මෙරට “ළමා ජනගහනය” අඩු වූයේ ඇයි? (උදය ගම්මන්පිල කුලකයට පිළිතුරක්)

මෙරට “ළමා ජනගහනය” අඩු වූයේ ඇයි? (උදය ගම්මන්පිල කුලකයට පිළිතුරක්)

12 July 2019 07:00 pm

ආන්දෝලනාත්මක සොයා ගැනීම් සඳහා ලොල්කමක් දක්වනා, පිවිතුරු දේශපාලනයක පරමාදර්ශය තමා යැයි කියාගන්නා උදය ගම්මන්පිල උන්නැහේ විසින් තවත් සොයා ගැනීමක් කොට ඇත. ඒ 2012 වසරෙන් පසු මෙරට සිංහල ළමා ජනගහනයේ අව වර්ධනයක් සිදු වී ඇති බවටයි. තමන් විසින් සොයා ගත්තාවූ අපූරු සොයා ගැනීමේ තොරතුරුද සහිතව පසුගිය ජූනි මස 27 වන බ්‍රහස්පතින්දා හිරු රූපවාහිනියේ බලය වැඩසටහනට සහභාගී වූයේ “දෙනන්ම් බැටේ” දේශපාලනයක් සඳහාය. ඒ ගම්මන්පිලට ප්‍රසිද්ධ වේදිකාවේ සිට අභියෝග කළ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සමග FACE TO FACE වය. වැඩසටහන ආරම්භයේ සිටම ඉතාම ශාන්ත ලෙසත් ඒ හා සමානවම ආක්‍රමණීය ලෙසත් සිය සොයා ගැනීමේ නිවැරදිභාවය තහවුරු කිරීමට උදය ගම්මන්පිල කටයුතු කරද්දී, රවුෆ් හකීම් දේශපාලනය මේ තත්ත්වය ඇත්ත නොවේ යැයි තහවුරු කිරීම සඳහා දැඩි උත්සහයක් දැරුවද එය සාර්ථක වූයේ නැත. මන්ද ඇත්ත වශයෙන්ම ලංකාවේ ළමා ජනගහනයේ අව වර්ධනයක් සඳහා අවැසි පූර්ව සූදානම් කිරීම් මේ රට තුළ සිදු වී ඇති නිසාය. “ජනමිත්‍ර හඬ” වියමනට ප්‍රවේශ වනුයේ මෙරට ළමා ජනගහනයේ, විශේෂයෙන් සිංහල ළමා ජනගහනයේ වර්ධනයේ අවගමනයක් සිදුව ඇත්තේ කෙසේදැයි යන්න අනාවරණය කිරීම සඳහාය. ඒ, ගම්මන්පිල දේශපාලනය විසින් අඩුවීමක් ගැන කියා සිටියද ඒ සඳහා පසුබිම්වූ තත්ත්වයන් අනාවරණය කරන්නට අසමත් වූ බැවිනි. 
 
වත්මන් ලාංකේය ළමා ජනගහනය වර්ධනයේ අඩු වීම හඳුනා ගැනීමට නම් ලාංකේය ඉතිහාසයේ අඩ සියවසක් පසුපසට ගොස් එහි සිට මේ දක්වා නැවත පැමිණිය යුතුව ඇත. එබැවින් අප මෙතැන් සිට අඩ සියවසක් පසුපසට ගොස් නැවත ඒමට සූදානම්ය. 
 
