“සාපරාධී අපහාස පනත” සහ අපේ ජනමාධ්‍ය

“සාපරාධී අපහාස පනත” සහ අපේ ජනමාධ්‍ය

9 July 2019 09:00 pm

ජනමාධ්‍ය පාලනය සඳහා දියවන්නා දේශපාලනය පනත් කෙටුම්පතක් සූදානම් කොට ගෙන තිබෙනුයේ, “සාපරාධී අපහාස සහ වෛරී ප්‍රකාශනයන්” නවතාලීම සඳහා යැයි කියා සිටිමින්ය. “ජනමිත්‍ර හඬ” අප වියමනට එනුයේ ලාංකේය දේශපාලනය සහ ජනමාධ්‍ය අතර ඇති අනියම් පවුල් ජීවිතයේ සැබෑව කියා පෑම සඳහාය. 

 
ජනමාධ්‍ය යනු, ඓතිහාසික වශයෙන් මානව සමාජය විධිමත් ලෙස සංවිධානය වීමෙන් පසු මතුවූ මූලික අවශ්‍යතාවයක් විය. ඒ ඉතා ඈත අතීතයක සිට ය. ඒ මානව සමාජයට ආරංචි දැනගැනීමේ දැඩි වුවමනාවක ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව ක්‍රි. පූ. 59 වකවානුවේ රෝම පාලනයේදී විධිමත් පුවත්පතක් අතින් ලියවී ඇති බවට සාක්‍ෂි සැපයී තිබෙනුයේ මානව සමාජයක් තුළ තොරතුරු දැනගැනීමේ උනන්දුවක් ඒ සා ඉපැරණි ඉතිහාසයක දී පවා තිබූ නිසාය. නමුත් තොරතුරු හුවමාරු වීමේ වැදගත්කම සීඝ්‍රයෙන් පෙරට ආයේ 17 වන සියවසේ මැද භාගයේ සිටය. ඒ වත්මන් සමාජ ක්‍රමය වූ ධනවාදය කරළියට එමින් තිබීමට සාපේක්‍ෂ ලෙසය. ධනෙශ්වර වෙළෙඳපළට නිරතුරු ප්‍රවෘත්ති හුවමාරු කොට ගැනීමේ දැඩි වුවමනාවක් පෙරදැරි වූයේ එය නිරතුරු වෙළෙඳාමට අදාල මූලික විෂය කාරණයක් වූ නිසාය. ඒ අනුව අතීත රෝම පාලනයේ සිට වසර 2070 ක් ඉක්මවූ ඉතිහාසයක්ද, 17 වන සියවසේ සිට වසර 400 කට ආසන්න පුරාවෘත්තයක් ලෙසද ජනමාධ්‍ය කලාව මානව ඉතිහාසයේ සිය ස්ථානය අද වන විට වෙන්කොට ගෙන තිබෙනුයේ සිව්වන ආණ්ඩුකරණය ලෙසය. ඒ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ ජනමාධ්‍ය යන අනුපිළිවෙල සහිතවය. 
 
අප මෙතැන් සිට වියමන පෙරට ගෙන යනුයේ මෙරට ජනමාධ්‍ය (Mass  Media) සහ දේශපාලනය අතර පවත්නා ජුගුප්සාජනක සම්බන්ධතාවය සමාලෝචනය කිරීමට සහ ජනමාධ්‍ය රට ගෙන යන්නේ කොයිබටද? යන්න හෙළිදරව් කිරීම සඳහාය. මන්ද මෙරට පක්‍ෂ දේශපාලනය සහ ජනමාධ්‍ය යන ද්වී ක්‍ෂේත්‍රයම බරපතල ගරා වැටීමකට හෙවත් සදාචාරාත්මක වැහැරීමකට ගොදුරු වී තිබෙනා නිසාය. 
 
