අද ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජාත්‍යන්තර දිනයයි

අද ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජාත්‍යන්තර දිනයයි

15 September 2019 01:30 pm

සියල්ලෝම තම තමන්ගේ ප්‍රජාතන්ත්‍රික අයිතිය ඉල්ලමින් සිටින යුගයක අප මේ තල්ලු වෙමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත සමාජයකටද යන්න පිළිබදව අප විසින් නැවත නැවතත් සිතා බැලිය යුතුව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2007 වසරේදී ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන දිනය ලෙස සැප්තැම්බර් 15 වන දිනය නම් කරන ලදී. මෙවර ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජාත්‍යන්තර දිනයේ තේමාව වී ඇත්තේ සහභාගීත්වයයි. එක්සත් ජාතීන්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගෙනුයේ අන්තහ්කරණය‍ , සමාන ලෙස සැළකීම, සහභාගීත්වය යන මූලික කරුණු පදනම් කර ගනිමිනි. ඒ අනුව සාමය, මානව අයිතිවාසිකම් ,තිරසාර සංවර්ධනය,දේශපාලනයෙහි සහභාගීත්වය , ප්‍රජා අවකාශය, සමාජ සංවාද යන කාරනාවන් යහ පාලනයක් සදහා මූලික පදනම සපයයි.

ප්‍රජාතන්ත්‍රවාදය යන්නට විවිධ අර්ථ කථනයන් විවිධ අවස්ථාවල වරින් වර ඉදිරිපත් වී ඇති අතර ඉන් මූලික සංධිස්ථානීය අර්ථ කථනයන් කිහිපයක්ම ගෙන හැර දැක්විය හැකිය. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ 16 වන ජනපතිවරයා විසින් 1983 වසරේ දී ප්‍රජාතන්ත්‍රවාදය යන්න අර්ථකථනය කරමින් පැවසුවේ ප්‍රජාතන්ත්‍ර වාදය යනු ජනතාව විසින් ජනතාව උදෙසා ක්‍රියාත්මක කරන ජනතාවගේ ආණ්ඩු ක්‍රමයාක් බවයි. නූතන ප්‍රජාතන්ත්‍ර වාද නැමති ග්‍රන්ථය රචනා කරමින් බ්‍රයිස් ජේ Bryce J නැමති මහාචාර්ය වරයා පවසන්නේ ”සුදුසුකම් ලත් පුරවැසියන් බහුතරයක් සදහා රාජ්‍ය පාලනයට සහභාගී වීමට ඉඩ සැළසෙන ආණ්ඩු ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය යන්නයි.”

මෙකී අර්ථකථනයන් දෙස බැලූ විට පෙනී යන්නේ දේශ පාලනික වශයෙන් සංවිධානය වූ සමාජයක් තුළ ජීවත් වන සියළුම පුද්ගලයන් කොටස් කාරයන් වන ක්‍රමවේදයක් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස සරලව අර්ථකථනය කර ගත හැකි බවයි.

වත්මන් මිනිස් සමාජය තුළ සියල්ලෝම තමන් ට ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකම් තහවුරු විය යුතු බවට විශ්වාස කිරීම දැකිය හැකි වුවත් ප්‍රජාතන්ත්‍රවාය යන්න අර්ථ දැක්වීමේදී එය එය දේශ පාලකයන්ට අයත් කාරණයක් ලෙස අවධානය යොමු කරන ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ බොහෝ රටවල ජනතාව විශේෂයෙන්ම සිය ප්‍රජාතන්ත්‍රික අයිතීන් භුක්ති විදීම හෝ ඒ වෙනුවෙන් අවශ්‍ය පසු බිම සකසා ගැනීම කොයිතරම් දුරට සිදු කරනවාද යන්න ගැටළුවක් වී ඇත. බොහෝ දුරට සිදු වන්නේ ප්‍රජාතන්තන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් සදහා අවශ්‍ය නායකයින් කෙසේ විය යුතුද හා ඔවුන් කවුරුන්දැයි යන්න අවබෝධයකින් තොරව නායකයින් පත් කර ගැනීමයි.