1970 දශකය ගෙවී ගියේ ලාංකේය සමාජය වෙත නැවුම් සටන් පාඨයක් ගෙන හැර පාමිනි. ඒ “සැලසුම් කළ පවුලක්” කියාය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය නමින් ආයතනයක් ස්ථාපිත වූයේ මෙකී මෙහෙවර සාර්ථක කොට ගැනීම සඳහාය. ඒ අනුව එක් පවුලක් සඳහා දරුවන් දෙදෙනෙකු පමණක් යන සීමා රේඛාවක් සමාජගත කරන ලද්දේ පවුල් සැලසුමට දායක වී රටේ අනාගතය සුරක්‍ෂිත කිරීමට උරදෙනු ! යන තහවුරුව කොටය. ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ “සත් අවුරුදු ශාපය” නමින් අපකීර්තිමත් සත් වසක් (1970 - 77) ගෙවී ගොස් ඇත. ඒ දිළිඳු ජනයාගේ ජීවන කොන්දේසි බරපතල ලෙස උල්ලංඝනය වී තිබූ බැවිනි. ජීවත්වීමේ කොන්දේසි වඩ වඩාත් නරක් වූ අතර දේශපාලන අධිකාරිය කියා සිටියේ ප්‍රශ්නය තිබෙනුයේ සීමාවක් නොමැතිව දරුවන් හැදීමේ ක්‍රියාවලිය තුළ බැවින් වහාම දරුවන් හැදීම පාලනය කළ යුතු බවයි. හිස ඔසවා තිබූ දුප්පත්කම නිසාවෙන්, වඳ සැත්කමක් සඳහා ගෙවන්නා වූ රු. 500/- ක මුදල වෙනුවෙන් සිය දරුවන් හැදීමේ හැකියාව පාවා දෙනු ලැබුයේ “පුංචි පවුල රත්තරන්” යන තේමාව යටතේය. ඒ, එදා සමාජයේ බහුතරයක් දිළිඳු ජනයාට කරන්නට අන් යමක් ඉතිරිව නොතිබූ නිසාය. මේ මහා “වන්ධ්‍යාකරණ මෙහෙයුම” හරහා ලාංකේය සිංහල සමාජයට බරපතල බලපෑමක් එල්ලවූ නමුත් මේ මෙහෙයුමට මෙරට මුස්ලිම් සමාජය එකඟ වූයේ නැත. ඒ ඉස්ලාම් ආගමට අනුව අඹු - සැමි යුවළක් වෙත දරුවන් ලබා දෙනුයේ අල්ලා දෙවියන්ගේ කැමැත්තට අනුව බැවින්, එයට එරෙහි වීම අල්ලා දෙවියන්ට එරෙහි වීමක් ලෙස පිළිගැනෙනා නිසාය. ඒ හා සමාන ලෙසම දෙමළ සමාජයද මේ මෙහෙයුම සඳහා උනන්දු නොවුණේ දෙමළ දේශපාලකයන් විසින් සිය අනාගත ඡන්ද පදනම් රැකගැනීම සඳහා මතවාදී මෙහෙයුමක් දියත් කළ නිසාය. ඒ අනුව ලාංකේය සිංහලයා වඳ කිරීමේ මූලික අඩිතාලම දැමුණේ 1970 - 77 සමගි පෙරමුණු පාලන සමයේදීය. නමුත් එදා සිට අද දක්වා බලයට පත්වූ කිසිදු සිංහල ආණ්ඩුවක් එදා ඇරඹි මෙහෙයුම ප්‍රවර්ධනය කළා මිස විවේචනය කොට නැත. විවේචනය කළා නම්, ඒ සැබෑ අර්ථයෙන් නොව, ඡන්ද දිනීමේ ව්‍යාජ දේශප්‍රේමී ක්‍රමවේදයක් ලෙස පමණි. ඒ අනුව 1977 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්‍ෂය සිය මැතිවරණ ජයග්‍රහණයේ සටන් පාඨයක් ලෙස මේ තත්ත්වය උපයෝගී කොට ගත්තා මිස තමන්ගේ පාලනයක් යටතේ පවා මේ ක්‍රියාවලිය අත්හිටුවීමට උනන්දු වූයේ නැත. ඒ වෙනුවට කළේ තවත් වටයකින් උපත් පාලනය ප්‍රවර්ධනය කිරීම පමණි. ඒ දරුවන් වැඩි වන්නේ පහළ පංතියෙන් නිසාත් එසේ  වැඩි වන දරුවන්ගේ අවශ්‍යතා සැපරිය නොහැකි වන විට ඒ දරුවන් ප්‍රතිචාර දක්වනුයේ කෙසේද යන්න, 1971 අප්‍රේල් මස 05 දා අළුයම වැලල්වාය පොලිස් ස්ථානය හරහා එළියට පොළා පැන්නාවූ නිසාත්ය. (1971 අප්‍රේල් අරගලය) වත්මන් ලාංකේය ළමා ජනගහනයේ අවප්‍රමාණ වීමේ අත්තිවාරම් මෙසේ සකස් වූ අතර එහි බිත්ති බැඳී මන්දිරකරණය වීම සඳහා දායකත්වය දුන්නේ අන් කිසිවකු නොව මෙරට බහුතර සිංහල ජනයාගේ ඡන්දයෙන් බලයට පත්වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී සිංහල නායකත්වයේ ආණ්ඩු විසින්මය. 
 