මානව ඉතිහාසයක් පුරා ජනමාධ්‍ය යන විෂය පථය වඩ වඩාත් තිව්ර ලෙස පුළුල වූයේ නැවුම් සහ සත්‍යය තොරතුරු ඉක්මනින් දැන ගැනීමේ වුවමනාව උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙසය. මෙකී තොරතුරු හෝ ප්‍රවෘත්ති පැතිර යැවීමේ වුවමනාව අන්තර් ජාතික තලයකට පැමිණියේ ධනෙශ්වර වෙළෙඳපළ සාගර බාධාවන් තරණය කොට පෘථිවිය පුරා පැතිර ගියාවූ නිසාය. ඒ අනුව ජනමාධ්‍ය මුද්‍රණ යන්ත්‍රයේ සිට ගුවන් විදුලිය, රූපවාහිනිය හරහා අනත්ර්ජාලය දක්වා වේගවත් චාරිකාවක යෙදුණේ තොරතුරු සහ ප්‍රවෘත්ති වැඩි වේගයක් ඉල්ලා සිටි නිසාය. ඒ අනුව “තොරතුරු තාක්‍ෂණය” නමින් විෂය පථයක් වෙන් වූයේ අත්‍යාවශ්‍ය ලෙසය. මේ අධිවේගී තොරතුරු සන්නිවේදනය කිරීමේ වැඩ කලාව ලෝකය පුරා දියත් වනුයේ සිය වෙළෙඳපළ දේශපාලනය පළල් කොට ගැනීමේ මූලික අරමුණු පෙරදැරිවය. ඒ සා විශාල වූ තොරතුරු හෝ ප්‍රවෘත්ති දැන ගැනීමේ මේනියාව භාවිතා කොට ගත් වත්මන් ලාංකේය ජනමාධ්‍ය සිය සදාචාරාත්මක මෙහෙවරින් සපුරාම බැහැරව සිටී. ඒ “ජනමාධ්‍ය” යන සුවිසල් ධාවන පථයෙහිවූ සමාජ සංවර්ධනයේ අපේක්‍ෂා නැතිභංග කොට දමාය. 
 
නූතන ලාංකේය ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය සිය ආරම්භය සටහන් කොට ගනුයේ COLOMBO GENERAL නමැති ඉංග්‍රීසි පුවත්පත සහ ලක්මිණි පහන යන සිංහල පුවත්පත හරහාය. ඒ පැරණි සිංහලයා දඬුබස්නාමානය වෙත යොමු කළ ඊතල මත රැඳි තල්පත් පණිවුඩ හුවමාරුවේ ඉතිහාසයක සිටය. අද වන විට මෙරට තුළ මුද්‍රිත මාධ්‍ය කලාවේ යෝධයෙකුද එය ඉක්මවා ගිය විද්‍යුත් මාධ්‍ය කලාවේ ඩයිනෝසරයෙකුද සිටී. ඒ F. M සහ T. V යන වාසගමින් බලසම්පන්නවය. මීට සමගාමී ලෙස සකර්බර්ග් අධ්‍යක්‍ෂණයෙන් බලගැන්වී ගත් FACE BOOK ඇතුළු සමාජ මාධ්‍ය බල මුළුවෙන් ද සැදුම් ලත් ලාංකේය MASS MEDIA හෙවත් ජනමාධ්‍ය කලාව තුළ සිදුවන්නේ කුමක්ද? ඊට සාපේක්‍ෂ ලෙස සාපරාධී අපහාස නීතියක් කගපතක් මෙරට ජනමාධ්‍ය ශීර්ෂයට ඉහළින් ලඹ දෙනුයේ ඇයිද යන්න මෙතැන් සිට අනාවරණය කෙරේ. 
 
