එල්ලුම් ගසට යන දේශපාලනික ගමන - අස්ගාර් හුසේන්

එල්ලුම් ගසට යන දේශපාලනික ගමන - අස්ගාර් හුසේන්

10 July 2019 05:30 pm

දියේ ගිලෙන මිනිසා පිදුරු ගසෙත් එල්ලෙති යි කියමනක් තිබේ. මරණීය දණ්ඩනය යළි ස්ථාපිත කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණයත් ඊට යම් සමානත්වයක් දරයි. ජනාධිපතිවරණයක් ළඟ එන තත්වයක් තුළ, තමාගේ පළුදු වී ඇති දේශපාලනික නාමයට මෙවැනි දෙයකින් යම් ආලෝකයක් සැපයෙතැයි ඔහු සිතනවා විය හැකිය.

නරුමවාදීව මෙදෙස බැලුවොත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරන්නට ඔහු ගත් තීරණයට ජනතා ප්‍රසාදය ඔහුට හිමිවන බව කිව හැකිය. එය ඕනෑම ජනමත විමසුමකින් පැහැදිලි වන දෙයකි. අවිහිංසාව සහ කරුණාව පිළිබඳ උතුම් බෞද්ධ පරමාදර්ශ තිබියේ වී නමුත් අපරාධකරුවන්ව එල්ලා මරන්නැයි කරන නිරන්තර මහජන ඉල්ලීමක් ද රටේ තිබේ. එහෙත් එසේ වූ පමණින් ඒ මගින් ආරක්ෂාව සහිත, සදාචාර සම්පන්න සමාජයක් බිහිවෙතැයි සිතීම අමනෝඥ ය. ඒ වෙනුවට එයින් සිදුවනු ඇත්තේ, බරපතල සමාජ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවීමත්, අපේ මනුෂ්‍යත්වය පල්ලම් බැසීමට පාර කැපීමත් පමණි. 

එල්ලුම් ගස ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන්, ඊට අදාළ අපරාධ පිළිබඳ සැබෑ ප්‍රශ්න අපේ අවධානයෙන් වෙන පැත්තකට ගමන් කිරීමට පටන්ගනී. එහෙන් මෙහෙන් අපරාධකරුවෙකු මරණීය දණ්ඩනයට ලක්කිරීමෙන්, යුක්තිය ඉෂ්ට විණැයි යන මායාමය සහනයක් අපට ලැබිය හැකිය. එහෙත් ඉතිරි පිරිස්, බලගතු දේශපාලඥයන් සහ නීතිය ආරක්ෂා කිරීමේ බලධාරීන් සමග එකතුව ජාවාරම දිගටම කරගෙන යන්නේ නම්, කිහිප දෙනෙකු එල්ලා මැරීමෙන් අත්වන පලය කුමක්ද? එයින් සිදුවන්නේ, මහපරිමාණ දූෂිත ක්‍රමයක් සහ ඉහළ ස්ථරයේ පවතින නපුරක් ආවරණය කිරීමේ කඩතුරාවක් වශයෙන් එල්ලුම් ගස යොදා ගැනීමක් පමණි.

එසේ හෙයින් අලුගෝසුවා නැවත කැඳවීමෙන් අපරාධ මැඩලිය නොහැකි බව කිව යුතුය. අපරාධකරුවන් අධෛර්යමත් කළ හැකි එකම ක්‍රමය වන්නේ, අපරාධයක් කළොත් තමන් අත්අඩංගුවට පත්වන්නේය, තමන්ට නඩු වැටෙන්නේය සහ තමන්ව වැරදිකරු කොට ඒකාන්තයෙන්ම දඬුවමට ලක්කෙරෙන්නේය යන සහතික විශ්වාසය සමාජයක ඇති කිරීම පමණි. කළ යුතුව ඇත්තේ එයයි. 

