ලංකාවේ පුංචි තේ කඩයකින් රුපියල් ලක්ෂ 2කට තේ කෝප්පයක් බිව් සුද්දා

ලංකාවේ පුංචි තේ කඩයකින් රුපියල් ලක්ෂ 2කට තේ කෝප්පයක් බිව් සුද්දා

23 July 2019 03:32 pm

මේ දිනවල අන්තර්ජාලයේ අතිශය ජනප්‍රිය වීඩියෝවක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන සුදු ජාතිකයෙකු කඳුකරබද කුඩා තේ කඩයකින් රුපියල් 50කට තේ කෝප්පයක් පානය කර ඉන්පසු ඔහුට රුපියල් ලක්ෂ 2 ක් පරිත්‍යාග කරන අන්දම ය. 

මේ සුදු ජාතිකයාගේ නම හැරල්ඩ් බෝල්ඩර් (Harald Baldr) ය. ඔහු ලොව පුරා සංචාරයේ යෙදෙන, පුද්ගල නිදහසට පෙම්බඳින මානව හිතවාදියෙකි. ඔහුගේ යූ ටියුබ් චැනලයට අනුව ලංකාවේ සැබෑ මනුෂ්‍ය කථාන්දර සිය කැමරාව ඔස්සේ තවදුරටත් ලෝකයට බෙදා දෙමින් ලංකාවේ සංචාරය කරමින් සිටියි. මේ ලිපියට පසුබිම් වන පසුබිම් වන වීඩියෝව ඔහු යූ ටියුබයට මුදා හරින්නේ ජූලි 14 වැනිදා I had a $1000 Cup of Tea යනුවෙනි. එයට සමාන්තරව මෙම වීඩියෝව සහ එහි කෙටි සංස්කරණයන් මේ වන විට ෆේස්බුක් සහ වට්ස්අප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ විදුලි වේගයෙන් සංසරණය වේ. ඇතැම් රූපවාහිනී නාලිකාවන්ට ද මෙය රේටින්ස් වැඩි කර ගත හැකි අයිතමයක් බවට පත්ව තිබිණි.

ඔහුගේ කතාන්දර සුද්දන්ගේ ලෝකයට මැජික් ය. ඒ කතාවලට කමෙන්ට් කරන හැරල්ඩ්ගේ ප්‍රේක්ෂකයෝ, තේ කඩයේ තරුණයාගේ දෛනික ආදායම ඩොලර් ශතවලින් ගණන් හදා විස්සෝප වෙති. දුක්වෙති. ඒක වෙන්නට බැරි බව ද කියති..! ලංකාවේ සිටින මෙවැනි තරුණයන් වෙනුවෙන් තව බොහෝ දේ කළ හැකි බවත් කළ යුතු බවත් කියති. නමුත් ඒවා අපට දැනෙන්නේ කෙසේද..?

මේ වීඩියෝවේදී කථා නායක හැරල්ඩ් බෝල්ඩර් ඇල්ල ප්‍රදේශයේ කුඩා තේ කඩයකට ගොඩ වෙයි. සුද්දාගේ නෙත් සිත් පැහැරගන්නා පළමු කාරණය වන්නේ එය පිහිටා ඇති ස්ථානයයි. එය දරුණු බෑවුමක සීරුවෙන් සිටවූ කුලුනු මත නැගී සිටින හුරුබුහුටි, දැවයෙන් කළ නවමු ගොඩනැගිලි පොඩිත්තකි. ඒ හැරුණු විට ඔහුට එහි සිට අවට සොබා සිරි කදිමට නැරඹිය හැකි බව ද සිතෙයි. ඔහු එයට කියන්නේ ‘පුංචි තේ කඩය‘/ ‘ලිට්ල් ටී ෂොප්‘ කියා ය. 