1948 පෙබරවාරියේ බ්‍රිතාන්‍ය පාලකයාගෙන් රට භාර ගත් වුන් පරිණාමය නොවී සිටියේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය දක්වාය. ඒ සිය චිත්ත සන්තානයේවූ රදල වැඩවසම්වාදී චින්තනයෙන් නිදහස් විය නොහැකිවය. එහි තර්කානුකූල ප්‍රතිඵලයක් ලෙස මෙරට ස්වදේශික පාලනයක් හරහා දශක 07 ක් තිස්සේ දියත්වී තිබෙනුයේ රදල වැඩවසම්වාදයේ අත්තනෝමතිකත්වයක් මිස කිසි ලෙසකින් වත් දියුණු ප ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ. ඊට සාපේක්‍ෂ ලෙස මෙරට ජනමාධ්‍ය වෙතද මේ වෛරසය තහවුරු වූයේ නොවැළැක්විය හැකි ලෙසය. ඒ අනුව ලාංකේය ජනමාධ්‍ය අපක්‍ෂපාතී තොරතුරු දැනගැනීම සඳහා ජනතාව සතු අයිතිය උදුරා ගනු ලැබුයේ සියල්ලට පෙර පක්‍ෂ දේශපාලනය යන්න මුල්තැනෙහි ලාය. ඒ අනුව නිදහසින් වසර 15 ක් ඉක්ම යාමත් සමග පක්‍ෂ දේශපාලනයේ ඕනෑ එපාකම් ඉෂ්ඨ නොකරනා ජනමාධ්‍යයට එරෙහිව දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක වූයේ මෙරට ජනයා නොදන්නා ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවට තමන් අදහනා වැඩවසම්වාදයේ දේශපාලන භාවිතාවක් තහවුරු කිරීම සඳහාය. පුවත්පත් කලාවට එරෙහිව ආරම්භ වූ මෙකී දේශපාලනය 1994 දක්වා පෙරට ආයේ විද්‍යුත් මාධ්‍යයේ තනි අයිතිය දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් අනුව භාවිතා කොට ගෙනය. නමුත් 90 දශකය අගභාගය වෙත ලාංකේය රාජ්‍යය පැමිණියේ ආණ්ඩුවේ ජනමාධ්‍යට ප්‍රතිපක්‍ෂ ලෙස විපක්‍ෂයේ විද්‍යුත් මාධ්‍යයක්ද කරළිය වෙත රැගෙන එමිනි. ඒ අනුව එතැන් සිට ඇරඹුණේ පක්‍ෂ දේශපාලනයේ මාධ්‍ය යුද්ධයක් මිස ජනතාව උදෙසා වූ මාධ්‍ය මෙහෙවරක් නොවේ. මෙකී “රාජ්‍ය මාධ්‍යය සහ පුද්ගලික මාධ්‍යය අතර ද්වන්ධ සටන” උච්චස්ථානයකට පත්වූයේ 2005 වසරේ නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයේදීය. එහිදී පුද්ගලික අංශයේ එක් විද්‍යුත් මාධ්‍යයක් විසින් ජනාධිපතිවරණය පුරා ජනමත සමීක්‍ෂණයක් දියත් කළේ, තමන්ගේ එකා බවට පත්ව සිටි රනිල් වික්‍රමසිංහයන් ජයග්‍රහණය කරවීම සඳහාය. මෙහිදී රජයේ මාධ්‍ය රට පාවා දුන් රනිල් යන තේමාව පෙරට ගෙන ආ අතර, පුද්ගලික මාධ්‍යය ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජාතික සමගියේ උල්පත ලෙස හුවා දැක්වූයේ රනිල් වික්‍රමසිංහය. මෙහෙයුම කොතෙක් බරපතල වූයේදැයි කිවහොත් ජනමත සමීක්‍ෂණයට අනුව රනිල් වික්‍රමසිංහ ඉහළම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරනා බවට ඉතාම ඉහළින් වාර්තා කරනු ලැබුයේ ඇදහිය නොහැකි ලෙසය. එ් තමන්ගේ එකා දිනවීම උදෙසාවෙන්ය. 
 
