ලිබරල් මංගල සහ ලී - බැරල් සජිත් !

ලිබරල් මංගල සහ ලී - බැරල් සජිත් !

12 July 2019 12:29 pm

මංගල සමරවීර මහතා සැලකෙන්නේ ශ්‍රී ලංකාව තුළ ලිබරල් සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි නායකයකු වශයෙනි. අවම වශයෙන් මෑතක් වන තුරුම ඔහු එසේ බව කිව හැකිය. ඔහුගේ තිස් වසරක දේශපාලන දිවිය තුළින් ඔහු උපයාගත් දේශපාලනික ධනය වූයේ ද මේ "ලිබරල්" නාමයයි. 

ඇත්තෙන්ම සමාජ අපවාද පවා නොතකා ඔහු ආගමික අන්තවාදයන්ට, මානව හිම්කම් කඩකිරීම්වලට එරෙහිව ලිබරල් ස්ථාවරයේ දිගින් දිගටම පෙනී සිටි බව ද සිහිපත් කළ යුතුය. 

මංගලට දැන් සනීපද ?

කෙසේවෙතත් මෑතකදී ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බවට යෝජනා කරන ලද සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (11) දිනයේ දහම් පාසලක පැවති උත්සවයකදීම තමන් මරණ දඬුවමට පක්ෂ බව ප්‍රකාශයට පත් කර තිබිණි. 

ඒ, එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය වශයෙන්ම මරණ දඬුවමට විරුද්ධ බව ප්‍රකාශයට පත් කර තිබියදීය. මංගලට දැන් සනීපදැයි අසන්නට අපට සිදුවී තිබේ. 

තීන්ත වේලෙන්නටත් පෙර මංගලගේ ලිබරල් සළුව අහිමි කරවීම

මංගල විසින්ම ප්‍රකාශයට පත් කළ පරිදි සජිත් ප්‍රේමදාස යනු මංගලගේ අනාගත නායකයාය. මංගල මේ මොහොතේ පෙනී සිටින පුද්ගලයාය. ඒ අනුව මංගලගේ නායකයා මරණ දඬුවමට පක්ෂ වී ඇති අතර මංගලට තිස් වසරක දේශපාලන සළුපිළි සියල්ල ඔහු විසින් සතියක් ඉක්ම යන්නටත් පෙර අහිමි කර තිබේ. 

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යනු ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙනයන දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘතියක් බව දේශපාලනයේ හය හතර තේරෙන ඕනෑම කෙනෙකු දනී. හුදු සරල ජනප්‍රියත්වයක් තකාගෙන මිනිසුන් එල්ලා මැරීමට ගියත් ඉන් රටට අත්වන හානිය මහත් බව ද දේශපාලනය දන්නෝ දනිති. ලෝකයෙන් හුදෙකලා වන තීන්දු තීරණ ගත් කළ රටේ ආර්ථිකයට අත්වන ඉරණම ගැන මනා වැටහීමක් මුදල් අමාත්‍යවරයා වන මංගලට ද ඇති බව අපි දනිමු. එහෙත් මංගලගේ නායකයා දැන් මරණ දඬුවමට පක්ෂය. 

මංගලගේ විකල්ප දෙක

මංගලට දැන් සරල විකල්ප දෙකක් තිබේ. එකක් නම් සජිත්ව නායකයා කරගැනීමෙන් තමන්ට වැරදුණු බව පවසමින් ඔහුගේ මරණ දඬුවම පිළිබඳ ප්‍රකාශය විවේචනය කරමින් සිය ලිබරල් ස්ථාවරය රැකගෙන දේශපාලනය කිරීමය. 

අනෙක නම්, බලය ඉදිරියේ අනෙකුත් ඕනෑම තක්කඩියකු කරන්නාක් මෙන් "සජිත් කියනවා නම් මාත් මරණ දඬුවමට පක්ෂයි" කියමින් දේශපාලන ඉතිහාසයේ කුණු බක්කිය වෙත සජිත්ගේ අතින් අල්ලාගෙන පැනීමය. 

මහින්දගෙනුත් පහළට මංගල වැටීම

ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ මහතා පවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ජනපතිගේ තීරණය විවේචනය කළේය. ඒ, මහින්ද දේශපාලනික නිසාය. දැන් මංගල සමරවීර මහින්දගෙනුත් පහළට වැටී සිටී. 

අනෙක් අතින් මංගලට කරන්නට යෝජනාවකුත් අපට තිබේ. මංගලට ඔය පියවරෙන්ම ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට ද පුළුවන. ගෝඨාභය යනු කිය කියා මරණ දඬුවම් දෙන පුද්ගලයකු නොව මරණ දඬුවම සිය ගෝලයින් ලවා ක්‍රියාත්මක කරවා, මරණයට පත් පුද්ගලයා ගැන "හූස් ඊස් අහවලා ?" යැයි අපෙන්ම අසනා පුද්ගලයෙකි. 

ඔහොමම ගෝඨා ළඟට යන්නත් පුළුවන් නේද ? 

එසේම මංගල සජිත් ප්‍රේමදාසව අපේක්ෂකත්වයට යෝජනා කළේ ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා ඔහු බව කියමින් ඔහුත් සමඟ ඇති දේශපාලනික විෂමතා අමතක කරමිනි. ඒ තියරියට අනුවම සජිත්ට වඩා ජයග්‍රහණය කිරීමේ හැකියාවක් පෙන්වන ගෝඨාට සහාය දීමට ද මංගලට හැකිවිය යුතුය. සජිත්ව කර තියාගෙන යන්නට මංගලට හැකි නම් ගෝඨාව කර තියාගෙන යන්නට ද හොඳටම හැකි විය යුතුය. 

තමන් ඉතිහාසයට එක්වීමට කැමති කවර ආකාරයෙන්ද යන්න ප්‍රදර්ශනය කිරීමට මංගලගේ මොහොත උදාවී තිබේ.