කිලී මහරාජාගේ චට-පට නිවේදිකාව සහ ජවිපෙ පිට කොන්ද

කිලී මහරාජාගේ චට-පට නිවේදිකාව සහ ජවිපෙ පිට කොන්ද

15 September 2019 11:38 pm

ජනතා විමුක්ති පෙරමුණ අලුත් වී තිබේ. කිලී මහරාජාටත් නතර කර ගන්නට බැරි තරමට...!

පසුගිය දිනෙක සිරස ටී.වී. ඔස්සේ විකාශය වූ ‘සටන‘ සජීවී දේශපාලන සංවාද වැඩසටහනේදී කිලී මහරාජාගේ ප්‍රියතම ‘නිවේදිකාවක‘ (?) වන යුරේකා ගඟබඩ, ජ.වි.පෙ. වසන්ත සමරසිංහ සමග පැටලෙන්නට පටන් ගන්නේ මෙසේ ය. 

‘‘මගෙ අතේ තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. හැබැයි මේක කියවනකොට මට හිතුණා එක්සත් ජාතික පක්ෂයේ ගනුදෙනුවක්ද මේ කරන්නෙ කියලා.. 104 පිටුවෙ තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා කියලා... ප්‍රසිද්ධ වේදිකාවක ඔබතුමන්ලා මේ වෙනුවෙන් පෙනී සිටලා කතාබහ කරල තියෙනවද..?මේ පළවෙනි අවස්ථාව නෙවෙයි...?“

යුරේකා ඇස් ලොකු කරගෙන - චට පට ගායි. අඩුම ගානේ ඇය ගෝල්ෆේස්වත් දැක නැති සෙයකි. ඇය වචන විදිමින් පැටලෙන්නට හදන තැන පැහැදිලි ය. නමුත් වසන්ත සමරසිංහ ඊට වඩා පැහැදිලි ය. ඔහු සදය සිනහවකින් මුව සරසාගෙන එයට සුපැහැදිලි පිළිතුරක් ලබා දෙයි. 

ඒ අනුව මුලින්ම ඔහු එම ප්‍රශ්නය යොමු කිරීම සම්බන්ධයෙන් නිවේදිකාවට ස්තූති කරයි. 

‘අපි දන්නා තරමින්‘ යැයි නිවේදිකාව ලිස්සා යමින් දොඩවන වචන මුලින් ප්‍රශ්න කරමින්, ‘‘ඔබතුමිය දන්න ජනතා විමුක්ති පෙරමුණ කෝකද දන්නෙ නෑ?“ යැයි ප්‍රතිප්‍රශ්නයක් නගයි. 

නමුත් නිවේදිකාව ඉවසීම තබා නිවේදන වෘත්තියේ අනිවාර්ය අංගයක් වන ඇහුම්කන් දීමවත් ප්‍රගුණ නොකළ තැනැත්තියකි. ඇය දිගටම අතේ ඇති පොත පෙන්වමින් චට-පට ගායි. 

ජවිපෙ වසන්ත සමරසිංහ මෙවිට ඉතා තැන්පත්ව පන්දුවට පහර දෙන්නේ මෙසේ ය. 

1. යුරේකා අත ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය නොව ජවිපෙ ද කොටස්කරුවෙකු වන ජාතික විද්වත් සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. ජ.වි.පෙ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියේදී එළිදකිනු ඇත.
(ඒ අනුව යුරේකා ගඟබඩ, අතේ තියෙන පොතේ මාතෘකාවවත් කියවා නැති අතර ජාතික විද්වත් සංවිධානය යනු අනුර කුමාර දිසානායක ජනපති අපේක්ෂකයා බවට පත් කළ ජාතික ජන බලවේගය නොවන බවත්, එනමුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති බොහෝ කරුණු එහි අන්තර්ගත වනු ඇති බවත් පැහැදිලි කර දීමට විශාල ගුවන් කාලයක් මිඩංගු කිරීමට සිදු වේ.)

2. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස හැමදාම සියලු ලිංගික වෙනස්කම් සහිත මිනිසුන් එක හා සමාන ලෙස පිළිගන්නා පක්ෂයකි. 