ලාංකේය ජනමාධ්‍ය ඉතාම තීව්ර ලෙස පක්‍ෂ දේශපාලනය වෙනුවෙන් බෙදී ගියේ 2009 යුධ ජයග්‍රහණයෙන් පසුය . ඒ “මහරජුන්ගේ මාධ්‍ය” සහ “ප්‍රජාතන්ත්‍රවාදයේ මාධ්‍ය” ලෙසය. යුධ ජයග්‍රහණයෙන් පසු රාජපක්‍ෂ දේශපාලනය සිය පවුල් ගසේ ආධිපත්‍ය පතුරුවා ලන්නට වූයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අත්තනෝමතික වැඩවසම්වාදයක් ස්ථාපිත කොටය. ඒ අනුව රජුගේ සහ රජ පවුලේ පැවැත්මට සහ කීර්තියට අභියෝගයක්වූ කිසිවකුටත් ජීවත් වීමේ අයිතිය හිමි නොවනා තැනක් දක්වා තත්ත්වයන් රූපාන්තරණය විය. ජන. 08 ඊනියා විප්ලවය සිදුවූයේ මෙවන් අල්ල පනල්ලක් තුළය. ඒ අනුව අද වන විට රට තුළ මාධ්‍ය කඳවුරු ද්විත්වයක් ඇත. එකක් “වැඩවසම්වාදී මාධ්‍ය” වන අතර, දෙවැන්න ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය ලෙසය. ප්‍රශ්නය වන්නේ නාමකරණයන් දෙකක් යටතේ කුලක ගත වී සිටිය ද මේ ජනමාධ්‍යයන් ද්විත්වයේම අපේක්‍ෂාව ප්‍රජාතන්ත්‍රවාදය නොවීම වේ. ඒ අනුව පක්‍ෂ දේශපාලනයේ කැත දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටිනා මේ මාධ්‍ය කඳවුරු ද්විත්වය අළුයම හිරු නැග එනවාත් සමගම සිය රාජකාරිය ආරම්භ කරනුයේත්, මැදියම් රැයේ සිය මෙහෙවර අවසන් කරනුයේත් තමන් වෙහෙසෙන්නේ හොඳ රටක් වෙනුවෙන් බවට කියා සිටිමිනි. අළුයම පුවත්පත් මිලදී ගන්නා වුන්ට ඒවා කියවීමට පෙර එහි අඩංගු පුවත් අරබයා පක්‍ෂග්‍රාහී විග්‍රහයන් ලබා දෙන්නාවූ විද්‍යුත් මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කොට දුන්නේ බන්ධුල පත්මකුමාර නැමති පත්තරකරුවෙකු විසිනි. ඒ පත්තර මෙහෙයුම අද වන විට දෙවැනි වී තිබෙනුයේ 1994 වසරේ රුවන්ඩාවේ ක්‍රියාත්මක වූ රජයේ ගුවන්විදුලියට සහ අපකීර්තිමත් - RTLM. FM (Radio Television Libre de Mille colins) ගුවන්විදුලි චැනලයට පමණි. 1993 වසරේ 106 FM තරංග මාලාවෙන් සිය සේවය ආරම්භ කළ RTLM. FM. ගුවන්විදුලිය 1994 වසරේ අප්‍රේල් 06 දා සිට ජූලි 04 දක්වා වූ දින සියයකට ආසන්න කාල පරාසයක් තුළ හූටු සහ ටුට්සි ගෝත්‍රික ද්විත්වයේ ජීවිත ලක්‍ෂ 8 ක් අමු අමුවේ මහ මග මරා දැමීම සඳහා අවැසි මනෝවිද්‍යාත්මක අවි ආයුධ සපයා සිටියේ ඉතාම ම්ලේච්ඡ පන්නයකිනි. ඒ උස ගස් කපා දැමීමටත්, කැරපොත්තන් වඳ කළ යුතු බවටත්, සංකේතාත්මක අණ ලබා දීම් හරහාය. අද වන විට මෙරට ඇතැම් ශ ශ්‍රව්‍ය, දෘශ්‍ය ජනමාධ්‍ය දෙවැනි වනවා නම් මෙකී RTLM. FM.සේවයට පමණි. අප එසේ කියා සිටිනුයේ ඇයි? ඒ “තමන් කැමති වුන්ට බලය ලබාදීම” වෙනුවෙන් ජාතීන් අතර අවිශ්වාසය සහ අසමගිය උත්සන්න කිරීම සඳහා ගන්නා වෑයමට සීමා මායිම් අහිමිව ඇති බැවිනි. 
 