එහෙත් අවාසනාවකට, අපේ නීතිරීති ක්‍රියාවේ යෙදවීමත්, අධිකරණමය සහ දණ්ඩන පද්ධති ක්‍රියාත්මක වන්නේත් හරහට ය. පොලීසිය සාවද්‍ය ආකාරයෙන් මිනිසුන්ව අපරාධවලට පටලවන බවට සාක්ෂි තිබේ. ඒ අතරේ, බලපුළුවන්කාරයන් සහ සල්ලිකාරයන් නීතියෙන් රිංගා යන බවත් පෙනෙන්ට තිබේ. බොරු සාක්ෂි පටලවා සාවද්‍ය ආකාරයෙන් වැරදිකරුවකු බවට පත්වීමේ ඉඩකඩ හැම විටකම නැති බැරි මිනිසුන් වෙනුවෙන් විවෘතව තිබේ. එහිදී බොරු සාක්ෂි පමණක් නොව, අධිකරණයේ අභිචෝදකයන්ගේ දූෂිත චර්යාවත් ඊට උඩගෙඩි දෙයි. තවද, අපේ නඩු විභාග තුළ, සියලු පුද්ගලයන්ට සහ තත්වයන්ට ගැළපෙන ගතියක් හෝ සමාන ගතියක් දක්නට නොලැබේ. 

විලංගුවේ දමාගෙන සිටීමෙන් ඔවුන්ගෙන් සිදුවන අපරාධ මැඩලිය හැකිය. එහෙත් ‘නීතියේ දීර්ඝ හස්තයට’ හසු නොවන එළියේ සිටින අපරාධකරුවන්ගෙන් සිදුවිය හැකි විනාශය එයින් වළකින්නේ නැත. ඉතිං, දැනටත් හිරේ සිටින පිරිසක් එල්ලා මැරීම වෙනුවට කළ යුත්තේ, එළියේ සිටින අපරාධකරුවන්වත් නීතියේ රැහැනට හසුකර ගැනීමයි. ආරක්ෂාකාරී සමාජයක් ගොඩනැගිය හැක්කේ එවිට ය. 

බරපතල ප්‍රතිවිපාක

එල්ලුම් ගස ආපසු ගෙනෙන්නේ යටිකූට්ටු දේශපාලනික පරමාර්ථ පෙරදැරිව වුවත් නැතත්, එල්ලුම් ගස යනු දුර නොපෙනෙන දර්ශනයකි. එයින් ඇති විය හැකි ප්‍රතිවිපාක භයානක ය. දැන් මත්ද්‍රව්‍ය අපරාධ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන එය, ඊළඟට මිනිමැරුම් වැනි වෙනත් අපරාධ වෙනුවෙනුත් යොදාගත හැකිය. ඒ මගින් ඇතැම් පුද්ගලයන් කෙරෙහි විශේෂ අසාධාරණයක් සිදුවිය හැකිය. ඒ සමගම, සමස්ත සමාජය පොදුවේ නිර්-මානවීකරණය විය හැකිය. 

මරණීය දණ්ඩනය නෛසර්ගිකවම භයානක ය. ලෝකය පුරා වාර්තා වී ඇති නොයෙක් සිදුවීම් මගින් පෙන්නුම් කොට ඇත්තේ, මිනිසෙකු මරණයට පත්කරන සමස්ත ක්‍රියාවලිය තුළ සිදු විය හැකි බලධාරීන්ගේ අත්වැරදීම් නිසා මොන තරම් අපරාධ සිදුවිය හැකිද යන්නයි. ඒ නිසාම, මරණයට පත්කිරීමේ සමස්ත ක්‍රියාවලිය ඉතා නිවැරදිව හඳුන්වා දෙනු ලබන්නේ හිතුවක්කාරී සහ අත්තනෝමතික පරිපාටියක් වශයෙනි. එහිදී බොහෝ දේවල් තීන්දු වන්නේ විනිසුරුවරුන්ගේ, චෝදකයන්ගේ සහ ජුරි සභාවල ස්වභාවය අනුව ය. ඊටත් උඩින්, අර කලින් කී, සල්ලිකාරයන්ගේ සහ බලපුලුවන්කාරයන්ගේ උප්පරවැටි ජාලයත් තිබේ. ශ්‍රී ලංකාවේ සිදු වී ඇති දේවල් දෙස බලන විට අප විශේෂයෙන් මේ ගැන පරිස්සම් විය යුතුව තිබේ.
 
