ධම්මික පෙරේරා - අනාරාධිතයෙකුගේ අනපේක්ෂිත ආගමනය -2 කොටස

ධම්මික පෙරේරා - අනාරාධිතයෙකුගේ අනපේක්ෂිත ආගමනය -2 කොටස

17 July 2019 10:35 am

ධම්මික පෙරේරා ‘සීරියස්‘ ලෙස ගත යුතුද?

යමෙකු ධම්මික පෙරේරා ව බරපතළ ලෙස සලකා බැලිය යුත්තේ ඇයි? ඔහු ප්‍රථම සහ තවමත් සිටින එකම දේශීය වශයෙන් හැදී වැඩුණු ඩොලර් බිලියනපතියා වන නිසාද? 2013 වසරේ පටන් මේ දක්වා ෆෝබ්ස් සඟරාව විසින් ශ්‍රී ලංකාවේ ලොකුම කෝටිපතියා ලෙස නම් කරන නිසාද? ඉතා කුඩා තැනකින් පටන් ගෙන ඉහළමට ගිය, සිය අරමුණු සාක්ෂාත් කර ගන්නෙක් නිසාද? ඔහු, පුද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ ද ඉහළම කළමනාකාර ධුරයන්හි අත්දැකීම් ඇති පුද්ගලයෙක් වන නිසාද?

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ඔහුට ‘සැලසුමක් තිබීම‘ යි. ටයිරන් ලැනිස්ටර් ගේ භාෂාවට අනුව ‘ඔහුට කීමට කතාවක් තිබේ‘. මේ දක්වා පෙනී යන්නේ, 2020-25 සමයේ ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා ගැළපෙන එකම කතාන්දරය එය පමණක් බවයි. එය එසේ නම්, ශ්‍රී ලංකාවේ මධ්‍යම ආදායම් උගුල කඩා දැමිය හැකි ප්‍රධාන පෙළේ සැලසුමක් ඇති එකම දේශපාලඥයා (හෝ එකම පුද්ගලයා) ධම්මික පෙරේරා වේ. 

‘මධ්‍යම ආදායම් උගුල‘ 

‘මධ්‍යම ආදායම් උගුල‘ යනු ඇතැම් රටවල්, අතිශය දුගී භාවය අඩු කර ගැනීම සම්බන්ධයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් අත් කර ගත් සහ ව්‍යූහාත්මක වෙනස්කම් හා වර්ධනයේ වෙනස්කම් අත්දකින, එනමුත් මධ්‍යම පන්තික ආදායම් සහිත තත්වයේ සිට පූර්ණ වශයෙන් සංවර්ධනය වූ තත්වයට ළඟා වීමට ඇතැම් රටවල් අසමත් වන්නේ මන්ද යන්න පැහැදිලි කරන තාක්ෂණික යෙදුමකි. 

මෙය දත්ත මගින් ඉතා හොඳින් විස්තර කරයි. තායිලන්තය 2008 වසරේදී ඩොලර් 4000 ක දළ දේශීය නිෂ්පාදනයකට ළඟා විය. වසර 11 කට පසුව එය ළඟා වී තිබෙන්නේ ඩොලර් 6500 ක දළ දේශීය නිෂ්පාදනයක් වෙත පමණි. මේ තත්වය දකුණු ඇමරිකාවේ සහ දකුණු අප්‍රිකාවේ වඩාත් ප්‍රකටව පෙනේ. මෙම කලාපයේ සියලුම රටවල් පාහේ  2005-2010 අතර කාලයේ ඇමරිකානු ඩොලර් 4000 සීමාවට ළඟා වූ අතර, දශකයට පසුව ද ඒවා තවමත් ඇමරිකානු ඩොලර් 6000 සීමාවේ සිර වී සිටියි. 