පාසකු ඉරිදා බෝම්බ පිපිරීම සිදුවූයේ නොවැළැක්විය හැකි ලෙස නොවේ. ඉතාම පැහැදිලි ලෙස කල් තියා දැනුවත්භාවයක් සහිතවය. ඒ සහරාන් අන්තවාදය අරබයා සාම්ප්‍රදායික මුසල්මානුවා සහ ඉන්දියානු ඔත්තු සේවා වේලාසන කරුණු අනාවරණය කොට තිබීම නිසාය. නමුත් බලකෑදර දේශපාලනයට අපරාධය නවතාලීමට අවශ්‍ය නොවූයේ, එකී පිපිරුම පිටුපසින් දේශපාලන වාසිද එන බව දැන සිටි නිසාය. වරදකට සිදුවූයේ පිපිරුමේ මාත්‍රාවන් අවශ්‍ය පමණ ඉක්මවා යෑම පමණය. නමුත් සිදුවීමෙන් පසු පක්‍ෂ දේශපාලනයේ මාධ්‍ය මෙහෙයුම පෙරට ආයේ  “ඉන්න එකා රැක ගැනීමට සහ හිටපු එකා ගෙන ඒමට” යන පටු අර්ථයෙන් මිස විපත්තිදායක මොහොතක හැසිරෙනා වගකීම්සහගත පන්නයකින් නොවේ. අදටත් එය එසේමය. හිටපු එකා ගෙන ඒමේ මාධ්‍ය මෙහෙයුම සමස්ත මුසල්මානුවා සැකකරුවෙකු බවට පත් කළේ එසේ නොකොට හිටපු එකා දිනවිය නොහැකි නිසාය. ඉන්න එකා රැක ගැනීමේ මාධ්‍ය මැදිහත් වූයේ ගොඩනැගෙනා සැකය දුරු කිරීමට නොව ඉන්නා වුන් තවදුරටත් රැකගැනීම සඳහා පමණි. 
 
හිටපු කියුබානු නායක ෆිදෙල් ක්‍රැස්ත්‍රෝ වරක් කියා සිටියේ “ජනමාධ්‍ය විසින් බොරු කියනවාට වඩා බරපතල දේ වනුයේ ජන මනසේ සාවද්‍ය පරාවර්තනයන් කිරීම” හරහා බවයි. අද මෙරට ජනමාධ්‍ය විසින් කරනුයේ මෙකී බරපතල වරදයි. ඒ, ජන මනසේ “සාවද්‍ය පරාවර්තනයන්” හෙවත් “වැරදි විග්‍රහයන්” තහවුරු කිරීමයි. අද මෙරට ක්‍රියාත්මක පක්‍ෂ දේශපාලනයේ ජනමාධ්‍ය ද්වීපාර්ශ්වීය තරගයක නියැළී සිටිනුයේ ජන සමාජය යථාර්ථයේ  පවත්නා තොරතුරුවලින් දැනුවත් කිරීම සඳහා නොව පළවනා ප්‍රවෘත්ති භාවිතා කොට ගෙන “සාවද්‍ය පරාවර්තනයන්” කිරීම සඳහාය. “උදෑසන රූපවාහිනී පත්තර කියවීම” යනු මේ මෙහෙයුමේ මූලස්ථානයයි. මෙකී පත්තර කියවන්නන් සිය පැයක කාලයක් පුරා ප්‍රවෘත්තීන් 20 කට වඩා ගෙන එන්නේ නැත. කරනුයේ එක් එක් ප්‍රවෘත්තීන් උදෙසා ඌණ පූර්ණයන්  ලෙස “සාවද්‍ය පරාවර්තනයන්”ගෙන දීම පමණි. ඒ අනුව කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සාෆි සියාබ්දීන් චෝදනාවන්ගෙන් නිදහස් වුවහොත් ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෛද්‍යවරයාගෙන් අල්ලස් ලබා තිබෙනා නිසාය. මැයි 13 දා කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්ක 2 හි එහෙමට යමක් සිදු වී නැත. ඉස්ලාම් අන්තවාදය ගැන මුලින්ම කීයේ ගලගොඩඅත්තේ ඥාණසාර මිස සාම්ප්‍රදායික මුසල්මානුවන් නොවේ. මුසල්මානුවන් සියලු දෙනා අන්තවාදීන් නොවුණද අන්තවාදීන්  සිටිනුයේ මුසල්මානුවන් අතර බව වටහාගන්න. රට තුළ ඉස්ලාම් අන්තවාදයක් තිබුණද, බෞද්ධ භික්‍ෂූන් කරනුයේ රට බේරා ගැනීමට උරදීමක් මිස අන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වයක් නොවේ. මේ මෙරට ජනමාධ්‍ය විසින් දියත් කරනා “සාවද්‍ය පරාවර්තනයේ” මෙහෙයුම විසින් තහවුරු කොට ඇති වත්මන් විග්‍රහයන් කිහිපයක් පමණි.  
 