අහිංසකයන් වැරදිකරුවන් නොකෙරෙතැයි විශ්වාස කිරීම අපහසු නැත. (වරදක් කරලා නැත්නං බය වෙන්න දෙයක් නැහැ). සාධාරණ සැකයෙන් තොරව යමක් ඔප්පු කළ යුතු යැයි නීතියේ කියැවෙන්නේත් ඒ නිසාම නොවේද? එහෙත් ප්‍රායෝගික තලයට එන විට තත්වය මීට වඩා බෙහෙවින් වෙනස් බව මතක තබාගත යුතුය. විවිධ හේතු නිසා යුක්තියේ අසාධාරණයක් සිදුවිය හැකිය. විනිසුරුවරුන් තුළ සහ ජුරි සභාවල තිබිය හැකි අගතිගාමී මත එයින් එකකි. බොරු සාක්කි දීම සහ ඇටවීම තවත් එකකි. වැදගත් සාක්ෂි වසං කිරීම තවත් එකකි. පොලීසිය මගින් සාක්ෂි ප්‍රබන්ධ කොට නිර්මාණය කිරීම තවත් එකකි. එසේ සැපයෙන සාක්ෂි පූර්වගත නියාමයන්ට අනුගතව නිර්වචනය කිරීම සහ වෙනත් අර්ථ ඒ සාක්ෂිවලට තිබිය හැකි බව නොතකා හැරීම තවත් එකකි. මේ සියල්ල අස්සේ, දේශපාලනික බලපෑම් තිබීම තවත් එකකි. 

ලෝකය පුරාම, නොකළ අපරාධවලට මරණ දඬුවමට ලක්කොට ඇති අහිංසකයන් බොහෝ ය. එය, ඉතාමත් අනුවේදනීය සහ තැතිගන්වන සුළු තත්වයකි. එහි අර්ථය වන්නේ, රාජ්‍යයත්, එම රාජ්‍යයේ දිගුවක් වශයෙන් අප සියලු දෙනාත්, අහිංසකයන්ගේ ලේ අපේ අත්වල තවරාගෙන සිටිය හැකි බව ය.  

මරණ දඬුවම අවසානාත්මක ය. ආපසු හැරවිය නොහැකි ය. 

මරණ දඬුවමක් ක්‍රියාත්මක කළ පසු ආපසු හැරවිය නොහැක. ජීවිතක්ෂයට පත්කරන ලද මිනිසාගේ ජීවිතය ආපසු ගෙන දිය නොහේ. එහෙත්, යමෙකු හිරේට නියම කළ පසු ඔහුගේ අහිංසක බව සනාථ කෙරෙන අලුත් සාක්ෂි ඉදිරිපත් වෙතොත් ඔහුව නිදහස් කොට වන්දියක් ද ගෙවිය හැකිය. වැරදි විනිශ්චයක් මත කෙනෙකු හිරේ දැමීම අවාසනාවකි. එහෙත් වැරදි විනිශ්චයක් මත කෙනෙකු මරණයට පත්කිරීම මහා ඛේදවාචකයකි. මේ නිසා වැරදි විනිශ්චයක් මත වුවත්, මරණයට පත්කිරීමට වඩා හිරේ දැමීම නරක නැත.
 
යම් අපරාධයක් සම්බන්ධයෙන් කෙනෙකුගේ අහිංසකත්වය සහ වරද සහගත භාවය අතර විටෙක ඇත්තේ ඉතා සියුම් වෙනසකි. බොහෝ අපරාධ නඩුවලදී පැහැදිලි සහතිකයක් සහිතව අවසාන විනිශ්චයකට එළැඹීම පහසු නැත. සතාසිවම් සහ පෝලින් කෲස් වැනි ලංකාවේ අතීතයේ ප්‍රකට නඩු තීන්දුවලදී මේ බව මනාව පැහැදිලි විය. 

යම් අපරාධයක් සම්බන්ධයෙන් පවතින සාක්ෂි ඉතා නිරවද්‍ය ආකාරයකින් ඒ පැත්තට හෝ මේ පැත්තට විනිශ්චය කිරීම අසීරු ය. සිද්ධියට අදාළ වෛද්‍ය මත පවා වෙනස් විය හැකිය. එවැනි තත්වයක් තුළ, කෙනෙකුගේ වරද සහගත භාවයට අදාළ හැම පැත්තක්ම තාර්කික ආකාරයෙන් කිරා බැලීම දුෂ්කර විය හැකිය. අවසාන විනිශ්චය මරණ දඬුවම වන අවස්ථාවක එවැනි අස්ථිර සහ වෙනස් විය හැකි සාධක මත කෙනෙකුගේ ජීවිතය සහ මරණය අතර ප්‍රශ්නය තීන්දු කිරීමට සිදුවීම අවාසනාවන්ත ය. 