1977 දී බලයට පත්වූ ප්‍රජාතන්ත්‍ර විරෝධයේ දේශපාලන භාවිතාව විසින් සිය ප්‍රජාතන්ත්‍ර විරෝධය මැනවින් සනාථ කරමින් 1971 සන්නද්ධ අරගලයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණි ජවිපෙ තහනමට ලක් කරන ලද්දේ ඉතාම නින්දිත 83 කළු ජූලියේ පදනම් විරහිත චෝදනාවක් ඉදිරිපත් කොටය. එහි ප්‍රතිඵලයක් ලෙස ජවිපෙ සමාජ පදනම බවට පත්ව තිබූ ලාංකේය තරුණ ප්‍රජාවක් ප්‍රජාතන්ත්‍ර විරෝධී සිය ප්‍රතිවාදියාට රළු ප්‍රතිචාරයක් දැක්වීම අනිවාර්යයක් විය. ඉන්පසු සිදු වූයේ කුමක්ද? ඒ තමන්ගේ අනුදැනුම සහිතව පාලනය කොට තිබූ සිංහල උප්පත්තිලාභීන්ගෙන් 60,000 ක් ලාංකේය සිංහල සමාජයට අහිමි වීමය. සිංහල සමාජයට රජයේ සොල්දාදුවන් ලෙස 30000 කට ආසනන් තරුණ පිරිසක් අහිමි වන්නේ අවසන්වූ 30 අවුරුදු යුද්ධය හරහාය. ඒ අනුව සමස්තයක් ලෙස ඇගයීමකට ලක් කළහොත් 1988 - 1990 අතර කාල පරාසය තුළ මියගිය තරුණ ප්‍රජාව වනාහී 2012 වසර වන විට “සීයාවරුන්” හෙවත් මුත්තණුවන් බවට පත්වීමට නියමිතව සිටි වුන්ය. නමුත් ඔුවන්ගෙන් සාතිශය බහුතරය මියයන ලද්දේ දරුවන් හැදීමට දායකත්වය ලබා දී නොවේ. ඒ නිසාවෙන් 1990 වසරට මේ රට ආයේ 2012 වසරට අවැසි තාත්තාවරුන් හෝ අම්මාවරුන් ලක්‍ෂ දෙකකට සමීපව අහිමිවූ යථාර්ථයක් සහිතවය. ඒ අනුව 2012 සිට අවකරණය වී ඇති සිංහල ළමා ජනගහනයේ ප්‍රශ්නය නිරවුල්ය. 30 අවුරුදු යුද්ධයේදී දෙමළ සමාජයටද මේ අනතුර තිබුණාවූ නමුත්, මුස්ලිම් සමාජයට එවැන්නක් සිදුවූයේ නැත. එසේම සිංහල සහ දෙමළ සමාජයේ දිළිඳුභාවයට සිය ආගමික ආයතන හරහා විසඳුම් නොලැබීමත්, මුස්ලිම් සමාජයට සිය ආගමික ආයතනයේ සහයෝගය ලැබීමත් මුස්ලිම් ළමා ජනගහනයේ වර්ධනයට සහයෝගයක් ලබා දී ඇත. 

1948 දී ඩොලර් ශත 30 ක් වටිනා රුපියලකට උරුමකම් කී මේ රට, (ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 3.32 කි.) අද වනවිට කොතෙක් අගාධයට වැටී ඇති දැයි දන්නෝ දනිති. නොදන්නෝ දන්නේම නැත. එබැවින් මේ රට තුළ සංවිධානාත්මක පවුල් සංවිධාන මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවද බොහෝ වුන් දන්නේ නැත. ඒ රට තුළ සිදුවන දෑ ගැන තාර්කික දැක්මක් ඇති කොට ගැනීම සඳහා කිසිදු ඉඩකඩක් පවත්නා පක්‍ෂ දේශපාලනය විසින් ඉතිරි කොට නැති බැවිනි. 

