වැදි බණ ඇසූ ඥාණසාර හෙවත් නෑ යකුන් ගෙනා භික්‍ෂු දස පනතේ වස්තුව

වැදි බණ ඇසූ ඥාණසාර හෙවත් නෑ යකුන් ගෙනා භික්‍ෂු දස පනතේ වස්තුව

12 July 2019 11:00 am

වැදි හූරා ගේ අමුඩ පොජ්ජ දෙදරනු  දුටු පුඟුලා බියෙන් සහ සැකයෙන් පියවරක් පිටුපසට තැබුවේ මීළඟට මොන පොජ්ජක් මංදෝ කරලා නතර වේ ද යන කුකුසෙනි. මඳ වේලාවක් සිනහ මුහුණින් දෙදරුම් සුව ලැබූ නාඹර හූරා, අමුඩ පොජ්ජෙන් ඉස්මාර්ට් ෆෝන් පොජ්ජක් ඇද වචන දෙක තුනක් කථා දමා තමා හා එන ලෙස පුඟුලා වෙත සන් කළේය.

පසුගියදා වියත් මඟේ යෑමෙන් පසු ඕනෑම ගුබ්බෑයමක හිරිකිතයෙන් තොරව යාමට හුරු පුරුදු වූ පකට පුඟුල් තෙම මහ හූරා හිටි දෙසට ගියේ වැදි සිකුයූරිටි ක්ලියරන්ස් අවසරයෙන් පසුවය. මේ ගමනේ අරමුණ ජනාධිපතිවරණය පිලිබඳ වන්නියලැත්ත සමග සම්මුඛ සාකච්චාවක් කර එතුමා ගේ නමින්, තමා කැමති අදහස් පත්තරේ දමා ගැනීමයි. හෙඩිම, (“මමත් ඉල්ලනවා!” වැදි නායක ජනාධිපතිවරණයට?) කලින්ම ලියා අවසන් කර ඒ අනුව ලිපිය සකස් කර ගැනීම නූතන පත්තර කලාවයි. 

කෙටේරිය කරේ දමා අමුඩ පොජ්ජෙන් සැරසී සිටි වැදී නායකයා ගේ අතේ, කුරුණෑගල වන්නිකුඩු සාටකේ මන්ත්‍රී ගජ්ජා ගේ මෙන් නූල් තොගයක් බැඳ ඇති බව දුටු පුඟුලාට වැදී නායක උන්නැහේත් පුත්‍රපති මංගච්චන්නට ගියාහෝදෝ ......

“පන්සල දිහා මංගැච්චුවා”. වැදී නායක කතා දමයි.

“පන්සිලුත් ගත්තැයි?...” පුඟුලාගේ කටේ තිරිංග ලිස්සයි ....

“වැද්දන්ට පන්සිල් දෙන හාමුදුරුවරු? ....... එතකොට නෑ යක්කු? කිරි කොරහ?”

හඬ බාල කල නායකතුමා ..“වරිග සබාවේ තීන්දු .... මෙයැත්තො නායක කමින් මංගච්ච වලා දාන්න කුමන්ත්‍රණ පොජ්ජක් ලාලා ... අමුඩ පොජ්ජේ මිරිස් කුඩු දිය කොරල දමාගන දඹානේ පුස්තකාල පොජ්ජෙන් මෙයැත්තොට දමා ගහන්න පොත් ගෙනහල්ලා .... ඌරු වරිගේ වඳ කොරන්න බණ්ඩාර වරිගෙ උන් දඩ මස් වලට වඳ පෙති ලාලා .......  වරිග සභා පොජ්ජ ඌරු වරිගේ ට නින්දා කොරන තත්තෙට ආ හන්දා, වැදි රැහේ උන් ජාතිය වෙනුඑන් සටන් පොජ්ජ මං දෝ කරන එක බේරගත්තේ පෙරැත්තෙන් කථා දමාල ........සිංහලයෝ වගේ හැසිරෙන්න එක ගැන ලජ්ජා කොරෝලා ...එහෙම නූනා නන් .... මාත් කොදොයි .. වරිගේත් කොදොයි”.