මී ළග ප්‍රශ්නය වන්නේ එකී අවබෝධය නොමැතිව පත් කර ගන්නා නායකයින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ජනතාව වෙත ලබා දීමට කටුයුතු තරන්නේ කෙසේද යන්නයි. වර්ථමානය වන විට ශ්‍රි ලංකාවේ සමාජ ක්‍රමය දෙස බැලූ විට අපට පෙනී යන කරුණක්ව වන්නේ අතීතයේ පැවති සමාජ සම්ප්‍රධායන් මෙන්ම විභේදනයන් වූ කුල ක්‍රමය හෝ ඇති හැකි හා නැති බැරි පරතරය වෙනුවට අද වන විට දේශ පාලකයා හා මහ ජනතාව ලෙස ඉරකින් බෙදා වෙන් කළ හැකි තරමට සමාජය විභේදනය වී තිබීමය.. දේශ පාලකයන් , දේශ පාලකයන්ට හිත වත් පිරිසි, දේශ පාලකයන්ට හිතවත් ව්‍යාපාරිකයන් , දේශ පාලකයන්ට හිතවත් මාධ්‍ය  මේ ආදී කොටස් එක් පාර්ශවයකටත් දේශ පාලකයන්ට ඡන්දය ලබා දුන්නද ඔවුන්ව පෞද්ගලිකව නොහදුනන ඡන්දය දීමට අමතරව අනෙකුත් දේශ පාලන කටයුතු වලට සම්බන්ධ නොවන පුද්ගලයන් තවත් පාර්ශවයක්ද ලෙස අද සමාජය විභේදනය වී ඇත. එහිදී පළමු පාර්ශවය තමන් බලයේ සිටින තාක් ඉපැයීමට සහ අයිති කර ගැනීමට උත්සහා කරමින් සිටින අතර දෙවන පාර්ශවය එහි ඵල විපාක විදිමින් සිටිති.


ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය කෙතරම් ප්‍රායෝගිකද යන්න ඉදිරිපත් වූ අදහස් තුළ එක එල්ලේම අප ඉදිරියේ තිබිය යුතු ප්‍රශ්න විය යුත්තේ සාමාන්‍ය ජනතාව පාලනයට, ශක්‌තිමත් ද? – පාලනයට ශක්‌තිමත් කොටස්‌ මතු වන්නේ කෙසේද? – දේශපාලනය තුළ පාලකයාගේ භූමිකාව කෙබඳුද? – ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට අවශ්‍ය නායකයන් කව්ද? – ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද? – ජනමාධ්‍ය කොතෙක්‌ දුරට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට වැදගත්ද? ආදී ප්‍රශ්නයි.

නමුත් වත්මන් සමාජය විසින් ප්‍රජාතන්ත්‍රවාදය කඩවීම් වල ඵල විපාක විදිමින් සිටිනු විනා එවැනි ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමක් සිදු කරනු අද අපට දැකිය නොහැකිය.

ජනතාව විසින් තමන්ව පාලනය කිරීම සදහා ප්‍රජාතාන්ත්‍රික ලෙස නායකයන් පත් කර ගත් පසු ඔවුන් කලක් යන විට ඒකාධිපතියන් බවට හෝ දූෂණ වාංචා කරුවන් බවට පත් වන්නේ කෙසේද යන්නත් අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. ගෝලීය වශයෙන් ගත් කළ ලෝකයේ රාජ්‍ය්‍යන් බොහෝමයක නායකයන් දූෂණ වංචා සිදු කළ බවට හෙළි වීමත් නැතිනම් ඒකාධිපතියන් ලෙස හිතුමතේ ජනතාවගේ ජීවිත වලට බලපෑම් එල්ල කිරීමත් දැක ගත හැකි වේ.

ඔවුන් බලයට පැමිණන පසු ඔවුන් එලෙස වෙනස් පුද්ගලයන් හෝ කණ්ඩායම් බවට පත් වීම වලකාලීමේ පාර්ශවයන් ගැනද ප්‍රජාතන්ත්‍රවාදය යන්න පිළිබද නිර්වචනයන් තුළ විග්‍රහ කර ඇත

විශේෂයෙන්ම ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දීමට මෙන්ම ආණ්ඩුවේ ඒක පාර්ශවීය හිතුවක්කාරී තීරණ වලට බලපෑමක් වන්නට නම් ශක්තිමත් විරුද්ධ පක්ෂයක්, නිදහස් මාධ්‍ය ක්‍රමයක්, විවිධ සංවිධාන සහ බලපෑම් කණ්ඩායම්, නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධිපත්‍ය, සුළුතරයේ මතය නියෝජනය වීම, සමානාත්ම තාවය, සහභාගීත්වය මේ ආදී සියල්ලක්ම පැවතිය යුතු වේ.