යුරේකා ගඟබඩ හෝම්වර්ක් කර පැමිණ තිබුණේ නම්, වසන්ත සමරසිංහ ‘පුළුවන් නම් එක අවස්ථාවක් කියන්න‘ යැයි සන්සුන් ලෙස ඇයට අභියෝග කළ මොහොතේ සමරිසි ප්‍රජාව ගැන මොළය නැති ප්‍රකාශයක් කරමින් ජවිපෙ දොස්තර විසින් කලකට ඉහතදී කළ ප්‍රකාශය ඇයට සිහිපත් කළ හැකි විය යුතුව තිබිණි. එනිසා ඇයට අවසානයේ සිදුවන්නේ වසන්ත සමරසිංහගෙන් සමරිසි ප්‍රජාව ගැන කදිම දේශනයකට ඇහුම්කන් දෙන්නට ය. 

ඒ අනුව සමසිරි භාවය (වසන්ත සමරසිංහ මෙහිදී පාවිච්චි කරන්නේ ‘සමලිංගික‘ යන යෙදුමයි) සමරිසි භාවය ජීව විද්‍යාත්මක කාරණයක් බව යුරේකාට උගන්වයි. ඔහු එය සිදුකරන ආකාරය අපූරු ය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් ගෝල්ෆේස් රැළියේදී සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිගත් ආකාරය තරමටම එය ප්‍රශංසනීය ය. ඔහු එය තර්කානුකූල ලෙස පෙළගස්වමින් නිවේදිකාව නිරුත්තර කරන්නේ මෙසේ ය. 

1. සමරිසිභාවය ජීව විද්‍යාත්මක කාරණයකි. ජීව විද්‍යාත්මක කාරණයකට හිනා වන්නේ, ඔවුන්ව වෙනස් කොට සලකන්නේ සමාජයේ නොදන්නා කම නිසා ය. 

2. ඒ අනුව කවුරුන් හෝ සමරිසි භාවයට හිනා වෙන්නේ නම් ඔවුන්ව එසේ හිනාගස්සන්නේ නොදන්නා කම විසිනි.
(මෙවිට යුරේකාට කට උත්තර නැති වන අතර ඇය අපහසුවෙන් ඔළුව වනයි)

3. මිනිසුන්ගේ මොළයේ හෝමෝන වෙනස්කම් විසින් ඇතිකරන ජීව විද්‍යාත්මක වෙනස්කම් මිනිසුන් ලෙස අප පිළිගත යුතුය. 

5. වසන්ත සමරසිංහ පිරිමියෙකු ලෙසත් යුරේකා ගඟබඩ ගැහැනියක ලෙසත් ඉපදී තිබෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස්කමක් නිසා ය. 
(යුරේකා තක්බීර් වී බලා සිටියි)

6. දියුණු ලෝකයේ සමරිසි ප්‍රජාව අනු කොටස් ගණනාවකට අයත් බව වසන්ත සමරසිංහ කෙටියෙන් කියයි. එය දීර්ඝ වශයෙන් පැහැදිලි නොකිරීම ගැන අප ඔහුට ස්තූතිවන්ත විය යුත්තේ එසේ වූවා නම් නිවේදිකාව ක්ලාන්ත වී බිම ඇද වැටෙන්නට පවා පුළුවන් කම තිබුණු නිසා ය. ‘‘නොදන්නා කමට ඉතිං අපිට ගොඩක් දේවල් සාකච්ඡා කරන්න බැරි වෙයි මේ වෙලාවෙ.. ඔබ අහපු නිසා කියන්නෙ..“ යනුවෙන් වසන්ත සමරසිංහ අවසානයේ හරවා පහරක් ද හීනියට එල්ල කරයි.     

