ජාතියක් වශයෙන් වඳවීම පිළිබඳ පීඩනෝන්මාදයේ යථාර්ථය (1) - චානක ගජනායක

ජාතියක් වශයෙන් වඳවීම පිළිබඳ පීඩනෝන්මාදයේ යථාර්ථය (1) - චානක ගජනායක

23 July 2019 01:00 pm

අපේ ආදිපුරුෂ විජය සහ ඔහුගේ 700 ක පිරිවර ‘සිංහල’ නොවුණි. ඔවුන් බෙංගාලි ජාතිකයන්ය. විජයගේ මිත්තණිය සහ සිංහයෙකු අතර පැවති පශුමෛථුන්‍යයක ප‍්‍රතිඵලයක් සේ ඔහුව සැලකීම, යම් ජනප‍්‍රවාදයක් චමත්කාරයට නැඟූ විචිත‍්‍ර කල්පනාවකි. සිංහ පියාව ඝාතනය කිරීමෙන් විජයගේ පියා පීතෘඝාතකයෙකු විණැයි ජනප‍්‍රවාදයේ කියැවේ. මෙය අපේ ආරම්භය ගැන නරක නාමයක් වන නිසා, මා කැමැත්තේ එය හුදු පුරාණෝක්තියක් වශයෙන් සැලකීමට පමණි. විද්‍යාත්මකව බැලුවත්, ජානමය වශයෙන් බැලුවත්, එවැනි සංවාසයකින් මිනිස් දරුවන් වැදිය නොහැකි බව පැහැදිලිය.

විජයගේ අවකල් ක‍්‍රියාවන් නිසා ඔහුව සිංහපුරයෙන් පිටුවහල් කෙරුණි. එයද හුවාදැක්වීමට තරම් සාඩම්බර ප‍්‍රවේණියක් නොවේ. කෙසේ වෙතත්, ඒ සියල්ලන් ඉන්දියාවෙන් පැමිණි බෙංගාල ජාතිකයන්ය. ඒ කාලයේ ‘සිංහල’ කියා ජාතියක් නොවුණි. ලංකාව එකල අයත්ව සිටි ආදිවාසීන් වුණේ, යක්ෂ සහ නාග ගෝත‍්‍රිකයන්ය. සමහරවිට ද්‍රවිඩයන්ය. විජය, යක්ෂ ගෝත්‍රික කුවේණි සරණපාවා ගැනීමෙන් ඔහුට ලංකාවේ රජකම නොලැබුණි. එවිට ඔහු කෙළේ, රටේ රජ වනු වස්, දකුණු ඉන්දියාවේ පුරාණ දෙමළ රාජ්‍යයෙන් පාණ්ඩ්‍ය වංශික කුමාරිකාවන් 100 ක් ලංකාවට ගෙන්වා ගැනීමයි. ඔවුන්ගෙන් ඔහුට දරුවන් ලැබුණේ නැත. එහෙත් ඔහුගේ ඇමතිවරුන් සහ නිලධාරීන් ඒ දෙමළ කාන්තාවන්ගෙන් දරුවන් ලබන්නට ඇත. එම දරුවන්ගෙන් බාගයක් බෙංගාලි ජාතිකය. බාගයක් දෙමළ ජාතිකය. ඒ සමගම ඔහුගේ සොල්දාදුවන් සහ ඇමතිවරුන් ලංකාවේ පදිංචිව සිටි යක්ෂ සහ නාග ගෝත‍්‍රික ආදිවාසීන්ගෙන්ද දරුවන් ලබන්නට ඇති. ‘සිංහල’ නමැති අලුත් ජාතියක් බිහි වුණේ එලෙසය. ඒ සමගම, රටේ ආදිවාසී ජනතාව විනාශ වී ගොස් ලංකාවේ ‘අනුමාන සැබෑ උරුමකරුවන්ගේ’ තත්ත්වයට ඔවුහු පත්වූහ. කෙසේ වෙතත්, අප වනාහී, බහුවිධ ජානවලින් උත්පාදිත හත්මාළුවකි. එහෙත්, අප කවුරුත් ‘හෝමෝ සේපියානු’ හෙවත් මිනිස් ප‍්‍රාණීන්ය.