නමුත් අප ඉතා වගකීමෙන් කියා සිටිනුයේ රට තුළ සංවිධානාත්මක වඳ සැත්කමක් රජයන් විසින් දියත් කරනා බවයි. ඒ නැතිබැරිකම උත්සන්න කිරීම හරහාය. ඕනෑම සදාචාරාත්මක ධනෙශ්වර රාජ්‍යයක බදු එකතු කිරීමේ දී ප්‍රතිපත්තිය ලෙස ක්‍රියාත්මක වනුයේ වක්‍ර බදු 60% ක් සහ ඍජු බදු 40% ක් ලෙසය. ඒ ඇති නැති පරතරය තුලනය කිරීම සඳහා ගන්නා උත්සහයක් ලෙසය. නමුත් මේ රට තුළදී ඍජු බදු 13% ක් වන අතර වක්‍ර බදු (භාණ්ඩ හා සේවා සඳහා පනවා ඇති බදු) අයකිරීම 87% කි. මේ ක්‍රියාන්විතය හරහා මෙරට ජන සමාජය බදු බරින් මිරිකී සිටිනුයේ ඉතාම බරපතල ලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස සිය බිරිඳ නැවතත් අත්වැරදීමකින් හෝ ගැබ් ගතහොත්, සැමියා නිවසට එනුයේ හොඳ සිහියෙන් නොව, හතර ගාතයෙනි. ඒ සිය බිරිඳගේ “ශරීර අරපරෙස්සම” නිවැරදිව පවත්වා ගෙන නොයාමට එරෙහිව දඬුවම් කිරීමක් ලෙසටය. පවත්නා දේශපාලනය අධිකතර බදු බරක්  පටවා ඉතාම සංවිධානාත්මක ලෙසත් රහසිගත ලෙසත්, පවුල් සංවිධාන වැඩසටහනක් දියත් කරනුයේ ඔයාකාර ලෙසය. එබැවින් ලාංකේය සමාජය තුළ ළමා ජනගහනයේ අව වර්ධනයක් ගැන කතා කිරීමට උනන්දු වන්නන් ඊට වඩා වැඩි ඕනෑකමකින් මැදිහත් විය යුත්තේ මෙරට ජනයාගේ ආර්ථික කුටුම්භය වෙත එබී බැලීම සඳහාය.  
 
මෙරට තුළ අපූරු පන්නයක සංවර්ධන ක්‍රියාන්විතයක් දියත් වන්නට වූයේ 1977 න් පසුය. මෙහි ඇති අපූර්වත්වය වන්නේ රට තුළ සංවර්ධන කටයුතු වැඩි වන පමණට ජන සමාජයක ජීවන ගැටළු උත්සන්න වීම වේ. ඒ අනුව රට තුළ වැඩි වශයෙන් සිදුවන්නේ මැතිවරණ ජයග්‍රහණ අපේක්‍ෂාවෙන්ද, රට කරවනා වුන්ගේ ඕනෑ එපාකම් සැපිරීම වෙනුවෙන්ද කෙරෙනා ඇස පිනවනා සංවර්ධනයක් පමණක් නිසාවෙන් සංවර්ධනය නමින් කෙරෙනා සෑම මූල්‍ය අපහරණයකම බර ජනතාව මත පැට වී ඇත්තේ ඉහත කී බදු මෙහෙයුම හරහාය. මේ තත්ත්වය නිසාවෙන් මෙරට ජීවත් වන පාසල් දරුවන්ගෙන් බහුතරයකට අ.