පක්‍ෂ දේශපාලනයේ පුද්ගලික මාධ්‍ය එසේ හැසිරෙද්දී රාජ්‍ය මාධ්‍ය කරනුයේ කුමක්ද? ඔවුනට අනුව, ත්‍රස්තවාදය සහ අන්තවාදය සහමුලින්ම අවසන් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කියා සිටිනුයේ සම්පූර්ණ ඇත්තය. 2025 දී පොහොසත් රටක් හැදෙනන්නේය. ඉතාම මෑතකදී ඒකපුද්ගල ආදායම ඩොලර් 6000 ක් දක්වා නැග එන්නේය. 2025 දී සැමට සෙවනය. 2025 වන විට ලාංකේය අධ්‍යාපනය ස්මාර්ට් පංති කාමරයෙන් සමන්විත වන්නේය. ඇමෙරිකාවෙන් මේ රටට කිසිදු අතවරයක් නැත. මේ “සාවද්‍ය පරාවර්තනයේ රාජ්‍ය අංශයයි.” 
 
සාපරාධී අපහාස නතීිය ගෙන එනුයේ “සාවද්‍ය පරාවර්තනයන්” නවතාළීම සඳහා නොවේ. “සාවද්‍ය පරාවර්තනයන්” අභියෝගයට ලක් කිරීම නවතාලීම සඳහා පමණි. දේශපාලකයන්ගේ කාමසුඛල්ලිකානු ජීවිත ජන සමාජය වෙත අනාවරණය වීම නවතාලීම සඳහා පමණි. ජනතාව වෙත සත්‍යය තොරතුරු ගලා ඒම නවතාලීම සඳහා පමණි. රැවටිල්ලේ දේශපාලනය හෙළිදරව් වීම නවතාලීම සඳහා පමණි. උනුත් එකයි ! මුනුත් එකයි ! යන්න සනාථ වීම වැළැක්වීම සඳහා පමණි. සාපරාධී අපහාස පනත සඳහා විරුද්ධ වීමට මෙරට පක්‍ෂ දේශපාලනයේ වහල් ජනමාධ්‍ය භාවිතාවට සවියක් නැත. මන්ද මෙරට කිසිදු ජනමාධ්‍ය භාවිතාවකට පක්‍ෂ දේශපාලනයෙන් තොර භාවිතාවක් නොමැති නිසාය. මෙරට තුළ ජනතාවට ඇත්ත තොරතුරු කීමේ මාධ්‍ය භාවිතාවක් නැත. ඇත්තේ පැන නගිනා තොරතුරු තම පක්‍ෂ දේශපාලනයේ ඕනෑ එපාකම් වෙනුවෙන් භාවිතා කොට ගැනීමක් පමණි. අප්‍රේල් 21 බෝම්බ පුපුරා යාම පාර්ලිමේන්තුවේ 225 දෙනාම දැන සිටි බව මැනවින් සනාථ වී අවසන්ය. නමුත් මෙරට රජයේ ජනමාධ්‍ය හෝ පුද්ගලික ජනමාධ්‍ය ජනතාවගේ පාර්ශවයේ සිට මේ පරම ඇත්ත ජනතාව වෙත “නිරවද්‍ය පරාවර්තනයක්” දක්වා ගෙන යන්නේ නැත. ඒ, එවිට තම පක්‍ෂයේ හෝ ආණ්ඩුවේ දේශපාලනයටත් කෙළවෙනා නිසාය. සාපරාධී අපහාස පනතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුත්තේ පක්‍ෂ දේශපාලනයේ තක්කඩි පාර්ලිමේන්තුකරුවන් නොව, මෙරට සාමාන්‍ය ජනයා විසිනි. ඒ, “තොරතුරු භාවිතයෙන් අපගේ හොඳ සිහිය ඈවර කිරීම නවතව් !” කියාය. මාධ්‍ය භාවිතාවේ සදාචාරය වන්නේ ජන මානසිකත්වය වියවුල් සහගත වන්නාවූ තත්ත්වයක සත්‍යය පවා අනාවරණය නොකොට සිටීම සඳහාය. උදාහරණයක් ලෙස ප්‍රංශ උමං මාර්ගයකදී රිය අනතුරකට ගොදුරු වීමෙන් මියගිය