“කොදොයි කිව්වේ?” පුඟුලාට වැදී බස නුහුරුය.

“කෆුට්! හාන්සි!!”   වන්නියලැත්තා ගූගල් ට්‍රාන්ස්ලේෂන් වැනිය. 

“සෙලිග්මාන් සුදු හූරා කුරු කුරු ගච්චාපු  අපේ මහ පොතේ ආගම ගැන පිටු හැටක් තිබුණත් ... හතුරු රැහේ උන්ට ගල් ගහල මරා දමන කතා නෑ නොව. අපි කොයි චාරිත්තරේ කරන්නෙත් සුදු හූරගේ මහ පොතේ හැටියට වෙච්චි. සෙලිග්මාන් හූරා කුරු කුරු ගච්චල්ලා තියෙන්නේ ගල් ගහන්නේ කෝප වෙච්චි නෑ යක්කු කියාලා.” 

“පන්සල් ගියේ? ..”

“නෑ යක්කු වැහිලා කෝප ලාලා ඉන්න කපුවලැත්තන්ට බුදුවලැත්තන් ගේ බණ පොජ්ජක් කථා දමන්න කියාල.” 

“අපේ හාමුදුරුවරුන්ට බුදු බණ කියාදෙන්න?”

“හ්ම්ම් ......” වැදි නායක හිස හරවා දක්‍ෂ ලෙස තර්ඩ් මෑන් හරහා ගලා යන ලෙස බුලත් කෙළ පහරක් එල්ල කරයි.

“ධම්මපදයේ දණ්ඩ වග්ගයේ.....” .... වැදි බණ???

“අම්මප?”

“ඒ කාලෙ ජේතවනාරාමේ .....”

“ඔහේලාගේ කට්ටියනේ ... ගල් ගැහුවේ..”, පුඟුලාට පරණ කතාවක් සිහියට එයි.

“දිවයිනේ හරි දෙරනේ හරි තිබුණ කතාවක් වෙන්නැති ....”

“ජේතවනාරාමේ කුටි පොජ්ජක් කට්ටියක් පවිත්තර කොරාළ ගන්නකොට තව කපුවලැත්තන් කට්ටියක් ඒ කුටි පොජ්ජ කලින් තමන් හිටපු භුමි පොජ්ජ කියාලා අයිතිවාසිකමට මංගච්චල අලුතෙන් මංගච්චපු හූරලාට පොලු පොජ්ජෙන් ගුටි පොජ්ජ මංදො කොරාළ. මහා කලබොල සද්දේ අහලා බුදුවලැත්තෝ කතා දැම්මේ මෙහෙමයි 

සබ්‌බෙ තසන්‌ති දණ්‌ඩස්‌ස, සබ්‌බෙ භායන්‌ති මච්‌චුනො
අත්‌තානං උපමං කත්‌වා, න හනෙය්‍ය න ඝාතයෙ

සියලු සත්ත්වයෝ ම වධබන්ධනාදි කායදණ්ඩනයට බිය වෙති. සියලු සත්හු මරණයට බය වෙති. එබැවින් තමා උපමා කොට, මම යම් සේ දණ්ඩනයට බයවෙම් ද එසේ ම සියලු සත්ත්වයෝ ද දණ්ඩනයට බය වෙති. මගේ ජීවිතය මට යම්සේ ප්‍රිය වේ ද එසේ ම සියලු සතුන්ගේ ජීවිත ද ඔවුනට ප්‍රිය යැ’ යි මෙසේ තමා උපමා කොට කිසි දු සතක්හු අතින් පයින් දංඩෙන් පහරදී නො මරන්නේ ය. අනුන් ලවා ද නො මරවන්නේ ය.