මෙය ඉහළ තත්වයකට ළඟා වූ රටවලට කිසිසේත්ම අදාළ නැත. චීනය ඒ සඳහා හොඳම නිදසුනයි. මැද පෙරදිග රාජධානිය ඇමරිකානු ඩොලර් 4000 සීමාව සලකුණු කළේ 2010 තරම් මෑතකදී ය. නමුත් 2017 වසර වන විට එය දෙගුණයකටත් වඩා වැඩි වී ඇමරිකානු ඩොලර් 8826 ක් දක්වා ළඟා වී ඇත. අනෙක් අතින්, සියලුම දේශපාලනික කුණාටු සමග මාලදිවයින එම වර්ෂයේදීම ඇමරිකානු ඩොලර් 10,000 කට අධික දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කළේය. 

මේ අනුව මෙම තත්වයට රටක් කුඩා ද විශාල ද යන්න සම්පූර්ණයෙන්ම අනනුකූල ය. මේ වෙනස පැමිණෙන්නේ රටකට ක්‍රමෝපායික සැලසුමක් තිබෙන්නේ ද නැතිද යන්න මත ය. කුඩා ආර්ථිකයන් දෙකක් වන මාලදිවයින සහ මොරිෂස් දූපත් සංචාරක කර්මාන්තය වැනි ඇතැම් කර්මාන්තවල ඉතාම කදිමට ක්‍රියාත්මක වෙමින් සිටිති. ඉන්දියාව විසින් සිය වෙළඳපොළ 1992 වසරේදී විවෘත කළ අතර, 2018 වන විට එය ඇමරිකානු ඩොලර් 1940 ක දළ දේශීය නිෂ්පාදිතයක් වෙත ළඟා වෙමින් සිටියේය. 

මෙහිදී, උපමහද්වීපයේ අති ජනාකීර්ණ වීදිවල මිලියන ගණන් දුගී ජනයා එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීම සඳහා අරගල කරමින් සිටියදී ගෝව, දිල්ලි සහ සිකිම් යන ප්‍රාන්ත පමණක් ලංකාවේ එම අගය ඉක්මවා ගොස් තිබේ. නමුත් තමිල්නාඩුව වැනි තවත් ප්‍රාන්ත ගණනාවක් සිය ඉහළම ආර්ථික වර්ධන වේගය මේ වන විට පෙන්වමින් සිටිති. 

මේ අතර සැලකිය යුතු ජනගහනයක් සිටින චීනය ෂැංහයි, ෂෙන්සෙන් සහ ගුවන්ෂු වැනි නගර සඳහා හඳුන්වා දුන් කේන්ද්‍රීය සැලැස්මක්සමග ඊටත් වඩා ඉතාම හොඳින් සිය ආර්ථිකය වර්ධනය කර ගනිමින් සිටිති. ඉන්දියාවට මෙම නිෂ්පාදිතය වෙත ළඟා වීම සඳහා තවත් අවුරුදු 20 ක්වත් ගත වනු ඇත. 

නැත. ඇතැම් අවස්ථාවලදී ඉතිහාසය හෝ ස්වභාවික සම්පත් මේ සඳහා බලපාන්නේ වුවද, මෙහිදී වැදගත් වී තිබෙන්නේ ඉතිහාසයේ හෝ ස්වභාවික සම්පත්වල විශාලත්වය නොවේ. එය රඳා පවතින්නේ යම් රටක් ගෝලීය ආර්ථික සිතියම තුළ තමන්ගේ ඉදිරි ගමන ක්‍රමෝපායික ලෙස සැලසුම් කර ගන්නේ කෙසේද යන්න මත ය. 

මේ අනුව, ප්‍රධාන ආර්ථික සැලැස්මක් පැවතීමේ වැදගත්කම අප සියලු දෙනාට ධම්මික පෙරේරා සමග එකඟ විය හැකි කරුණකි. අප පියවරක් ඉදිරියට තබන්නේ නම්, තමන් සඳහා ඉතා හොඳ ‘ක්‍රියාවට නංවන්නෙක්‘ වන ධම්මික පෙරේරා රට සඳහා ශ්‍රේෂ්ඨ ක්‍රියාවට නංවන්නෙක් බවට පත්වනු ඇත. මෙය සරල තර්කයකි. රටක් දියුණු කළ හැක්කේ කෙසේදැයි දන්නේ තමන් දියුණු වන්නේ කෙසේදැයි දන්නා පුද්ගලයා පමණි. ඔහු කෙසේ හෝ ජයගන්නා අයෙකු ද නොව, එහිදී ලකුණු ලබා ගනිමින් ජයගන්නා අයෙකි.  