ඩයනා කුමරියගේ රථය පැදවූ රියදුරා, බීමත්ව සිටි බවට තොරතුරු තහවුරු වුව ද ප්‍රංශ ජනමාධ්‍ය විසින් ඒ සත්‍යය එදා හෙළිදරව් නොකොට සිටියේ තත්ත්වයන් බරපතල වීමේ අවදානමක් දුටු නිසාය. ඒ ඔවුනගේ මාධ්‍ය භාවිතාව තුළ උත්කර්ෂයට නගා ගත් දේශපාලනයක් නැති නිසාය. නමුත් ලාංකේය ජනමාධ්‍ය භාවිතාව වනාහී 1994 අන්ත ම්ලේච්ඡ රුවන්ඩාව සමග සර්ව සමවී සිටිනුයේ ඉතාම නින්දාසහගත ලෙසය. ඒ භාවිතාවට අනුරූප ලෙස ලාංකේය රාජ්‍ය සේවය තුළ වෛරයේ ගිනිදැල් ඇවිල ගියේ ලැජ්ජාසහගත ලෙසය. ගුරුවරුන් විසින් සිය පංති කාමරයේ උගෙන ගන්නා ළපැටියන්ගේ ඔළු කුහරයට ජාතිවාදය පොම්ප කළේය. දේශපාලනය නොකළා වූ බෞද්ධ භික්‍ෂූන්වහන්සේ පවා වෛරී ප්‍රකාශ නිකුත් කළේය. වාමාංශික ක්‍රියාධරයන් පවා ජාතිවාදය දක්වා පසු බැස්සේය. ඒ අළුයම සිට “සාවද්‍ය පරාවර්තනයන්” හෙවත් වැරදි විග්‍රහයන් ඔළු කුහර වෙත පොම්ප කළාවූ “විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය කුමන්ත්‍රණය” ඉතාම බරපතල වූ නිසාය. මේ රැවටිල්ලේ සහාසික අපරාධය ජන සමාජයට කරනුයේ කවුද? ඒ රාජ්‍ය සහ පුද්ගලික යන අර්ථයෙන්ද ආණ්ඩුව සහ විපක්‍ෂය යන අර්ථයෙන්ද දේශපාලනයක නියැළී සිටිනා මෙරට ජනමාධ්‍ය මිස අන් කිසිවකු නොවේ. ආණ්ඩුවේ සාපරාධී අපහාස පනත පක්‍ෂ දේශපාලනයේ සහ තක්කඩි සහ කාමුක දේශපාලකයන්ගේ ආරක්‍ෂාව සඳහාය. ඒ මේ වනවිට පක්‍ෂ විපක්‍ෂ බොහෝ කපුරු හාමිලාගේ මුඛ දුර්ගන්ධයන් සමාජ මාධ්‍ය හරහා පැතිර ගොස් ඇති නිසාය. ඒ ගිහි පැවිදි භේදයකින් තොරවය. එබැවින් සාපරාධී අපහාස පනත ගැන 225 ක්වූ දියවන්නා නෝනා මහතුන්ලා පොදු එකඟතාවයකට එනවා නොඅනුමානය. නමුත් මෙරට ජනමාධ්‍යවේදීන්ට කළ හැකි කිසිවක් ඉතිරිව නැත්තේ සියල්ලන්  ජනතාවට තොරතුරු කියනවා වෙනුවට පක්‍ෂ දේශපාලනයට අතවැසිකම් කරනා නිසාය. එබැවින් මෙරට තුළ ජනමාධ්‍ය උදෙසා නව සංස්කෘතියක් හිස එසවිය යුතුව ඇත. ඒ ප්‍රෝඩාකාරී පක්‍ෂ දේශපාලනයේ වහල්භාවයෙන් නිදහස්වූ සැබෑ මානව හිතවාදී මාධ්‍ය භාවිතාවක් හරහාය. එය වනාහි ලක්මෑණියන්ගේ අද දවසේ ඉල්ලා සිටීම බවට පත්වී ඇත. එ්  එසේ නොවුණහොත් මේ රට අතීත රුවන්ඩාවක් සහ සාගතකාරී ඉතියෝපියාවක් බවට පත්වීමේ අනතුරු ද්විත්වයක් සහිතව පෙරට ඇදෙනා නිසාය. එපමණයි.  

ජයවික්‍රම සූරියබණ්ඩාර
jayawikrama1974@gmail.com