එහි සිටින්නේ තරුණයෙකි. සම්පූර්ණ වීඩියෝව තනි ඡේදයකට ගොනු කරන්නේ නම් හැරල්ඩ් බෝල්ඩර් ඒ තරුණයා සමග කතා බස් කරයි. තරුණයා ඉංග්‍රීසි භාෂාව කෙසේ හෝ හසුරුවා ගනිමින් සුදු ජාතිකයාට පිළිතුරු දෙයි. මේ තේ කඩය ඔහුගේ ය. ඔහුගේම අතින් එය නිර්මාණය කර තිබේ. එය ඇතුළත පිරිසිදු ය. පිළිවෙළ ය. එහි එකම සේවකයා ද ස්වාමියා ද ඔහු ය. කඩයේ තිබෙන්නේ තේ බ්‍රෑන්ඩ්ස් දෙකක් පමණි. ඒවා ඌවේ හොඳම තේ යැයි තරුණයා කියයි. හැරල්ඩ් බෝල්ඩ් තේ කෝප්පයක් පානය කරයි. එහි මිල රුපියල් 50 ක් බව අසා සතුටට පත්වෙයි. බිම තැඹිලි වල්ලක්ද මේසයක් මත අලිපේර ගෙඩි කිහිපයක් ද පෙනේ. දිනකට ඔහුට තේ බිස්නස් එකෙන් ලැබෙන ආදායම රුපියල් 1000 නොඉක්මවයි. එනම්, තේ කෝප්ප 20 ක් උපරිම වශයෙන් ඔහුට මේ කඩයේදී විකුණාගත හැකිය. විදේශිකයා තරුණයාගෙන් විස්තර විමසා, ඔහු මේ කුඩා ව්‍යාපාරය ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ 2 ක බැංකු ණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා මාසිකව රුපියල් 10,000 ක් ගෙවිය යුතු බවත් දැනගෙන, තරුණයාට සුබ පතා යන්නට හැරෙයි. නමුත් ඔහුට උවමනා තරුණයාව පුදුම කරවන්නට ය. ඔහු සිය යතුරුපැදිය වෙත ගොස්, කඩය වෙත ආපසු හැරී එන්නේ එම බැංකු ණය සම්පූර්ණයෙන්ම පියවීම සඳහා අවශ්‍ය ඩොලර් 1100 ක මුදල තරුණයාට පරිත්‍යාග කිරීමට ය. 

මහරජ, මෙවැනි තරුණයන් තවත් සිටියිද?

මෙවැනි තරුණයන් අයත් වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ට ය. ලංකාවේ ව්‍යවසායකයන්ගෙන් 75% ක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වන අතර, එවැනි අය සඳහා ලංකාවේ වෙනම ජාතික ප්‍රතිපත්තියක්ද තිබේලු http://www.industry.gov.lk/web/images/pdf/framew_eng.pdf ඔස්සේ ඔබට ද කියවා බැලිය හැකි මේ පිටු 15 කින් යුතු වාර්තාවේ දැක්වෙන ආකාරයට එමගින් රැකියා වෙළඳපොළෙන් 45%ක් ආවරණය කරන අතර, රටේ දළ දේශීය නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් ලබාදෙයි. (මේ පර්යේෂණ ද දත්ත ද ඔවුන්ගේ ය). බලයට පත්වන සෑම ආණ්ඩුවකටම ‘සුළු හා මධ්‍ය පරිමාණ‘ හෙවත් SME කදිම කටගැස්මකි. ඒවා දියුණු කිරීමට මහා පරිමාණ අයවැය යෝජනා සෑම වසරකදීම ගෙන එනු ලබයි. උදාහරණයක් වශයෙන් 2019 අයවැයෙන් ශ්‍රීලංකා රජය රුපියල් බිලියන 2 ක් වෙන් කරන්නේ මෙවැනි අය වෙනුවෙනි. ඒ වැඩසටහනට ‘නංවමු ලංකා‘ යනුවෙන් නමක් ද තිබේ. මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන මහා පරිමාණ ණය යෝජනා ක්‍රමය වන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ද ඉලක්කය මෙවැනි අය ය. එය ප්‍රවර්ධනය කරන්නේ ‘ඔබ ගෙවන්න ඕනෙ පොලිය මෙච්චරයි. ඉතිරි අච්චරක්ම ගෙවන්නෙ ආණ්ඩුවෙන්‘ කියා ය. මේ තරුණයා රුපියල් දස දහසක් වැනි ‘එච්චරක්‘ ණය මුදලක් මාසිකව ගෙවමින් සිටින්නේ ඔහු නියත වශයෙන්ම ඒ කිසිදු ණය යෝජනා හෝ සහන ක්‍රමයක ප්‍රතිලාභියෙකු නොවන නිසා විය යුතුය. පුදුමයක් නැත. මේ වර්ගයේ ණයක් ගැනීමට සම්මත බැංකුවකට ගිය විට අසන පළමු ප්‍රශ්නය වන්නේ ‘සේවකයො කී දෙනෙක් ඉන්නවද?“ යන්නයි. මේ තරුණයාට සේවකයන් නැත. ඔහු තනිව නැගී සිටින්නට වෙර දරන්නෙකි. එනිසා ව්‍යවසායකයන් වෙනුවෙන් කප්පරක් ව්‍යාපෘති ක්‍රියාත්මක වන මේ රටේ, පාරේ ගිය සුද්දෙකුට තරුණයා අත ඩොලර් මිටියක් තබන්නට සිදු වී තිබේ. ඒ දකින අප නිරාමිස ප්‍රීතියක් විඳිමින් සැනසුම් සුසුමක් හෙළිය යුතුද?