මේ නිවේදිකාවට සමරිසි භීතිකාව (හෝමෝෆෝබියාව) ට අමතරව තවත් භීතිකා රැසක් පවතින බව ඇය විසින් ෆේස්බුක් හි සිදුකරන ප්‍රකාශයන්ගෙන් මනාව පැහැදිලි වේ. ඒ අනුව ඇයට NGO භීතිකාව තිබේ. එය ඇයට  ඇති පුද්ගලික MR ලැදියාවත් සමග ඇති වූවකි. මේ අනුව තමන් වැඩකරන සේවාස්ථානයේ වැඩසටහන් සම්බන්ධයෙන් පවා ඇයට ලිං මැඩි මානසිකත්වයෙන් යුතුව තමන්ගේ පුද්ගලික අදහස් එක් කරයි. ඕනෑම කෙනෙකුට තමන්ගේ ෆේස්බුක් පිටුවේ පුද්ගලික අදහස් ප්‍රකාශ කළ හැකි බව අප පිළිගන්නා නමුත් මාධ්‍යවේදියෙකු සාමාන්‍ය පුරවැසියෙකුට වඩා වගකීම් සහගත අයෙකු බවට වන ජනමාධ්‍ය හෝඩියේ අයන්නවත් ඇය කියවා තිබේද?

යුරේකා වැනි මාධ්‍යවේදීන් සජීවී රූපවාහිනී වැඩසටහනකදී වත් මෙසේ සෙන්සිටයිස් කිරීම ගැන ද ජ.වි.පෙට ස්තූතිවන්ත විය යුතුය. ලංකාවේ සාමාන්‍ය සිවිල් සමාජය මේ සා හෝමෝෆෝබික් වීමේ මහනඩුවේ පළමු විත්තිකාරයා වන්නේ ද ජනමාධ්‍ය ය. සාමාන්‍ය ජනතාවට මේ සම්බන්ධයෙන් ඇති සංවේදී කම හෝ දැනුවත්කම හෝ බොහෝ ප්‍රධාන මාධ්‍යවල සේවය කරන්නන් හට නැත. LGBT අයිතිවාසිකම් පිළිබඳ සිදුකෙරෙන වැඩසටහන්වලදී ලංකාවේ පොදු මාධ්‍ය සහභාගිත්වය කෙබඳුද යත්, ප්‍රවෘත්ති සංස්කාරක හෝ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ පැමිණිය යුතුව තිබෙන විටෙක ඔවුහු තමන් වෙනුවට ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් හෝ ආධුනික මාධ්‍යවේදියෙක් එවති! ඉතින් යුරේකලා ගඟබඩලා දුසිම් ගණනින් මාධ්‍ය සමාජය තුළ පැටව් ගැසීම අරුමයක් නොවේ. එනිසා මේ ලිපිය හුදෙක් මෙම නිවේදිකාව ඉලක්ක කරගෙන ලියන ලද්දක්ම නොවන බව ද සලකන්න!  

මාධ්‍යයට පවා නැති මේ සංවේදී කම සහ දැනුම ජවිපෙ වැනි අතීතයේ ‘පිරිමි පාට් පිරුණු‘ පක්ෂයක් අත්පත් කර ගත්තේ කෙසේද යන්නත්, ලංකාවේ කිසිදු ප්‍රධාන පක්ෂයක් මේ දක්වා එයට අසමත් වූයේ මන්ද යන්නත් සොයාබැලීම වෙනම පර්යේෂණ මාතෘකාවකි. කෙසේ වෙතත්, සමරිසි යැයි ලෝකයම දන්නා, නමුත් ඒ වෙනුවෙන් එක ඇහිපිල්ලමක් හෝ ගසා නැති එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ කොටස්කරුවන් වූ අවිචාර සමයක ජවිපෙ මේ භයානක තුරුම්පුව අතට ගැනීමම අති නිර්භීත පියවරකි. මන්ද යත් මේ මොහොතේ මේ මාතෘකාව වෙනුවෙන් පෙනී සිටීමම, මේ හෝමෝෆෝබික් රටේදී අති අවදානම් බැවිනි. එබඳු අවදානමක් ගැනීමට නම් දේශපාලන පක්ෂයකට කැල්සියම් බහුල කශේරුකාවලින් සුසැදි ශක්තිමත් කශේරුවක් අවශ්‍ය ය. අවම වශයෙන් වසර 71කට පසු ලංකාවේ එවැනි පක්ෂයක් බිහිව තිබීම සාධනීය ය. රතු කමිසකරුවන්ට මේ මොහොතේදී අප විශේෂයෙන්ම ආචාර කළ  යුතු වන්නේ එනිසා ය. 

- ක්‍රිෂාන්ති රාජපක්ෂ