාලනයේදී යුද්ධය අවසන් වීමේ යථාර්ථයයි. ඒ අනුව යුද්ධය දිනූවුන් දේශප්‍රේමීන්ය. ගිවිසුම් අත්සන් කළවුන් දේශද්‍රෝහීන්ය. නමුත් ප‍්‍රශ්නය වන්නේ යුද්ධය අවසන් කළවුන්ද යුද්ධය අවසන් වීමට පෙර දේශයට සතුරු ගිවිසුම් අත්සන් කොට ඇති යථාර්ථය වීරවංශ දේශපාලනය විසින් යටිමඩි ගැසීම වේ. ඒ යටිමඩියට අනුව 2007 වසරේදී ගෝඨාභය රාජපක්‍ෂ සහ රොබට්  ඕ. බ්ලේක් විසින් අත්සන් කළ ගිවිසුම දේශප්‍රේමීය. එහි දිගුව වික‍්‍රමසිංහ අත්සන් කරද්දී එය දේශද්‍රෝහීය. ජාතික ආරක්‍ෂාවට පටහැනිය. සිය සහෝදර සටන්කරුවෙකුගේ ශෝචනීය ජීවන ඉරණම හුවා දක්වමින් විප්ලවවාදී සළුපිළියෙන් සැරසී දේශපාලනයට කඩා වැදී දේශපාලන නිවටයෙකු සිය සටන් සගයාවගේ සුසානයට සුළුදිය පහ කරමින් සිටිනුයේ දේශපාලන විපරිතයෙකු ලෙසය. 

2010 දී ජවිපෙ නැමති සිය දේශපාලන ගුරුවරයා තරු හතරේ ජෙනරාල්වරයෙකු ජනපතිධු රය කරා මෙහෙය වද්දී එදා විමල් වීරවංශ ජවිපෙට සිහිපත් කොට දුන්නේ රජයේ ආරක්‍ෂක හමුදා අතින් මියගිය ජවිපෙ සටන් සගයන් ගැනය. ලැජ්ජා විරහිත වැඩ කටයුතු සඳහා වමෙන් පෙකෙනි වැල කපා ගත් වීරවංශට හිරිකිතයක් නැත්තේ, තමන් කරන්නේ සිය ගුරා කළ දේවල් මිස අන් යමක් නොවේය යන ආකල්පය සහිතවය. නමුත් ප‍්‍රශ්නය තිබෙන්නේ විමලසිරි ගම්ලත් නැමැත්තා එදා 1994 දී කියා සිටි දේශපාලනයට අද වනවිට අයිතිකරුවෙකු නැති වීම වේ. ගෝඨාභයට කඩේ යන වීරවංශට එරෙහිව ජවිපෙට මතවාදී අවි අමෝරා ගත නොහැක්කේ තමන්ද එවන් ගොන්පාට් රඟ දක්වා ඇති නිසාය. එබැවින් වීරවංශගේ ජාතික ආරක්‍ෂාව අනතුරේ දේශපාලනය වනාහී සිය පැවැත්මේ දේශපාලනය මිස කිසිදු ජනතාවාදී හෝ ජාතිකවාදී දේශපාලනයක් නොවේ. 1994 දී විමලසිරි ගම්ලත් කීයේ, ‘යකා කනකොට මුහුදට පැනීමත්, මුහුදේ ගිළෙන විට ගොඩ දිව ඒමත්’ වෙනුවට නව විකල්ප දේශපාලනයක් සොයා ගත යුතු යැයි කියාය. පසුව මාක්ස්වාදී විමලසිරි ගම්ලත් දේශප්‍රේමී විමල් වීරවංශ විය. ක‍්‍රමවිරෝධී ජවිපෙ රාජපක්‍ෂ විරෝධීන් විය. 

ඒ අනුව දේශප්‍රේමය කදිම ආර්ථික ආයෝජනයක් වී ඇති අතර රාජපක්‍ෂ විරෝධය ගොන්පාට් වී ඇත. මෙවන් යථාර්ථයක් තුළ දේශපාලනයක්ද ඇත. ඒ ජාතික ආරක්‍ෂාව අනතුරේ යන කණස්සල්ලක් සහිතවය. මේ කණස්සල්ල පිටුපස ඇති ජාතික ආරක්‍ෂාවේ හත්ඉලව්වක් නැත. ඇත්තේ නඩුවලින් බේරීසිටීමේ උත්සුකයක් පමණි. එක්සත් ජාතික පෙරමුණු පාලනයේ දූෂිත බළලා රාජපක්‍ෂ දූෂණයේ මීයා හඹා එනු ඇතිය යන සැකසංකාවන් සඳහා තබා ඇති අලුත්ම නාමකරණය වන්නේ ‘ජාතික අනාරක්‍ෂාවයි’. නමුත් පක්‍ෂ විපක්‍ෂ දේශපාලනයේ මහත්වරුන් ජාතික ආරක්‍ෂාවට කොතෙක් වගකියන්නේද යන්න සනාථ කොට තබා නික්ම ගියේ මරාගෙන මැරුණා වූ සහරාන් සහ පිරිසය. ඒ රාජපක්‍ෂලාද වික‍්‍රමසිංහලාද එකම කසළ බඳනක් වෙත ඇද දමාය. ‘ජනමිත‍්‍ර හඬ’ අප මෙරට ජනයාට කියා සිටිනුයේ ‘ජාතික ආරක්‍ෂාව’ යනු ඊනියා දේශප්‍රේමීන්ගේ ස්වකීය දූෂණ හංගා ගැනීමක් නොව, ඊට එහා ගියාවූ පුළුල් මාතෘකාවක් බව අවබෝධ කොට ගන්නා ලෙසයි.