පො.ස. සා. පෙළ විභාගය දක්වා පැමිණෙන විට කල්පනා වන්නේ මුදලක් උපයා ගෙන ඒම සඳහා විදේශ රටකට පැන ගැනීම වේ. ඒ අනුව අද මෙරට විවාහ විය යුතු වයසේ වුන් සහ විවාහ වී සිටියද පවුල් ජීවිතය එක්ව ගත කළ යුතු වුන් හට අද වනවිට එම අවස්ථාව අහිමිව ඇත. ඒ විවාහයට පෙර හෝ විවාහ වූ අලුත, මුදල් ඉපයීම සඳහා විදේශගතවී සිටිනා නිසාය. ඒ අනුව අද වනවිට මෙරට ස්ථිර පදිංචිකරුවන්ගෙන් ලක්‍ෂ 15 කට අධික පිරිසක් විදේශ ශ්‍රමිකයන්ය. ඔවුන්ගෙන් බහුතරය ලාංකේය ජාතියට දරුවන් නිපදවිය යුතු යෞවනයන්ය. නමුත් ඒ යෞවනත්වය විදේශයක ගාල් වී සිටිනුයේ සිය දරුවන් හැදීමේ හැකියාව සිරගත කොට ගෙන තබාය. මේ සිරගත කිරීම නිසාවෙන් අනියම් ලිංගික සබඳතා හරහා ගැබ් ගන්නා කළලයන් දිනකට 1000 ක් ඉක්මවා ගබ්සා වෙමින් ඇත. මේ අපරාධයට වගකිව යුත්තේ කවුද? ඉස්ලාම් අන්තවාදයද? මුස්ලිම් වෛද්‍යවරුන්ගේ කුමන්ත්‍රණකාරී වඳ සැත්කම්ද? නැත. මීට වගකිව යුත්තේ රටක තරුණ ප්‍රජාවකට අයිතිව තිබෙනා මූලික මානුෂීය වරප්‍රසාදය වූ නිසි වයසේදී දරුවන් හැදීමට අවැසි ඉඩ ප්‍රස්තා අහෝසි කළ පවත්නා දේශපාලනය මිස අන් කිසිවකු නොවේ. තරුණ ප්‍රජාවක් වෙත හිමිවිය යුතු මූලික මිනිස් අයිතිවාසිකම වන්නේ ලිංගික ආශ්වාදයයි. එනැයින් ඒ මානුෂීය අයිතිය සඳහා අවැසි ආර්ථික පසුබිම සැකසීම රටක දේශපාලනයේ ප්‍රධාන වගකීමයි. නමුත් මෙරට තුළ සිදු වන්නේ කුමක්ද? ඒ යෞවනයේ පහළ පංතිකයන්ට විධිමත් සංසර්ගීය අවස්ථාවන් දුබල කිරීම සහ ඇති හැකි වයෝවෘද්ධයන් යෞවනියන් සමග නිදි වැදීම පමණය. කාමභෝගී දේශපාලනය සිතනුයේ තමන් පංචකාමයෙන් සැනසෙන්නෙත් පහළ පංතික තරුණ ප්‍රජාවකට එය අහිමි වන්නේත් පෙර කළ කුසල - අකුසල බලයෙන් කියාය.  
 