ඇමරිකාව සහ ලෝකයේ වෙනත් බොහෝ රටවලදී මෙන්ම ලංකාවේත් නීතිය භාවිතයේ යෙදවෙන්නේ අසමාන ආකාරයකිනි. මරණ දඬුවම බොහෝ විට පැනවෙන්නේ දුප්පත්, නූගත් සහ මානසික රෝගීන් සම්බන්ධයෙනි. වත්පොහොසත්කම් ඇති, බලපුළුවන්කාර පුද්ගලයන් නීතියට යට වෙන්නේ කලාතුරකිනි. කෙනෙකු වරදකරුවෙකු වීම හෝ නොවීම බොහෝ විට දක්ෂ නීතිඥයෙකු වෙනුවෙන් දැරිය හැකි වියදම මත තීන්දු වෙයි. අනිත් අතට, දුප්පතෙකුට අදක්ෂ නීතිඥයෙකු වෙනුවෙන්වත් වියදම් කිරීමේ හැකියාව නැත. ඒ සම්බන්ධයෙන් මීට වසර 2500 කට පෙර ඇතන්ස් නුවර සිටි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ සොලෝන් කී දෙයක් මෙහිදී අදාළ වන්නේය: “නීතිරීති යනු මකුළු දැලක් වාගේ ය. පුංචි සතෙක් ඒ මැද්දෙන් රිංගා යන්නට ගියොත් ඌ ඊට ගොදුරු වෙයි. ඒත් ලොකු සතෙක් නම් දැල කඩාගෙන යයි”.

මිනිසුන් මරණයට පත්කිරීමෙන් සමාජයක් අමානුෂික වීමට අවකාශ ඇති බවට සැකයක් නැත. ඒ මගින් සදාචාරය ප්‍රවර්ධනය කෙරෙනවා වෙනුවට සිදුවන්නේ තරුණ සිත්සතන් දූෂ්‍ය කිරීමයි. මිනිසුන් මෙවැනි දේවල් කියනු බොහෝ විට අප අසා ඇත: “සෞදි අරාබියේ වගේ ප්‍රසිද්ධියේ හිස ගසා මරලා දාන්න ඕනේ.” මෙවැනි දේවල් කියන මිනිසුන්, ඒ කියන රටේ අධිකරණ පද්ධතියේ පවතින බරපතල දෝෂ පිළිබඳව සිතා බලන්නේ නැත්ද? එවැනි තදබල නීතිරීති තිබෙන රටවලම මිනිසුන් වඩාත් කුරිරු සහ අනෙකා නොඉවසන මිනිසුන් බවට පත්ව ඇත්තේ මන්ද? මේ කියන රටවල්වල ලිංගික සබඳතා නිසා ගැහැනුන්ව මරණයට පත්කරන බව මොවුන් නොදන්නේද? 

දරුණු දඬුවම් යනු, සමාජයක මුග්ධ භාවයේ කැඩපතකි. මෙවැනි රටවල් විසින් ජනතාව ආරක්ෂා කොට, පවතින සමාජ ව්‍යාධි සුව කරගන්නවා වෙනුවට එම ව්‍යාධිම තවත් වටයකින් පැමිණ එම සමාජය ඇතුළෙන්ම වෙලාගැනීම සිද්ධ වෙයි. අපරාධ සහ දඬුවම් පිළිබඳ ලෝ ප්‍රකට මාහැඟි කෘතියක් කළ 18 වැනි සියවසේ විසූ ඉතාලි ජාතික නීතිවේදියෙකු වූ සීසර් බෙකාරියා මෙසේ කියා තිබේ: “මරණ දඬුවම ප්‍රයෝජනවත් දෙයක් විය නොහේ. මන්ද යත්, ඒ මගින් මිනිසුන්ට සැපයෙන මෘග භාවයේ ආදර්ශය නිසා ය.”

බිහිසුණු ඉතිහාසයක් 

මරණ දඬුවම පිළිබඳ දීර්ඝ වූත්, බිහිසුණු වූත් ඉතිහාසයක් ලංකාවට තිබේ. සිංහල රජවරුන්ගේ කාලයේදී මිනිසුන් මරණ දඬුවමට පත්කරන ක්‍රම 32 ක් තිබුණු බව කියැවේ. පුවක් ගස් දෙකක් එකට ඇද බැඳ ඒ අතරේ සිරකරුවාගේ අත්පා ගැටගසා ඊළඟට ගස් දෙක ලිහා හැරීමේ සිට, ඇතුළෙන් උල් ඇණ සවිකොට ඇති පීප්පයක සිරකරුවා දමා එය මහ කන්දක් මුදුනේ සිට පහළට පෙරලා හැරීම දක්වා වන දඬුවම් ඉතිහාසයේ ලියැවී තිබේ.
 