මරක්කල හුරලා ගල් ගහලා මරණ එක නරක බව මෙයැත්ත අස්ගිරියේ මහ හූරට කියා දුන්නා. දැන් අපේ සෙලිග්මාන් හූරා කුරුකුරු ගච්චාලා දුන්නු මහා වංශ පොතේ හැටියට ගල් ගහන්නේ මල ගිය වැද්දන්ගේ යක්කු. යක්කු ගැන කිව්වම අස්ගිරියේ හුරා මෙයැත්තලාට කතා දැම්මේ ඥාණසාර හූරා මුලිච්චි වෙන්න කියාලා. ඒ කපුවලෑත්තෝ හිරගෙයි ළඟ ඉස්පිරිතාලේ ඉන්දල්ලා ටිකට් කපල පන්සල් මං ගැච්චුවේ ළඟදි.   

කපුවලෑත්තන්ගේ බොදු බල සමිති පොජ්ජට අස්ප රේස් සුමතිපාල ඇරෙන්න වෙන නායකයෝ කවුරුත් මංගච්චන්නේ නැහැයි කියාලා කථා දමන්න කෙනෙක් නැතුව අනාථ වෙලා හිටපු කපුවලෑත්තෝ කොහොමින් හරි මෙයැත්තට බෝගම්බර මංගච්චන්න  කතා දැම්මනේ.

මහ නායක, අනු නායක, සාමනේර කපුවලත්තෝ සෙරෝක්කලාම මෙයැත්තලා ගේ බණ ඇහැව්වා”.

අමුඩය අත පත ගා ඉස්මාර්ට් ෆෝන් එකක් අතට ගත් වැදී නායකයා තමන් බෝගම්බර මහා පිට්ටනියේ කල කතාවේ යූ ටියුබ් පටියක් පුඟුලාට පෙන්වීය. 

වැදී නායකයා ගේ දේශනය අසන්නට දහසක් පමණ භික්‍ෂුන් මහ නුවරට වැඩ සිටි බව දුටු පුඟුලා සිහි කළේ, මුස්ලිම් ජාතිකයෙක් හා විවාහ වී අවුරුදු දොළහකට පසු එම විවාහයට වීරෝධය දක්වන්නට අටළුගම වාසය කරන මුස්ලිම් භක්තිකයින් දහසක් එම කුළ කාන්තාවකගේ නිවසට එක්වූ බව චෝදනා කරමින් රාජකීය පණ්ඩිත ඥානසාර හිමියෝ ප්‍රමුඛ බොදු බල සේනාවෝ පැවැත්වූ මාධ්‍ය හමුවයි. බන්ධනාගාර රෝහලේ සිට ආ දා පටන් අපේ හාමුදුරුවෝ පටන් ගන්නවා කිවූ සැණකෙළිය, දොස්තර සාෆි ගේ සැත්කමකින් තොරවම ගබ්සා වී ඇති බව පුඟුලාට දැනුනි.

වැදී නායක ධර්මානුසාසනාවෙන් හිත් පහදාගත් විද්වත් භික්‍ෂුහු දස පනතක් සඳහා සංසද කොමිසමක් ආරම්භ කර තිබේ. මේ ගැන සිතා බලමින් කන්ද නගිමින් සිටියදී ඇවැසි කටයුත්තකට පඳුරකට රිංගූ පුඟුලාට, මෝසස් දෝ එසේත් නැතිනම් වැදී නෑ යකෙකු දෝ හෝ යැයි සිතාගත නොහැකි මහල්ලෙක් ටැබ් කොම්පියුටර දෙකක් අතට දී අතුරුදන් විය. එහි ලියා තැබුණු භික්‍ෂු දස පනතක් පුඟුලා කියවන්නට ගත්තේ පඳුර මුල ඇන තබා හිඳ අවශ්‍ය කෘතියේ යෙදෙන අල්ල පනල්ලේ මය.