මෙරට භික්‍ෂු සමාජයෙන් සහ ගම්මන්පිල පන්නයේ දේශප්‍රේමීන් වෙතින් සිංහල තරුණ අඹුසැමියන් වෙත විවේචනයක් එල්ල වනුයේ දරුවන් හදන්නට උනන්දු නැතිය කියාය. ඒ නිසාවෙන් ළඟදීම සිංහලයා වඳවී යන්නේ යැයි කියති. මේ විවේචනයට ගොදුරු වන මෙරට පහළ පංතියේ සිංහල බෞද්ධයා කිසිත් නොදොඩා සිටී . නමුත් මේ නොදොඩා ඉන්නා තරුණ අඹුසැමියන් හට මෙරට භික්‍ෂු සමාජයෙන් සහ දේශප්‍රේමී අවවාදකරුවන්ගෙන් ඇසීමට ප්‍රශ්නයක් ඇත. ඒ  “දරුවෝ නම් හදන්න බැරි යැයි ඕන තරමක් ! ඒත් උන්ට කන්න අඳින්න දෙන්නේ කවුදැයි” කියාය. 

1940 සහ 1950 දශකයන් හිදී ගොවිජනපද ව්‍යාපාර වෙත ගිය තරුණ ගොවි අඹු සැමියනට එදා ලැබුණේ ඉඩම් අක්කර “මඩින් 05 යි ගොඩින් 02 යි” පන්නයෙනි. එය පසුව “ මඩින් 03 යි ගොඩින් 01 යි” තත්ත්වයට ඇද වැටුණි. අද තත්ත්වය කුමක්ද? 20 වන සියවස ආරම්භයේදී ලාංකේය පහළ පන්තිකයාගේ දරු අස්වැන්න පවුලකට 10 ක් ඉක්මවා ගියේ සාමාන්‍යයක් ලෙස මිස, විශේෂත්වයක් ලෙස නොවේ. සියවස මැද භාගයේදී එකී දරු අස්වැන්න 06 ක් දක්වා පහතට වැටුණි. ඒ නිදහසින් පසු ස්වදේශික පාලකයන් යටතේය. 20 වන සියවස තෙවන කාර්තුවේදී මෙරට පහළ පංතියේ දරු අස්වැන්න මැඩපැවැත්වීමට මැදිහත්වූ දේශපාලන අධිකාරිය ඒ සඳහා ක්‍රම දෙකක් භාවිතා කළේය. එකක් “පුංචි පවුල රත්තරන්” කියාය. දෙවැන්න “ ත්‍රස්තවාදියාට සමාවක් නැත” කියාය. එසේ කළ කී වුන් නිදොස් කොට නිදහස් කොට 21 වන සියවස පළමු කාර්තුවේදී ඊනියා දේශප්‍රේමීන් කෑ මොර දෙනුයේ “සිංහලයා වඳ වෙනවෝ” කියාය. ඒ යෞවන ශුක්‍ර තරලයන්ට යෞවන ඩිමබයන් සොයා යෑම අහිමි කළා පමණක්  නොව, යෞවන ශුක්‍ර ගබඩාවන් මහමග දවා අළු කළ වුන් ගැන කෙළ පොදක් බිම නොහෙළාය. එබැවින් දශක 07 ක් තිස්සේ මෙරට ආර්ථිකය කාබාසිනියා කළ පක්‍ෂ දේශපාලනයේ ඊනියා දේශප්‍රේමීන් විසින් කරනා මේ “සිංහල ප්‍රේමී” ප්‍රෝඩාව නැවැත්විය යුතුය. ඒ උදය ගම්මන්පිල පමණක් නොව සියල්ලන්ය. මන්ද මෙරට වසනා සිංහලයාට එරෙහිව ස්වදේශික පක්‍ෂ දේශපාලනය විසින් කළ සතුරුකම් නිමක් නැති නිසාය. ඒ අනුව උදය ගම්මන්පිල උන්නැහේ පමණක් නොව සිංහල බෞද්ධයාගේ පැවැත්ම ගැන මුඛ කයිවාරු ඇදබානා සියල්ලනට් අප සිටිනුයේ “සිංහලයා වඳ කිරීම” සඳහා ඉතාම තීරණාත්මක වැඩ කොටස කළේ කවුරුන් දැයි යන්න නිවැරදිව විග්‍රහ කොට ගන්නවා විනා මහ ජාතියේ ජාතිවාදය හමුවේ නන් දොඩවනා රවුෆ් හකීම් වැන්නන් සමග සංඛ්‍යාලේඛන සහිතව කරනා බොරු චණ්ඩි දේශපාලනය නවත්වනු ! කියාය. මන්ද මෙරට ඉල්ලා සිටිනුයේ රට තුළ වසනා සමස්ත ජනයාට මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරනා සැබෑ සත් පුරුෂයන් මිස, දේශපාලනයේ මුඛ කෙළ පෙරා ගත් බොරු චණ්ඩින් නොවනා නිසාය. ලාංකේය ස්වදේශික දේශපාලනය ගතවූ  දශක 07 කාල පරාසයක් තුළ සිංහල සමාජය වඳ කිරීම සඳහා අනුගමනය කළ ක්‍රමවේදයන් දෙකක් විය. එකක් සිය කැමැත්තෙන් කොට ගන්නා, මූල්‍ය ලාභයක්ද සහිත “වන්ධ්‍යාකරණ සැත්කමයි.” දෙවැන්න ත්‍රස්තවාදීන් බවට පත්කොට මරා දැමීමයි. දෙමළ සමාජය නීත්‍යනුකූල මුදල් ගෙවනා වඳ කිරීමට එකඟ වූයේ නැත. නමුත් දෙමළ සමාජය “ත්‍රස්තවාදී වඳ මෙහෙයුමට” ගොදුරු වූයේ සාපරාධී ලෙසය. ඒ අනුව සිංහල සමාජය දෙආකාරයෙන්ම වඳ වී ගිය අතර දෙමළ සමාජය “ත්‍රස්තවාදී ලේබලය” යටතේ වඳ වී ගියේය. 