මේ ‘හෝමෝ සේපියානුවෝ’ නොනැසී පැවතීම සඳහා හිංසනය පාවිච්චියට ගැනීමට සමත් වෙත්. එය කායික හිංසනය විය හැක. සමාජ හිංසනය විය හැක. ආර්ථික හිංසනය විය හැක. ඒ සියල්ල බලය සමග බැඳී පවතී. මිනිස් සිත මොනතරම් ශූරද යත්, බලහත්කාරය හරහා හෝ වෙනත් අයවළුන් හරහා හෝ සෘජුව හෝ වක‍්‍රව හිංසනය මෑනවීමට එය සමත්ය. අද වනවිට ජනමාධ්‍ය, අන්තර්ජාලය සහ නූතන අවිආයුධ, දුරින් සිට පාලනය කරනු ලබන්නේ සහ මානවනු ලබන්නේ, විශේෂයෙන් අඩු වර්ධන මානසිකත්වයෙන් යුත් ‘හෝමෝ සේපියානුවන්’ විසිනි. මොවුන්ට, ප‍්‍රාථමික චින්තන ක‍්‍රියාවලියෙන් එපිටට සිතීමේ හැකියාවක් නොතිබිය හැකිය. එසේ හෙයින් හිංසනය පහසු කැරැවෙයි. සාමාන්‍ය මිනිසෙකුගේ සිත සහ චර්යාව මෙහෙයවෙන්නේ, අනාරක්ෂාව, තර්ජනය, හිංසනය පිළිබඳ අතීත අත්දැකීම්, ආවේග, ද්වේෂ සහ පලිගැනීම ආදී, මොළයේ හයමකර අංශයෙනි. මොළයේ මේ සර්ප කොටස, වසර 100,000 ක පරිණාමයකි. ‘නොනැසී පැවතීමේ’ ආවේශය හෙවත් ‘එක්කෝ සටන් කිරීමේ, නැත්නම් පලායාමේ’ ආවේශය සක‍්‍රීය කරවනු ලබන්නේ, ‘ඩොපමයින්’, ‘සොරොටොනින්’ සහ ‘ඇඩ්‍රනලින්’ නමැති රසයානික ක‍්‍රියාකාරීත්වයන්ගෙනි. ජාතිය හෝ ආගම වැනි ආකල්ප සේම, හිංසනය සහ බලය වැනි ආවේගත් තැන්පත් කර තැබෙන ස්ථාන වන්නේ එ්වාය. මේ සර්ප මොළය සහ බලය කෙරෙහි ආශක්ත වීම ගමන් කරන්නේ එකටය. මෙවැනි පුද්ගලයන් මෙහෙයවෙනු ලැබෙන්නේ උද්වේගයන්ගෙනි. ඒ උද්වේග, ප‍්‍රාථමිකය. ආක‍්‍රමණකාරීය. සහකම්පනයෙන් හීනය. ඔවුන්ට වැදගත් වන එකම දෙය වන්නේ, ආධිපත්‍යය දැරීමේ සන්තුෂ්ටිය සහ තමන් පිළිබඳව වන මාන්නයයි. ඔවුන්ගේ සිත් තුළ ස්වයං-පාලනයක් නොපවතී. වෙනත් අය කෙරෙහි තැකීමක් ඇත්තේද අඩුවෙනි. බුද්ධ ධර්මයේ මූලික ප‍්‍රතිපදාවන්ගෙන් ඉගැන්වෙන්නේ මෙවැනි සිත් දමනය කර ගැනීම සහ සතිපට්ඨානයයි. සමහරු තමන් බෞද්ධයන් යැයි කියතත්, බුද්ධාගම ගැන දැනුම් තේරුම් ඇතැයි කියතත්, කටයුතු කරන්නේ ඊට ප‍්‍රතිපක්ෂවයි. එබැවින්, දේශීය වේවා ජාත්‍යන්තර වේවා, ‘ජනතාවාදී’ බලය හසුරුවන්නන් බලා සිටින්නේ, ජාතියක හෝ ආගමක නොනැසී පැවතීමක් අවදානමට ලක්කරන තර්ජනයක් ඉදිරියේ ඇතිවන ජනතා ප‍්‍රතික‍්‍රියාව තමන්ගේ පාවිච්චියට ගැනීමටය. අද අප ලංකාවේ අත්දකින්නේ හරියටම ඒ තත්ත්වයයි. ඊළඟ මැතිවරණය කෙරෙහි ඇස ගසාගෙන බලය සොයන්නෝ අප වටා සිටිති. ජාත්‍යන්තර තැරැව්කාරයන්ට ඔවුන්ගේම න්‍යාය පත‍්‍ර තිබේ. අවිආයුධ වෙළඳාම, අනුන් ලවා කරවන යුද්ධ සහ ආර්ථික අස්ථායීතාව ඇති කිරීම ආදිය ඊට ඇතුළත්ය.