කේන්ද්‍රීය සැලසුම් ඇස් බැන්දුම් ද?

කේන්ද්‍රීය සැලසුම්කරණය කිසිසේත්ම අලුත් දෙයක් නොවේ. 1972-76 වසර සඳහා ශ්‍රී ලංකාවේ පස් අවුරුදු සැලැස්මක් විය. නමුත් එය කිසිසේත්ම සාර්ථක කර ගත හැකි අන්දමේ එකක් නොවීය. 1951 වසරේ පටන් ඉන්දියාවට පස් අවුරුදු ජාතික සැලසුම් 12 ක් තිබූ අතර, ඒවා ක්‍රියාවට නංවා අධීක්ෂණය කිරීම සැලසුම්කරණ කොමිසම විසින් සිදුකරනු ලැබිණි. මේවායින් පළමුවැන්න නිදහස ලැබූ වහාම ඉදිරිපත් කෙරුණේ පළමු අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරුගේ සමාජවාදී දේශපාලනික බලපෑම ද මත ය. එකී මුල් අරමුණු සහ ව්‍යූහාත්මක බව වෙළඳපොළ ආර්ථියන්ට වැඩි බරක් ලබා දෙමින් වෙනස් කර ඇති නමුත් කේන්ද්‍රීය සැලසුම්කරණය තවමත් ඉන්දියාවේ සිදු වෙමින් පවතියි. 

වඩාත්ම ජනප්‍රිය වූ සහ විටෙක වඩාත්ම සාකච්ඡාවට මෙන්ම විවේචනයට ද බඳුන් වූ කේන්ද්‍රීය සැලසුම්කරණය සිදුවූයේ ලෙනින්වාදී සහ ස්ටාලින්වාදී රුසියාව/ සෝවියට් දේශය තුළ ය. ‘ගොස්ප්ලෑන්‘නම් වූ එය 1921 වසරේදී මුලින්ම නිර්මාණය කරනු ලැබිණි. ආයතනයික භූමිකාව 1929 වසරේදී වැඩිදියුණු කෙරුණේ සීඝ්‍ර කාර්මීකරණය සහ ආර්ථිකය තුළ පුද්ගලික අංශය සුවිශේෂී ලෙස දුබල කිරීම ක්‍රියාවට නැංවෙන විට ය. 

සෝවියට් දේශය අජටාකාශයට ගියේ ‘ගොස්ප්ලෑන්‘ නිසා ය. 

ගොස්ප්ලෑන්, ආණ්ඩුවේ සැලසුම්කරණ අංශවල ප්‍රධානත්වය ඉසුළූ අතර, මේ දක්වා ආර්ථික පරිපාලනයේ වඩාත්ම වැදගත් වූ ඒජන්සිය විය. එහි සැලසුම්කරුවන්ගේ කාර්යය වූයේ සැලසුම් කළ ප්‍රතිඵල අත් කර ගැනීම සඳහා සම්පත් සහ අවශ්‍යතා සමතුලිත කිරීමයි. 

ෆ්‍රෙඩ්රික් හයෙක්, ලුඩ්විග් වෑන් මිසෙස් සහ ජෝසප් ෂුම්පීටර් ඇතුළත්ව, ප්‍රධාන වශයෙන් ආර්ථිකය පිළිබඳ ඔස්ට්‍රියානු ගුරු කුලයට අයත් ලිබරල් ආර්ථික විශේෂඥයන් විසින් ගොස්ප්ලෑන් සැලසුම්කරණය විවේචනය කර තිබේ. මෙහි ප්‍රධාන විවේචනය වූයේ එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට අපහසු වීම සහ, අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීමට නොහැකි වීමයි. 