නමුත් වත්මන් ශ්‍රි ලංකාව තුළ විශේෂයෙන්ම මේ කිසිවක් අපට සම්පූර්ණයෙන්ම බලාපොරෝත්තු විය නොහැකි මට්ටමට සියල්ල දේශපාලනීකරණය වී ඇත‍

මේ සියල්ල අභිබවමින් මේ වන විට එක පවුලක් හෝ සීමිත පිරිසක් අත බලය සම්පූර්ණයෙන්ම කේන්ද්‍රගතවීම සහ ජනතාව විසින් එය නිවැරදි බව පිළිගැනීම දැකිය හැකි වී ඇත. මේ හේතුවෙන්ම අද වන විට අප සමාජය තුළ පක්ෂ බේදයකින් තොරව ප්‍රතිපත්තියක් නොමැතිව සැමදා බලයේ රැදෙන්නට හැකි ජනතාවගේ ඡන්දයෙන් පත්වී පසුව තීරණ වෙනස් කරන දේශපාලන නායකයන් ඕනෑ තරම් දැක ගත හැකිවී තිබේ.

මේ අනුව අප සිටින්නේ නාමිකව ප්‍රජාතන්ත්‍රික රටක් මිස ජනතාව විසින් ජනතාව පාලනය කෙරෙන රටකද යන්න තව දුරටත් සංකල්පයක් පමණක් වී ඇත‍

මෙම තත්ත්වයෙන් මිදිය හැක්කේ කෙසේද .. පළමුවෙන්ම අපව පාලනය කරන්නට අපි අපව භාර දිය යුත්තේ කාටදැයි යන තීරණය යම් යම් සීමාවන් තුළ හිද ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන්නේය. එහිදී ජනතාවගේ ඡන්දයකට ඉදිරිපත්වීමට පෙර මහජන නියෝජිතයෙකු වීමට බලාපොරෝත්තු වන්නෙකු වෙත සියල්ලන්ට පොදුවූ සුදුසුකම් පරීක්ෂා කිරීමේ ක්‍රම වේදයක් තිබිය යුතු වේ. එය ඇතැම් විට සම්මුඛ පරීක්ෂණයක් හෝ ලිඛිත විභාගයක් විය හැකිය. එසේ නැතිනම් ඒ දෙකම විය හැකිය. එවැනි කඩ ඉමකින් පසුව ඔවුන්ට ජනතා වරම් ඉල්ලා සිටිය හැකිය. එතෙකින් නොනැවතී, මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ මුදල් වියදම් කිරීම සහා ජනතාවට සමීප පිළිබදව විනිවිදභාවයක් ඔවුන් විසින් පෙන්විය යුතු වේ. තමන් මැතිවරණ ප්‍රචාරණයේදී වියදම් කරන මුදල් තමන්ට ලැබුණ ආකාරව ජනතාව වෙත ලබා දෙන සන්තෝසම් ආදිය ලැබුණේ කෙසේද යන්න පිළිබදව සම්පූර්ණ විස්තරයක් ඔහුගෙන් ලබා ගැනීමට හැතකි වන පරිදි මැතිවරණ නීති සකස් විය යුතුය. එමෙන්ම ධූරය භාර ගත් ධුරය හෙබවීමේදී විනිවිද භාවය සුරක්ෂිත වන අයුරේ ක්‍රයාදාමයක් පැවතිය යුතුය.

මේ ආදී වූ සීමාවන් ගෙන් තොරව ඕනෑම පුද්ගලයකු මහජන ඡන්දයෙන් පත්වීම ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වීමක් ලෙස අප සිතා සිටියද එවිට සිදු වන්නේ බලය තමන්ට කැමති අයුරින් ක්‍රියාත්මක කරන දේශපාලකයන්ට බලයට එන්නට පමණක් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම හා ඉන් පසු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් ඔහුගෙන් උදුරා ගැනීමය.

Hansani Sampath | outboundtoday.com