සාමාන්‍ය කෙනෙකුට වැටහෙන සරල දේවල් දෙස බැලුවොත්: අපි ඕස්ට්‍රේලියාව දෙස බලමු. එය ඉස්සර ‘හිමි කරගෙන’ සිටියේ ආදිවාසීන්ය. ඔවුන් ජානමය වශයෙන් ලංකාවේ වැද්දන්ට සමානය. අලුතෙන් පැමිණි සුදු ජාතික ආක‍්‍රමණිකයන් විසින් මේ ආදිවාසී ජනතාව සහමුලින්ම පාහේ විනාශ කර දමන ලදි. විජයගේ බෙංගාලි/දෙමළ ආක‍්‍රමණිකයන් ලංකාවේ කළේත් එයමයි. අපට ඒ ඉතිහාසය අද අමතකව ඇත. හිතින් මවාගෙත්, මොන විදිහකින්වත් සුපිරිසුදු විය නොහැකි, ‘ජාතියක’ අප එල්ලෙන්නේ එබැවිනි. නවසීලන්තයේ සිටි ඕස්ට්‍රේලියානු මහා මිනීමරුවා තමන්ගේ නිජබිම ‘මුස්ලිම් ආක‍්‍රමණිකයන්’ අත්පත් කර ගැනීම ගැන දෙඩෙව්වේය. ඔහු නවසීලන්තය තෝරා ගත්තේ ඕස්ට්‍රේලියාවේ එය කළ නොහැකි වූ බැවිනි. හරියට, අයි.එස්. සංවිධානය ලංකාව තෝරාගත්තා වගේය. ඕස්ට්‍රේලියාව හෝ නවසීලන්තය සුදු ජාතික රටක් යැයි කෙනෙකු කෙසේ කියන්නද? එසේම ශ‍්‍රී ලංකාවත් සිංහලයන්ගේ රටක්ද, නැත්නම් ආදිවාසීන්ගේ (වැද්දන්ගේ) රටක්ද ? විජය නමැති ආක‍්‍රමණිකයා සිංහලයෙකුවත්, බෞද්ධයෙකුවත් නොවුණි. ඇමරිකා එක්සත් ජනපදය ගත්තත්, තත්ත්වය එයයි. රතු ඉන්දියානුවන්ට අයත්ව තිබූ එම දේශය බ්‍රිතාන්‍යයන් විසින් ආක්‍රමණය කෙරුණු අතර, අද ට්‍රම්ප්ට සහ වෙනත් අයට අනුව, එය සුදු ස්වෝත්තමවාදී රටකි. මුළු දකුණු ඇමරිකාවම ස්පාඤ්ඤය සහ පෘතුගාලය විසින් ආක‍්‍රමණය කොට එතෙක් එහි පැවති ‘ඉන්කා’ ශිෂ්ටාචාරය සහ ජනතාව විනාශ කර දැමුණි. (පසුව කළු ජාතික වහලුන්වත් ඒ කලාපයට හඳුන්වා දෙනු ලැබුණි)

මුස්ලිම් යනු සැබවින්ම ජාතියක් නොවේ. ඔවුන්ද සිංහලයන් සේම හත්මාළුවකි. දකුණේ මුස්ලිම්වරු අරාබි වෙළෙන්දන් සිංහල කාන්තාවන් සරණපාවා ගැනීමෙන් බිඳී එන ප‍්‍රජාවක් විය හැකිය. ඒ අනුව, ඔවුන්ද බාගයක් සිංහලය. සමහරුන්ට ඉස්සර තිබූ සිංහල නම් කෑලිත් තවම තිබේ. නැගෙනහිර පළාතේ මුස්ලිම්වරුන් සංක‍්‍රමණික දකුණු ඉන්දියානුවන්ගෙන් පැවත එන්නෝය. ඔවුන්ද සමහර විට ප‍්‍රධාන වශයෙන් ද්‍රවිඩ විය හැකිය. 