අපට වැරදුණේ කොතැනද?

මේ සුදු ජාතිකයා මේ කළේ කුමක්ද? මේ තරුණයාට ණය නොවී තේ කඩය දමා ගැනීමට තරම් ප්‍රාග්ධනයක් තිබුණේ නැත. එනිසා ඔහු ලක්ෂ 2 ක ණයක් ගෙන තිබේ. එවිට සුද්දා ලක්ෂ 2 ඔහු අතට දෙයි. සැබවින්ම සුදු ජාතිකයා මේ ලබාදුන්නේ තරුණයාට අඩුව තිබු ප්‍රාග්ධන මුදල ය. දැන් මෙසේ සිතන්න. සුදු ජාතික හැරල්ඩ් බෝල්ඩර්ගේ තැන ලංකාවේ ස්වදේශිකයෙක් සිටියා නම් ඔහු කුමක් කරනු ඇත්ද? ඇයි, ලංකාවේ හැරල්ඩ් බෝල්ඩර්ලා නැත්ද..? ඕනෑ තරම් සිටිති. එහෙනම්...?

මෙවැනි තරුණයන්ගේ ධෛර්යය දැක පුදුමයට පත්වන්නෝ, ආහ්ලාදයට පත්වන්නෝ, ඔහුට මුළු හිතින්ම සුබ පතන්නෝ ලංකාවේ ද සිටිති. ඔවුන් අතරින්, සුබ පැතීමට එහා දෙයක් කළ නොහැකි අය මදකට පසෙකින් තබන්න. මේ තරුණයා ‘ස්වශක්තියෙන් නැගී සිටීම‘ ප්‍රශංසනීය ය. නමුත් ඔහුට දවසකට තේ කෝප්ප 20කට වඩා විකුණාගත නොහැක. එතැන ‘සිස්ටම්‘ ප්‍රශ්නයක් තිබේ. ඔහු දැනටමත් ඊනියා ණය යෝජනා ක්‍රමවල පිළිසරණ පතත්නෙක් නොවන බව පැහැදිලි හෙයින්, අපි වෙනත් මගක් සිතමු. උදාහරණයක් වශයෙන් ස්වාධීන රූපවාහිනියේ ‘ඇත්පවුර‘ වැඩසටහනට එන ව්‍යවසායකයන් ගැන මොහොතකට සිතමු. ඔවුන් ‘ඉම්ප්‍රෙස් කිරීම‘ පහසු නැත. තරගකාරී අලුත් ප්‍රඩක්ට් එකක් තිබිය යුතුය. එයට අදාළ හඳුනාගත් වෙළඳපොළක් තිබිය යුතුය. බෙදා හැරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය. එවිට පමණක් 10%ක හෝ 20%ක කොටස් හිමිකමක් තමන් වෙත තබාගෙන ඒ ව්‍යවසායකයන් විසින් තරුණයන්ට අත දෙනු ඇත. මේ සියල්ලම නව ව්‍යවසායකත්වයකට අත්‍යාවශ්‍ය බවත් වැඩසටහනේ ආකෘතියට එය ආකර්ෂණීයත්වයක් එක් කරන බවත් අපිදු පිළිගනිමු. නමුත් අපේ කථානායක තරුණයා මේ කිසිදු කැටගරියකට වැටෙන්නේ නැත. එතැන ප්‍රශ්නයක් ඇත. 