භික්‍ෂු දස පනත  

1. පටු අරමුණු මුල් කරගෙන ජාති වාදය අවුලා රට භේදභින්න කිරීමේ පහත් දේශපාලන සංස්කෘතිය පිටුදැකීම.
2. අධාර්මික ව්‍යාපාරිකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්, දුෂිත දේශපාලකයින්ගෙන් (කළු පැහැ මර්සිඩීස් බෙන්ස් ඇතුළු) තුටු පඬුරු ගැනීමෙන් වැලකීම. 
3. බුදුන් වහන්සේ ගේ දහමට පටහැනි, ගිහි කුල වාදය පදනම් කරගත් නිකාය වාදය පිටුදැක, බුදල් රකින්නට ඥාතීන් සසුන් ගත කිරීමෙන් තොර, සමානාත්මතාව යෙන් යුත් සාධාරණ භික්‍ෂු සමාජයක් බිහි කිරීම.
4. ජාතික ආරක්ෂාව සඳහා සාමකාමී සාකච්චාව මුල් කරගත් මානවවාදී ප්‍රතිපත්ථි මත පදනම් වූ මෛත්‍රීය උපේක්ෂාව උපයෝගී කරගත් බොදු පිළිවෙත් වෙත යොමු වීම.
5. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජන සම්මුතිවාදය ආරක්ෂා කිරීම සහ ආගම ඇදැහීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිවාසිකම් වලට ගරු කිරීම.
6. මහ ජාතියේ නිෂ්පාදන ආර්ථිකයේ පැවැත්ම සහ වර්ධනය තහවුරු කරන අරමුණින් ජනතාව ගසා කන දේශීය ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරමින්, අන්‍ය ලබ්ධිකන්ගේ ව්‍යාපාර වර්ජනය කිරීමේ දුෂ්ඨ ප්‍රතිපත්තීන් පිටු දැකීම.
7. ස්ත්‍රී දුෂණ, ළමා ලිංගික අපචාර, හොර මැරකම් ඇතුළු අපරාධ සිදුකරමින් සිවුරු දරා සිටින සියලු පාපිශ්ටයන් පිටු දැකීම. 
8. මහජන මුදලින් නිදහස් අධ්‍යාපනය ලබා මහ ජනතාව ගසාකමින් ආදායම් බදු වංචා කරමින් අහිංසක ජනතාව සූරාකන වෛද්‍යවරු ඇතුළු ඉහල නිලධාරීන් ගල් ගසා හෝ පෙති ගසා මරා දැමීමට අනුශාසනා කිරීම. 
9. අහිංසක උපාසක උපාසිකාවන් දුකසේ උපයන පනම් හතර ගසා කමින් සෝවාන් සහතික ලබාදෙන චීවර ධාරී අරහත් කඩ මුදලාලි වරුනට ෂාරියා නීතිය යටතේ දඬුවම් කිරීම.
10. දෛනිකව පංච ශීලය නොරකින (දෙමළ මුස්ලිම් ජනතා ඝාතනයට අනුබල දීම, හොරකම, ලිංගික අපහරණය, ආත්ම වාසියට පට්ට කෙබර ඇදබෑම සහ හැන්දෑවේ හීං ගිලන්පසකින් ඇඟ රත් කර ගැනීම) සියලු මහණුන් සඳහා සෛබීරියාවේ වැනි වැඩ කඳවුරු බිහි කිරීම.

(ඉතිරි වන දහ පහළොස් උතුමෝ වෙත ශාසනය භාර දීම)
දස පනත කියවූ සැණින් පස්චාත් ප්‍රදේශයට දැනුනු නූතන සුවයත් සමග පුඟුලාට පසක් වූයේ දශක කිහිපයක් තිස්සේ x කණ්ඩායම මෙන් තමන්ට වද දුන් මල බද්ධය නිට්ටාවට සුවවීමේ ප්‍රාතිහාර්ය මේ මොහොතේ සිදුව ඇති බවයි.

= සිත ගත සැහැල්ලුවෙනි, පකට පුඟුලා