ප‍්‍රතිපත්ති පිළිබඳ අපේක්ෂාභංගත්වයන්

ප‍්‍රතිපත්ති පිළිබඳ අපේක්ෂාභංගත්වයන්

17 August 2019 02:02 pm

ගිය සතියේ කොළඹ නගර සභාව නාගරික කුණු කසල ඉවත් කිරීමේ කටයුත්ත අත්හිටුවීම නිසා කොළඹ වැසියන් පත්වුණේ මහත් අකරතැබ්බයකටයි. මේ ප‍්‍රශ්නය පාර්ලිමේන්තුව දක්වා යාමට තරම් බරපතල විය. අවසානයේදී එම ප‍්‍රශ්නය යම් තාක් විසඳුණේ අධිකරණයේ මැදිහත්වීමකිනි. කොළඹ නගරයේ කුණු කසල ඉවත් කිරීම නතර කිරීමේ ප‍්‍රශ්නය අවසානාත්මකව අධිකරණය ඉදිරියේ නිරාකරණය කර ගැනෙන තෙක්, කොළඹ කුණුකසල අරුවක්කාලු ප‍්‍රදේශයට ගොඩබෑමට විරුද්ධව එතෙක් සිදුකෙරෙමින් පැවති සියලු විරෝධතා කටයුතු නතර කළ යුතු බවට අධිකරණය පසුගියදා නියෝග කෙළේය. එහෙත් කුණුකසල බැහැර කිරීම පිළිබඳ එක දිගටම පවත්නා ප‍්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ඇති කර ගැනීමට නොහැකි වීම, ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සම්පාදනය තුළ පවතින චිරාගත අසමත්භාවය පිළිබඳ යම් චිත‍්‍රයක් ඇති කරවන අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය. සාමාන්‍යයෙන්, දේශපාලඥයන් සහ රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ නිතර පැනනගින අපේක්ෂාභංගත්වය ගැනත් එ් මගින් යම් අදහසක් අපට ඇති කරගත හැකිය.

මේ කුණුකසල ප්‍රශ්නයේ වගකීම මීට පෙර පැවති ආණ්ඩුවටත් බැරවන්නකි. විසි දෙනෙකුට අධික පිරිසකගේ ජීවිත අහිමි කළ මීතොටමුල්ල කුණුගොඩ කඩා වැටීමේ ඛේදවාචකයෙන් පසු, ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ නොහැකි අබලි ද්‍රව්‍යය, ‘ඉඩම් ගොඩකිරීමේ සහ ඉඩම් සංවර්ධන අධිකාරියට’ අයත් කෙරවලපිටියේ භූමියක ගොඩකරන ලදි. එය ක‍්‍රියාත්මක වන්නේ මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේය.

කෙරවලපිටියේ මේ භූමිභාගයේ කොළඹ කුණු කසල දැමීම සඳහා කොළඹ නගර සභාව සමග ඇති කරගෙන තිබූ ගිවිසුම පසුගිය අගෝස්තු 2 වැනිදා සිට ඉඩම් සංවර්ධන අධිකාරිය විසින් අවසන් කරන ලදී. කොළඹ කුණුකසල පිළිබඳ ප‍්‍රශ්නය උග‍්‍ර වූයේ ඒ පියවර නිසාය. මෙය, අගමැතිවරයා දක්වා ගෙන ගියද තවම නිත්‍ය විසඳුමක් ඇති කරගෙන නැත.

කෙරවලපිටිය වෙනුවට අරුවක්කාලු දක්වා කොළඹ කුණු කසල ප‍්‍රවාහණය කළ යුත්තේ මහාමාර්ග හරහා යැයි මෙගාපොලිස් අමාත්‍යාංශය ඉල්ලා සිටීම කොළඹ නගර සභාවේ විවේචනයට ලක්විය. එසේ ගෙන යාමට සිදුවීමෙන් කොළඹ මහනගර සභාවට මාසිකව දැරීමට සිදුවන වියදම රුපියල් මිලියන 45 කි. එපමණක් නොව දෛනිකව කුණුකසල මෙට්‍රික් ටොන් 200 ක් මහාමාර්ග පද්ධතිය ඔස්සේ ප‍්‍රවාහණය කිරීමෙන් මහජන සෞඛ්‍ය ප‍්‍රශ්නත් ඇති විය හැකි බව කොළඹ මහනගර සභාව පෙන්වා දෙයි. එහෙත් වෙනත් විසඳුමක් නැති නිසා, අරුවක්කාලු භූමිය තව සෑහෙන කාලයකට පාවිච්චි කළ නොහැකි වන තත්වයක් මේ වනවට උද්ගතව තිබේ.

මීතොටමුල්ලේ ඛේදවාචකයෙන් පසු මේ කුණුකසල ප‍්‍රශ්නය විසඳීම සඳහා වැඩි අවධානයක් ඇත්තෙන්ම යොමු විණි. ජාත්‍යන්තර විශේෂඥ දැනුම පවා ලබා ගැනීමට කටයුතු කෙරිණි. එසේ තිබියදී තවමත්, දීර්ඝකාලීන විසඳුමක් මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සොයා ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබී නැත.

ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය අරභයා තිබෙන ප‍්‍රධාන බාධකය වන්නේ, තිරසාර ප‍්‍රතිපත්ති ආණ්ඩුවට නැතිකමයි. යුද්ධයෙන් පසු පාලකයන් සම්බන්ධයෙන් වඩාත් කැපී පෙනෙන දුර්වලතාව වන්නේ එයයි. එසේම දේශපාලඥයන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට තම තමන්ගේ ප‍්‍රයත්නයන් එ්කාබද්ධ කොට හරිහමන් විදිහට යමක් කර ගැනීමට නොහැකි වීම, මහජන ඉවසීම පවා ඉක්මවා යන බලවත් මහජන අප්‍රසාදයක් ඇති කිරීමට මේ වනවිට හේතු වී තිබේ.

නැවත නැවතත් මෙවැනි තත්වයකට මුහුණදීමට සිදුවීම සහ තමන්ගේ කරුණු දැක්වීම් පාලකයන් විසින් සැලකිල්ලට නොගැනීම මහජනතාවගේ පැත්තෙන් ගත් විට බරපතල අපේක්ෂාභංගත්වයක් ඇති කරවන සුළුය. කොළඹ නගර සභාව සහ මෙගාපොලිස් අමාත්‍යාංශය එකිනෙකා කෙරෙහි චෝදනා එල්ල කර ගනිමින් සිටීම මහජනතාවගේ ප‍්‍රශ්නයක් නොවේ. ඔවුන්ගේ චෝදනා සහ ප‍්‍රතිචෝදනාවලින් මහජනතාවට වැඩක් නැත. මහජනතාවට අවශ්‍ය කරන්නේ තමන්ගේ ප‍්‍රශ්නවලට විසඳුමකි. මේ කුණුකසල ප‍්‍රශ්නය විසඳා ගැනීම ලෝකයේ වෙනත් රටවලට මෙතරම් දුෂ්කර ප‍්‍රශ්නයක් වී නොතිබියදී, දේශපාලනය මත පමණක්ම යැපෙන අපේ පාලකයන් කියන නිදහසට කරුණු ජනතාව පිළිගන්නේ නැත.

ශ‍්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21 කට ආසන්නයි. වසරකට එක්කාසු වන ඔවුන්ගේ කුණු කසල ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.3 කි. පරිසර අමාත්‍යාංශයේ 2013 වාර්තාවකට අනුව එයින් ටොන් 6400 ක් ඝන අපද්‍රව්‍යයන්ය. දැන්, මේ තත්වය ඕස්ට්‍රේලියාව වැනි රටක් සමග සන්සන්දනය කළොත් අපේ ප්‍රශ්නය ඉතා සුළු පරිමාණයේ එකකි. එය පවා විසඳා ගැනීමට අප අපොහොසත්ය. එබැවින් දැන්වත් ආණ්ඩුව මේ ගැන තමන්ගේ අදාළ ආයතන සියල්ල සම්බන්ධීකරණය කොට, ප‍්‍රශ්නය තිරසාරව විසඳා ගැනීමට වහා පියවර ගත යුතුව තිබේ.

කෙසේ වෙතත්, මේ වනවිට ආණ්ඩුව, කුණු කසලවලින් බලශක්ති ජනනය කෙරෙන ව්‍යාපෘති පටන්ගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය ඉහළම පෙළේ දියුණු භෂ්මක හෙවත් උදුන් ආනයනය කොට තිබේ. ගොඩකිරීම සඳහා අලුත් ඉඩම් හඳුනාගෙන තිබේ. එහෙත් මේ විවිධ දේවල් විධිමත් කර්මාන්තයක් බවට පත්කර ගැනීමේ නිශ්චිත පියවර මෙතෙක් ගෙන නැත. ඒ කටයුත්ත ලෝකයේ වෙනත් රටවල් සාර්ථක කරගෙන ඇති ආකාරය සැලකිල්ලට ගෙන නැත. එවැනි රටවල් මෙවැනි ප‍්‍රශ්න නිරාකරණය කරගන්නේ කෙසේද, මේ ප‍්‍රශ්නය අරභයා ශක්තිමත් ප්‍රචාරණ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කොට නැත්තේ මන්ද, ඒ සම්බන්ධයෙන් වන නීතිරීති තදින් ක‍්‍රියාත්මක නොකරන්නේ මන්ද, තිරසාර ප‍්‍රතිපත්ති එ් අරභයා භාවිතයට නොගන්නේ මන්ද, මීට වඩා ශක්තිමත් රාජ්‍ය-පෞද්ගලික ව්‍යවසායයන් ආරම්භ නොකරන්නේ මන්ද, මීට වඩා සක්‍රීය වශයෙන් ජනතාව ඒ සඳහා සහභාගී කර නොගන්නේ මන්ද යනාදී ප‍්‍රශ්න අප ඉදිරියේ තිබේ. ශක්තිමත් රාජ්‍ය සේවයක සහ ආණ්ඩුවක පිහිටිගල වන්නේ රටේ ප‍්‍රශ්න විසඳීම සඳහා ඇති කරගන්නා තිරසාර ප‍්‍රතිපත්තිය. තම තමන්ගේ ආයතන අතර කෝන්තර කුමක් වෙතත්, එවැනි තිරසාර ප‍්‍රතිපත්ති හරහා දීර්ඝකාලීන විසඳුම සපයා දීම ආණ්ඩුවේ වගකීමයි.

2019 අගෝස්තු 12 වැනිදා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ, ‘Policy Frustrations’ නමැති කතුවැකිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.