මේ විදිහේ කෲර වධ හිංසන පිළිබඳ පුවත්වලින් අපේ ඉතිහාසය පිරී තිබේ. නුවර රජ කළ දෙවැනි රාජසිංහ කාලයේ භාවිත කළ එවැනි කුරිරු වධ බන්ධන සහ මරණ දඬුවම් ගැන රොබට් නොක්ස් ලියා තිබේ. සිරකරුවන් දෙකට ඉරා මරා දැමීම සහ ඇතුන් ලවා පාගවා මරා දැමීම ඒ අතර වෙයි. 

කෙසේ වෙතත්, ඉංග්‍රීසි පාලන කාලයේ පොදු භාවිතයට ආවේ එල්ලුම් ගසයි. 1864 මැයි මාසයේදී නුවරදී එල්ලා මරන ලද සරදියෙල්ගේ සිද්ධිය ඉතා ප්‍රසිද්ධ ය. ඔහුව එල්ලා මැරීම නැරඹීමට විශාල ජනතාවක් පැමිණි බවත් වාර්තා වෙයි. ඒ අතරේ යුරෝපීය කාන්තාවෝ ද සිටියහ. සරදියෙල් ඉතා කුඩා මිනිසෙකු බව දැක ඔවුන් පුදුමයට පත්වූ බවත් කියැවෙයි. සරදියෙල් යනු, ඔහුගේ පුරාවෘත්තය මොන තරම් ප්‍රචණඩ වුවත්, අඩි 5 අඟල් 3 ක් පමණක් උස කුඩා මිනිසෙකි.

20 වැනි සියවසේ මුල් භාගයේ ලංකාවේ ක්‍රියාවේ යෙදැවුණු මරණ දඬුවම් ගැන ලෙනාඞ් වුල්ෆ් ද ලියා තිබේ. බෝගම්බර සිරගෙදර සිදු කළ එවැනි එල්ලා මරණ අවස්ථා කිහිපයක්, එදා කණිෂ්ට සිවිල් නිලධාරියෙකු වූ ලෙනාඞ් වුල්ෆ් නරඹා ඇත. ඔහු විස්තර කරන එවන් එක සිදුවීමක් විශේෂ කෲරත්වයකින් යුක්ත වී තිබේ. එහිදී එල්ලා මරණ ලද පුද්ගලයාගේ හිස කඳෙන් වෙන්ව ගොස් ‘අඩි තුනක් හෝ හතරක් ඈතට විද්ද ලේ දහරාවෙන් එල්ලුම් ගස පමණක් නොව, අවසාන යාච්ඤාවට පැමිණ සිටි පූජකවරයා ද නැහැවුණු බව’ ඔහු කියයි. 

යුක්තියේ විපරීත භාවය 

1956 දී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක බලයට පත්වීමෙන් පසුව, මරණ දඬුවම පැණවීම අත්හිටුවන ලදි. ඒ කාලයේත්, ඉන් පසු ගත වූ වසර කිහිපයේදීත් ඒ පිළිබඳව දේශපාලඥයන් අතරේ බොහෝ වාද විවාද පැවතුණි. වැරදියට පුද්ගලයන් හඳුනා ගැනීම සහ බොරු සාක්ෂි නිසා අහිංසකයන් පෝරකයට නියමව තිබූ සැටි බොහෝ දෙනා පෙන්වා දුන්හ. අධිකරණයේදී දිව්රුම් දීමෙන් පසුවත් බොරු සාක්ෂි දීම ලංකාවේ බහුලව දක්නට ලැබෙන තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.  

ප්‍රමුඛ පෙළේ සමාජවාදියෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ විශ්වාසය වුණේ මරණීය දණ්ඩනය නිසා අහිංසකයන් එල්ලුම් ගස් යා හැකි බවයි. යම් කිසි අපරාධයක් සම්බන්ධයෙන් කෙරෙන මූලික පොලිස් විමර්ශනවල සිට අවසානයේ පැවැත්වෙන නඩු විභාගය දක්වා ලංකාවේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය තුළ බරපතල දෝෂ සහගත තත්වයක් ඇති බව ඔහු පෙන්වා දුනි. 