අපේ සමහර ‘සිංහල ස්වෝත්තමවාදීන්’ මාලදිවයින සිංහල ජාතියට අයත් රටකැයි විශ්වාස කිරීමටත් ඉඩ තිබේ. මන්දයත්, ජානමය වශයෙන් සහ වෙනත් ඓතිහාසික සාධක අනුව එරට වැසියන් සිංහලයන් සමග සම්බන්ධතාවක් පෙන්නුම් කරන බැවිනි. තවත් ජනප‍්‍රවාදයකට අනුව, විජය සමග පැමිණි එක නැවක් මාලදිවයිනට ගොඩබැස ඇත. එසේම, වෙළෙන්දන් සහ ධීවරයන් ලංකාවෙන් පමණක් නොව, ඉන්දියාවෙන් සහ අප‍්‍රිකාවෙන්ද එහි පැමිණ තිබේ. තවත් ජනප‍්‍රවාදයන්ට අනුව, අශෝක රජ්ජුරුවන්ගේ දූතයන් මාලදිවයිනටත් ගොස් තිබේ. ලංකාවෙන් කුමාරිකාවක්, මාලදිවයිනේ කුමාරයෙකු හා සරණට ගොස් තිබේ. බෞද්ධ පන්සල් එහි තිබී ඇත. සිංහල භාෂාවට සමානත්වයක් දරන ‘දිවේහි’ නමැති භාෂාවක් ඔවුන් කතා කොට තිබේ. පසුව, අරාබි වෙළෙන්දන් හරහා පාලකයන් ඉස්ලාම් ආගම වැළඳගත් විට ජනතාවත් ඒ ආගමට හැරුණෝය. හරියට, දේවානම්පියතිස්ස රජ්ජරුරුවන් බුද්ධාගම වැළඳගත් විට ලංකාවේ ජනතාවත් බුද්ධාගමට හැරුණා සේය. දැන්, කරුණාකර මාලදිවයින ආක‍්‍රමණය කිරීමට නොසිතන්න.

අපේ දකුණු වෙරළබඩ ඇතැම් ශ්‍රේෂ්ඨ දේශප්‍රේමීන් දකුණු ඉන්දියාවෙන් පැමිණියවුන් විය නොහැකිද ? පානදුර වැනි නගර නාම ‘පන්නතුරෙයි’ යන්නෙන් සම්භූත වී ඇති බවත්, පල්ලිමුල්ල සහ සාරික්කාමුල්ල ‘පල්ලිමුල්ලෙයි’ සහ ‘සාරික්කාමුල්ලෙයි’ වෙතින් බිඳි ආ බවත් කියැවෙයි. සමහර එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ගේ වාසගම අප්පුහාමිය. මීගමුවෙන් පුත්තලමට සංක‍්‍රමණය වූ බොහෝ දෙනා දෙමළ භාෂාව වහරන අතර තමන් සිංහල යැයි කියති. තවමත් එ් ප‍්‍රදේශයේ, පෘතුගීසි භාෂාව කතා කරන අප‍්‍රිකානු කොලනියක් තිබේ. එය, සාමාන්‍ය සමාජයට අනුකලනය වෙමින් පවතී. ඉතිං, මොන ‘පාරිශුද්ධත්වයක්’ ගැනද අපි මේ කතා කරන්නේ ? එතකොට, කළු සුද්දන් වශයෙන් ගැනෙන, මෙහි නතර වූ පෘතුගීසිකාරයන් ? ඔවුන්ගෙන් ඉතා සුළු පිරිසක් ඉතිරිව ඇතත්, බහුතරය සිංහලයන් සමග මිශ‍්‍ර වී ඇත. පෘතුගීසිකාරයන් තමන්ගේ ගැහැනුන් එරටින් මෙහි ගෙනාවේ නැත. ඔවුන් කෙළේ, කළු සිංහල ගැහැනුන්ව ‘කළු ලංසි’ කළ එකය.

මා මේ කියන්නේ, මොන විදිහකින්වත් ‘සිංහල ජාතිය’ මුලිනුපුටා දැමිය යුතු බවක් නොවේ. ඔවුන් නොනැසී පැවතිය යුතුය. එසේම, සුළුතර ප‍්‍රජාවන් ඇතුළු සෙස්සන්ටත් නොනැසී පැවතීමේ අයිතියක් ඇත.

(ඉතිරි කොටස ඊළඟට)

- 2019 ජුලි 16 වැනි දා, ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ, චානක ගජනායක ලියූ, ‘The Paranoia Of Extinction: The Reality !’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි. මෙය එම ලිපියේ පළමු කොටස වන අතර ඊළඟ කොටස ඉදිරියේදී බලාපොරොත්තු වන්න.