යම් හෙයකින් මේ තරුණයාගේ කුඩා තේ කඩය අසල මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් පැමිණ විශාල තේ සාප්පුවක් දැමුවහොත් කුමක් සිදු වේද?

යම් හෙයකින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක නියෝජිතයෙකුගේ බයිසිකලයක් මේ කඩය දැක නතර වුවහොත් මේ තරුණයාට කුමක් සිදු වේවිද?

කලන්තෙ හැදෙන රටක්!

මේ රට හරි අනාරක්ෂිත ය. ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදුවිය හැකිය. සැබවින්ම ලංකාවේ සාමාන්‍ය ජනතාව එදා වේල ගැට ගසා ගන්නට ‘ගහන ගේම‘ ඇස් අදහාගත නොහැකි තරම් ය. මේ වීඩියෝවට කමෙන්ට් කරමින් බටහිර ජාතිකයෙක් මෙසේ කියයි.

‘‘He says he sells 20 tea a day at 28cents each, thats $5.60 a day, 30ish days in a month thats $168, 10,000rupees payment a month($57), leaves him with $111 a month, or $3.7 a day not even factoring in normal expenses. Unreal.‘‘ - ඔහු කියනවා ඔහුගෙ දවසක ආදායම ඩොලර් 5.60 යි කියා. ඒ කියන්නෙ මාසෙකට ඩොලර් 168 යි. මාසික ණය ගෙව්වාම ඉතිරි වෙන්නෙ ඩොලර් 11 යි. එ් කියන්නෙ දවසකට ඩොලර් 3.7 යි. වියදම්වලටවත් සෑහෙන්නෙ නෑ. මේක වෙන්න බෑ..“

සුද්දන්ට අදහාගත නොහැකි ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයේ සැබෑ කතාන්දරය මෙය ය. යම් හෙයකින් මේ කමෙන්ටුව පළ කළ සුද්දා, මේ වන විට ලංකාවේ ක්ෂුද්‍ර මුල්‍ය අර්බුදයෙන් බැට කමින් සිටින ප්‍රදේශයකට සංචාරය කර ඒ මිනිසුන්ගේ දෛනික ආදායම සහ ගෙවිය යුතු ණය මුදල සසඳා බැලුවහොත්, ආදායමට වඩා පොලිය ද වැඩි බව දැක ක්ලාන්තය හැදී බිම වැටෙනු නිසැක ය. 

තේ කඩයක් දමා ගැනීම වැනි සරල කාරණයකට පමණක් නොව, බේත් හේත් ගැනීම වැනි මූලික අවශ්‍යතා සඳහා පවා ණය ගැනීමට මිනිසුන්ට සිදුවී තිබෙන - ණය සංස්කෘතියම මිස අන් කිසිවක් ප්‍රවර්ධනය නොකරන, මිනිසුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට සැබෑ වැඩපිළිවෙළක් නැති රටක එදා වේල ගැට ගසා ගන්නට වෙර දරන මිනිසුන් අතර මේ තේ කඩයේ තරුණයා දිරිය මිනිසෙකු බව අපි එකහෙළා කියමු. ඒ අතරම ඔහුට ණයක් ගෙවා ගැනීමට- ණයක් නොවන මුදලක් ලැබුණු බැවින් ඔහු වාසනාවන්තයෙකු ද වේ. නමුත් මෙවැනි තරුණයන් මේ රටේ බොහෝ ය. ලංකාව ''A land of opportunities'' යැයි හැරල්ඩ් බෝල්ඩර් උද්දාමයෙන් කියයි. ඔහුගේ මනුසත්කම පිරුණු සුබවාදී හදවතට ගරු කරන අතරම, සැබෑ හැරල්ඩ් බෝල්ඩර්ලා මුලින් බිහිවිය යුත්තේ ලංකාවේ ව්‍යාපාරික සහ දේශපාලක ප්‍රජාව අතරින් බව ද මෙහි සංවේගයෙන් යුතුව ලියා තබමු. 

- රදිකා ගුණරත්න