වසර 60 ක් තිස්සේ ස්වදේශික පාලනය යටතේ 2009 දක්වා උතුරේත්, දකුණෙත්, දෙමළාත්, සිංහලයාත් වඳභාවයක ගිලී යද්දී මුසල්මානුවා දරුවන් හැදීමේ වේගය වැඩි කළේ නැත. සිදුවූයේ මුසල්මානුවා මූල්‍ය ප්‍රතිලාභ සහිත වඳභාවයට එකඟ නොවුණා හා සමාන ලෙසම “වන්ධ්‍යාකරණය” ත්‍රස්තවාදී ලේබලය යටතේද මුස්ලිම් සමාජය වෙත කඩා නොවැදීම වේ. ඒ අනුව පසුගිය ජුනි 27 වනදා “බලය” රූපවාහිනී සංවාදයේදී හිටපු අමාත්‍ය රවුෆ් හකීම් විසින් තම මුස්ලිම් ජන සමාජයේ වර්ධනයක් සහ සිංහල ළමා ජනගහනයේ අව වර්ධනයක් සිදුවී ඇති බව පිළිගත්තේ නැත. නමුත් සත්‍යය එය නොවේ. මුස්ලිම් ජනගහනයේ යම් වර්ධනයක් 2012 ජන සංගණනය හරහා ද සනාථ වී ඇත. නමුත් මේ මුස්ලිම් වර්ධනය තුළ විශේෂ මුස්ලිම් කුමන්ත්‍රණයක් නැත. ඒ ජනගහනයේ වර්ධනයේදී සිංහල සමාජය තම ජන අනුපාතයට සාපේක්‍ෂ ලෙස දායකත්වය ලබා දීමට අසමත් වූයේ ඇයිද යන්න සාධක සහිතව තහවුරු කළ හැකි නිසාය. නමුත් සැබෑ තත්ත්වය වෙනුවට විකෘති විග්‍රහයන් සමාජගත කිරීම සඳහා දේශපාලකයින් උත්සුක වන්නේ තමන්ගේ පාලනයක් යටතේ මුස්ලිම් ජනගහනය වර්ධනය වීම වළක්වනු ඇතැයි යන “සාවද්‍ය පරාවර්තනයක්” සමාජය වෙත ගෙන හැර පෑම සඳහාය. සිදුවී ඇත්තේ කුමක්ද? සිදුවන්නේ කුමක්ද? යන්න නිවැරදිව අවබෝධ කොට ගැනීමට නම්, මෙරට ජන සමාජය පවත්නා පක්‍ෂ දේශපාලනය නැමැති හොරාගේ අම්මාගෙන් පේන ඇසීම නැවැත්විය යුතුය. මන්ද සොරාගේ සහ අම්මාගේ චරිත ද්විත්වයටම පණ පොවනුයේ මේ පක්‍ෂ දේශපාලනය නිසාය. එබැවින් සිංහල ළමා ජනගහනයේ අව වර්ධනය උදෙසා මුසල්මානුවා සමඟ කෙළ ගැනීමෙන් හෝ ඔවුනට වෛර කිරීමෙන් පලක් නැත. කළ යුත්තේ ලෝකයේ සිංහල ජනයා බහුතරයක් වසනා මේ රට තුළ මහ ජාතියට එරෙහිව මහ ජාතියේ දේශපාලනය විසින් දියත් කොට ඇති අපරාධය අවසන් කිරීම වේ. එසේ නොමැතිව රටේ සමස්ත පීඩිත ජනයාට එරෙහිව ක්‍රියාත්මක වන සිංහල මූලික දේශපාලනය හරහා සිංහලයා රැක ගැනීමට උත්සාහ දැරීම සමාන වනුයේ, බළලෙකු දිවියෙකුගෙන් පිහිටාරක්‍ෂාවක් ඉල්ලා සිටීමක් හා සමගය. මෙරට පක්‍ෂ දේශපාලනය විසින් පිහිටුවනු ලබන ආණ්ඩු වනාහී සිංහල බසින් දොඩනා දිවියෙකු මිස, තම සහෝදර බළලෙකු නොවනා බව අවබෝධ කොට ගත යුත්තේ ප්‍රධාන වශයෙන්ම සිංහලයාය. මේ පක්‍ෂ දේශපාලනයේ දිවියා සමග එක හැළියේ වළඳනා දෙමළ මුස්ලිම් පංති දේශපාලනය සිංහලයා වඳවී යාමේ ඇත්ත හේතු නොකියා සිටිනුයේ එවිට තම සහෝදර සිංහල දිවියා සිංහල බළලා හමුවේ හෙළිදරව් වන නිසාය. රවුෆ් හකීම්, උදය ගම්මන්පිලට ඇත්ත නොකියා ගෙදර ගියේ එනිසාය. එපමණයි.  
 
ජයවික්‍රම සූරියබණ්ඩාර 
jayawikrama1974@gmail.com