ගොස්ප්ලෑන් සැලසුම්කරණය සාර්ථක වන්නේ ද නැතිනම් අසාර්ථක වන්නේ ද යන්න රඳා පවතින්නේ ඔබ ගනු ලබන්නේ කුමන ආකාරයේ ආර්ථික ස්ථාවරයක් ද යන්න මත ය. හිට්ලර් ව දෙවැනි ලෝක යුද්ධයේදී ස්ටාර්ලින්ග්‍රෑදයේදී පැරදවූයේ අතිශය අහිතකර කාලගුණය විසින් පමණක් නොව, ගොස්ප්ලෑන් සැලසුම්කරණය මගින් නිපදවා තිබු හමුදා උපකරණ සහ මෝටර් රථ ද නිසා ය.  
සෝවියට් දේශය 1954 වසරේදී ස්පුට්නික් චන්ද්‍රිකාව මගින් අභ්‍යවකාශය ට ගිය ලෝකයේ පළමු රට බවට පත්වූයේ ගොස්ප්ලෑන් නිසා ය. පසුව ලයිකා නිසා සතුන් අජටාකාශයට යැවූ ලෝකයේ පළමු රට බවටද, යූරි ගගාරින් සහ වැලන්ටිනා තෙරස්කෝවා සමග පළමු මානවයන් අජටාකාශයට යැවූ ලෝකයේ පළමු රට බවට ද සෝවියට් දේශය පත්වූයේ ගොස්ප්ලෑන් නිසා ය. 
පළමු ලෝක යුද සමයේදී රුසියාව යුරෝපයේ දුප්පත්ම රට විය. ග්‍රාමීය කෘෂිකර්මාන්තය හැරුණු විට කිසිවක් එහි නොතිබූ තරම් ය. නමුත් වසර 25 කට ආසන්න කාලයකට පසුව රුසියාවේ භූමිකාව දෙවන ලෝක යුද්ධය මිත්‍ර හමුදාව විසින් ජයගැනීම සඳහා තීරණාත්මක වූවා පමණක් නොව, යුරෝපයෙන් හරි අඩක් සෝවියට් සංගමය යටතට ගෙන ඒමට ද එයින් සිදු විය. ස්ටාලින් පශ්චාත් යුධ සමයේ සෝවියට් දේශය නැවත ගොඩනැංවීමේ යෙදී සිටියේ, 1949 වසරේ න්‍යෂ්ටික ආයුධයක් නිපදවන අතරවාරයේ ය.

මෙම පරිච්ඡේදයේ වාර්තා වූ සියලු කෘෘරත්වයන්, මහා භීතිය හා සයිබීරියාවේ ශ්‍රම කඳවුරු මධ්‍යයේ, 1953 වසරේ ස්ටාලින් මිය යන විට සෝවියට් දේශය කාර්මිකමය සුපිරි බලවතෙක් බවට පත්ව සිටියේය. ගොස්ප්ලෑන් විසින් ලබාගත් සැබෑ ජයග්‍රහණයන් තිබිණි. සෝවියට් සංගමයේ කේන්ද්‍රීය සැලසුම්කරණය පිළිබඳ ස්ථිරසාර නිගමනයකට එළඹීම සඳහා ප්‍රමාණවත් දත්ත අපට නොමැති වූ පමණින්, ගොස්ප්ලෑන් සම්පූර්ණයෙන් අසාර්ථක වී යැයි පැවසීම අසාධාරණ ය. 

විද්වතෙක් , ප්‍රතිපත්ති පර්යේෂකයෙක් සහ ස්වාධීන විශ්ලේෂකයෙකු වශයෙන් සැලකෙන චානුක වත්තේගම විසින් ඩේලි මිරර් පුවත්පතට ලියන ලද Presedential Election 2020: Dhammika Perera - A Man And a Plan ලිපියේ අනුවාදයේ දෙවන කොටස මෙහි පළ වේ.

මීළඟට - පාස්කු ප්‍රහාරයෙන් පසු ලංකාවේ ආර්ථිකය කොයිබටද?

පෙර ලිපිය - ධම්මික පෙරේරා - අනාරාධිතයෙකුගේ අනපේක්ෂිත ආගමනය -1 කොටස