මරණ දඬුවම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 1958 දී ආණ්ඩුව කොමිසමක් පත්කෙළේය. එය කීර්තිමත් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් සමන්විත වූ අතර එහි සභාපතිත්වය දැරුවේ ආචාර්ය නොර්වාල් මොරිස් ය. ඔහු පසු කාලයක ඉතා වැදගත් නීති මහාචාර්යවරයෙකු සහ අපරාධ නීති විශේෂඥයෙකු බවට පත්විය. මේ මොරිස් වාර්තාව ඉතා සවිස්තරාත්මක එකක් විය. එහි අවසන් නිගමනය වී තිබුණේ, දීර්ඝ කාලීන සිර දඬුවමකින් ඇති කරනවාට වඩා අපරාධ නිවාරක (මැඩපවත්වන) හැකියාවක් මරණ දඬුවමකට නැති බවයි. ඊටත් වඩා, ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය තුළ පවතින දෝෂ සහගත තත්වය හේතුවෙන්, අහිසංක ජීවිත එල්ලුම් ගහට නියම විය හැකි බවත් එම වාර්තාවෙන් පෙන්වා දී තිබුණි.

කෙසේ වෙතත්, මේ වාර්තාව නිකුත් වී ගතවුණේ දෙසතියකි. අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකව ඝාතනය කෙරුණි. සෝමාරාම නමැති භික්ෂුවක් විසින් ඔහුට වෙඩි තැබුණු අතර එම ඝාතනය අරභයා රට තුළ පැනනැගුණු කම්පාවත් කෝපයත් හේතුවෙන් මරණ දඬුවම නැවත හඳුන්වාදෙනු ලැබුණි. මේ සිද්ධියෙන් පසු මොරිස් වාර්තාව ලංකාවේ කුණු කූඩයට වීසි කෙරුණත්, වෙනත් රටවල්වල එය මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් කෙරුණු වටිනා අධ්‍යයනයක් වශයෙන් භාර ගැනුණි. 

1959 න් පසු ලංකාවේ බොහෝ දෙනා එල්ලුම් ගස් ගියහ. එහි අවසානයා වුණේ, මිනිමැරුමකට වරදකරුවෙකු වූ ජේ. එම්. චන්ද්‍රසේන නමැත්තෙකි. ගොවියෙකු වූ මොහුව 1976 ජුනි 23 වැනි දා වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මරණ ලදි. මරණයට පෙරාතුව ඔහු අක්ෂිදාන සංගමයට සිය ඇස් දෙක දන් දුන්නේය.

ඔහුව එල්ලා මැරීමෙන් පසු, මරණ යාන්ත්‍රණයක් වශයෙන් එල්ලුම් ගස ලංකාවේ ක්‍රියාත්මක නොවීය. එහෙත් ජනාධිපති සිරිසේනගේ සිතැඟියා ඉටු වුණොත් බොහෝ සිරකරුවන්ට කඹයක තොණ්ඩුවක් අස්සේ එල්ලී සිටීමට සිදුවනු නියති. අපගේ වැනි දේශපාලනීකරණයට යට වූ සමාජයක මරණ දඬුවමෙන් අත්කරගත හැකි සුගතිය කුමක්ද යන්න අපගෙන්ම ප්‍රශ්න කරගත යුතුව තිබේ. 

රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන මෙවැනි ඝාතන හරහා ශිෂ්ට සම්පන්න චර්යාවක් රටක ප්‍රවර්ධනය කළ හැකි යැයි සිතීම මිථ්‍යාවකි. ඇත්ත වශයෙන්ම එයින් සිදුවන්නේ, දැනටමත් වෛරය සහ හිංසනය පමණටත් වඩා අත්දැක ඇති සමාජයක් තවදුරටත් තිරිසන්කරණය වීමක් පමණි. කිසිම රටක අපරාධ මැඩලීමේ ක්ෂණික විසඳුම් නැත. කෙසේ වෙතත්, කාර්යක්ෂම, වෘත්තීය සහ ස්වාධීන අපරාධ යුක්ති විනිශ්චය ක්‍රමයකට, එල්ලුම් ගසට වඩා අපරාධ මර්දනය කිරීමේ හැකියාව ඇති බව නම් සක්සුදක් සේ පැහැදිලි ය.

- 2019 ජූලි 3 වැනි දා ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ පළවූ Political March to Gallows නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි