සිරිසේන: මරණය සමඟ රමණය - සුනන්ද දේශප්‍රිය

සිරිසේන: මරණය සමඟ රමණය - සුනන්ද දේශප්‍රිය

6 July 2019 11:04 am

'ඒ 1968 ගණන් හි මුල් වසරවලය. මා ඒ වනවිට බන්ධනාගාර සේවයේ යෙදී සිට තිබුණේ මාසයක් හෝ දෙකක් පමණි. පසුදා උදෑසන 8 ට සිරකරුවකු එල්ලා මරන බැවින් එම ක්‍රියාවළිය දැක ගැනීම පිණිස උදෑසන 7 ට වැළිකඩ බන්ධනාගාරයට පැමිණෙන ලෙස මට පණිවිඩයක් ලැබුණි. මා උදෑසන ගොස්, ඒ් වනවිටත් කාර්යාලයට පැමිණ සිටි, එවකට වැළිකඩ බන්ධනාගාරයේ අධිකාරී වූ ඥණසුන්දරම් මහතාට වාර්තා කළෙමි. එල්ලා මැරීමට නියමිත පුද්ගලයා සමඟ කතා කිරීමට කැමැති බව ඔහුට කීමි. නීතිය අකුරට පිළිපදින්නකු වූ ඔහු මඳක් පැකිළී මට අවසරය දුන්නේය. නියාමකවරයකු ‘මරණයේ පේලිය’ යැයි හිරගෙදර ව්‍යවහාරයෙන් කියන කියන සිරකුටි කරා මා කැඳවා ගියේය. මරණයට නියමිත පුද්ගලයා ඒ වනවිටත් ඒල්ලුම් ගහට යාබද කුටිය වෙත මාරු කර තිබුණි. එය සාමාන්‍ය පිළිවෙතය.

මැදි හතලිස් ගණන් වියේ වූ ඒ් මිනිසාට කදිම දේහ විලාසයක්ද සෞම්‍ය පෙනුමක්ද විය. මේ වනාහී මරණයට නියම වූ සිරකරුවකු මා දුටු පළමු වතාවය. ඔහුගෙන් කුමක් අසන්නදැයි මම නොදැන සිටියෙමි. සිරකරුවකු සමඟ කතාබහක් ඇරඹීම පිනිස පළමුවෙන්ම කළ යුත්තේ ඔහුගේ නඩුව ගැන විමසීම යැයි මම දැන සිටියෙමි. ඉදින් මම එසේ ඇසීමි. ඔහු සිය ජීවිතයේ අවසාන මොහොතෙහිදී හෝ සිය කතාව කවරකුට හෝ කීමට බලා සිටියාක් මෙන් සිය හදවත දෝරෙගලා යැවීමට පටන් ගත්ත‍ෙය.

අප දෙදෙනා අතර සැණින් හිතවත්කමක් ගොඩ නැගුණි.

ඔහු මෙසේ කීය: ‘සර්, මා මීට කලින් කවරදාකවක් අපරාධයක් කරළ නැහැ. මං මගේම වඩ මඩුවක් තිබුණු මොරටුවේ වඩු කාර්මිකයෙක්. මට හොඳ ජීවිතයක් තිබුණ. හතර දෙනෙක් මං ළඟ වැඩ කරා. එතකොට ඔන්න ඔය පුද්ගලයා අපේ පවුලට හිරිහැර කරන්න පටන් ගත්තා. ඔහු කප්පම්වලින් ජීවත් වුණ ගණන්කාරයෙක්. ඒ මිනිහා අපේ ගමටත් අල්ලපු ගමටත් මහ වදයක් වෙලා තිබුණේ. කප්පම් ගැන ආරවුලකට ගිහින් ඔහු දක්ෂ වඩුවෙක් වුණ මගේ සහෝදරයෙක් මැරුවා. මාත් එක්කත් ඔහු කීප වතාවක් පැටලුනා. මේ කියන දවසේ මං වැඩට ගිහිං එන ගමන් බස් ඒකෙන් බැස්සා. ඒ මිනිහා මාත් එක්ක ආරවුල පැටලිලා මට ගහන්න ගත්තා. මාත් පොර බැදුවා. ඒ අස්සේ මං ළඟ තිබුණු නියනකින් කිහිපවතාවක්ම ඔහුට ඇන්නා. මිනිහ එතැනම මැරුණා.'

“දැන් ඔබ පසුතැවෙනවාද ?” මම ඇසුවෙමි. “මං බෞද්ධයෙක්. මිනිහෙක් මරපු ඒක ගැන මං කණගාටු වෙනවා. ඒත් මං දැන් හිත හදාගෙන ඉන්නේ. දැන් මගේ පවුලත් ගමේ මිනිස්සුත් සාමයෙන් ජීවත් වෙනවා.

අපේ ගමේ හැමෝමයි, හාමුදුරුවරුයි, ක්‍රිස්තියානි පූජකතුමන්ලයි අත්සන් කරළ ආණ්ඩුකාරයට පෙත්සමක් යැවුව මගේ ජීවිතය බේරල දෙන්න කියලා. ඒත් ඒකෙන් වැඩක් වුණේ නැහැ. අපි බලවත් හයිකාර මිනිස්සු නෙවෙයිනෙ. සාමන්‍ය ගමේ මිනිස්සු. සර්, මට තරුණ බිරිඳකුයි අවුරුදු අටේ පුතෙකුයි ඉන්නවා. ඒ් දෙන්න ඊයෙ මං බලන්න ආව. මං මගේ බිරිඳට කිව්ව ‘ඔයා තාම තරුණයි. මං මත්තේ ජීවිතේ නාස්ති කර ගන්න එපා. හොඳ මිනිහෙක් හමුවුණොත් කසාද බැදල අපේ දරුව බලා ගන්න කියලා.’

‘මං යන්න හිත හදාගෙන ඉන්නේ. මට වෙන තෝරගන්න දෙයක් නැහැ. මං කැමැති නැහැ බියගුල්ලෙක් වගේ මැරෙන්න’ යැයි ඔහු කීවේය.

ඔහුටත් අපේ කතා බහටත් කාලය ඉක්මයමින් තිබුණි.

විනාඩි ගණනාවක දී බන්ධනාගාර අධිකාරී, නියෝජ්‍ය පිස්කල් නිලධාරියා, වෛද්‍ය නිලධාරියා, බෞද්ධ භික්ෂුවක්, බන්ධනාගාර නියාමකයින් සහ රැකවල්ලු පැමිණයෝය. බන්ධනාගාර නියාමකයකු මිනිසාගේ නම සහ අනෙක් විස්තර පිස්කල් නිලධාරියා හමුවෙහි විමසීය. මෙම නියාමකයා මෙම සිරකරු මුලින්ම බන්ධනාගාරයට ගෙන ආ දිනයේ බාරගත් අය අතුරෙන් කෙනෙකු බවත් ඔහු විසින් කරන ලද්දේ එල්ලා මරනු ලබන්නේ හරියටම නියමිත පුද්ගලයා බව සහතික කිරීම බවත් මම පසුව දැන ගතිමි. අනතුරුව භික්ෂුව ආගමික වතාවත් ඉටු කළේය.

ඉන් පසු සිරකුටියේ දොර හැර රැකවලුන්ද අලුගෝසුවාද එයට ඇතුළු වී සිරකරුට බර වැඩ කම්කරුවන් හඳින ආකාරයේ ගොරෝසු සුදු රෙද්දකින් මසන ලද ‘ඔවරෝල්’ ඇඳුමක් (දෙපා-දෑත් එකම ඇඳුමක කොටස් වන ඇදුමකි) ඇන්දුවේය. ඔහුගේ දෑත්ද බැඳී යන සේ පළල් බඳ පටියක් ඔහුගේ පපුව හරහා බඳින ලදී. බෑගයක් වැනි, ඉහත කී ගොරෝසු රෙදදෙන්ම මැසූ හිස් ආවරණයක් ඔහුගේ හිසට දමන ලදී. අනතුරුව ඔහු පෝරකය වෙත ගෙන යන ලදී.

ඔහුගේ මුහුණෙහි තිබූ හැඟීම විස්තර කිරීමට මා සතුව චවන නැත. දුක්බර වුවත් නිර්භීත බව පෙන්වීමට දරන වීර ප්‍රයත්නයක් එහි විය. ඉන් පසු අලුගෝසුවා වළලුකර පටිය යැයි කියන උපකරණයකින් දෙපා වළලුකර හිර කරන ලදී. මිනිසා මෙලොවෙහි සිය ජීවිතය අවසන් බව දැන ගත්තේ ය. අප දෙස බලා ‘මං යන්නම් සර්’ යැයි කීවේය. එ් වනාහී හද කකියවන දැක්මකි.

බෑගයක් වැනි හිස් ආවරණය මිනිසාගේ මුහුණද ගෙලද වැසෙන සේ පහත් කෙරුණි. තොණ්ඩුව ගෙළ වටා දමන ලදී. මට අපේක්ෂා භංගත්වයක හැගීමක් ඇති විය. මගේ උදරයෙහි ගින්නක් වැනි උද්වේගයක්ද හිසෙහි අළසකාරී හැඟීමක්ද ඇති විය. මේ වනාහී මොහාතකට පෙර මා හා දෙඩමළු වූ මිනිසකු මා දෑස් අභිමුව දරණු ලෙස මරා දැමීමකි. එහෙත් මට කළ හැකි කිසිවක් තිබුණේ නැත. මා රෝගාතුර හා භයානක හැඟීමකින් වෙළුනි. මේ වනාහී යුක්ති ධර්මයේ නාමයෙන් කැරෙන මනුෂ්‍ය ඝාතනයකැයි මට හැඟිණි. මැරීම දුෂ්ඨ නම් ආණ්ඩුවක් විසින් මැරීමද දුෂ්ඨය. ඒ වනාහී මගේ මනසෙහි විදිලි කෙටූ අදහස්ය.

නියෝජ්‍ය පිස්කල්වරයා හිස වැනුවේය. අලුගෝසුවා ලීවරය ඇද්දේය. සැණෙන් පෝරකය විවිර වී මිනිසා පහළට වැටුණේය. මම අසළට ගොස් එබී බැලීමි. සිරුර එල්ලෙමින් තිබුණේ තවමත් ගැහෙමිනි. කම්පනයට පත්ව ඇස් නිලංකාරව තිබුණද මම නිලධාරීන් අනුගමනය කළෙමි. ඔව්හු ‘මරණයේ පේළිය’ වටා ගොස් පෝරකයේ වළ වෙත පැමිණියෝය.

වෛද්‍යවරයා සිය වෙද නළාව මිනිසාගේ පපුව මත තැබුවේ ඔහුගේ හදවත ක්‍රියා විරහිත බව සහතික කරනු පිණිසය. ඔහු විනාඩි කිහිපයක් ගත කර යළි වෙද නළාව තබා බලා සිරුර බාන සේ නියෝග කළේය. අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ ඔහු ‘අධිකරණමය එල්ලා මැරීම මගින් සුෂුම්නාව බිඳී යාමෙන් මරණය සිදුවී ඇතැ’යි වාර්තා කළේය.

කෙටියෙන් කියන්නේ නම් ඒ වනාහී භයංකර අත්දැකීමකි. දින ගණනාවක් යනතුරු හරියට කෑම බීම ගැනීමට දුෂ්කර වූ මා භයංකර සිහින දුටුවෙමි. බණ්ධනාගාර සේවය තුළදී මට යළි මෙම බිය ජනක දර්ශනය දක්නට නොලැබේවායි මම අපෙක්ෂා කළෙමි. යඥා කළෙමි.'

ඉහත සඳහන් වන්නේ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු වන එච්.ජී. ධර්මදාස මහතා විසින් සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියූ ලිපියකින් උපුටා ගත් කොටස්හි පරිවර්තනයකි. මෙකී වාර්තාව මරණීය දණ්ඩනයේ අමානුශිකත්වය අපූරුවට පෙන්වයි. අටුවා ටීකා ඊට අවශ්‍ය නැත.

එළෙස මරණීය දණ්ඩනයට බිලි වූ එම මිනිසා මෙන් අදද මෙරට බන්ධනාගාරයන්හි මරණ දඬුවම නියම වී සිටින මිනිසුන්ගෙන් සියයට 90 ක්ම පෙර වැරදි නොකරන ලද පුද්ගලයින් වන අතර ඒ් අතුරින් සියයට 70 ක්ම ග්‍රාමීය පෙදෙස්වලින් පැමිණෙන බව දේදුනු සංවාද වත් පොත පෙන්වා දී තිබුණි. තවද මෙරට සිරගතවන අයගෙන් සියයට 73 ක්ම අටවන පංතිය දක්වා හෝ ඊට අඩු අධ්‍යාපනයක් ලැබූ අය වෙති.

මැරීම කවරකු විසින් කළද වරදකි. මැරීම වෙනුවට වෙනත් දීර්ඝකාලීන දඬුවම් දීමේ විකල්පය ආණ්ඩුව හමුවෙහි තිබේ. කිසිදු අධිකරණයක් සියට සියයක් නිවැරදි නැත. අහිංසකයින් දෝශ සහගත ලෙස වරදකරු කොට එල්ලා මරණ ලද අවස්ථා විරළ නැත. මරණ දණ්ඩනය ආපසු හැරවිය නොහැකිය. එයට බිලි වන්නේ සමාජයේ අවවරප්‍රසාදිත එබැවින්ම, දක්ෂ පක්ෂ නීතිවේදීන්ට මුදල් ගෙවිය නොහැකි ජන කොටස්ය.

දැන් ජනාධිපති සිරිසේන එල්ලා මැරීම සමඟ දේශපාලන රමණයක යෙදෙමින් අවසාන සුරතාන්තය සඳහා හැල්මේ යන්නේ මේ කිසිවක් නොදන්නා අඥාන සහ අත්තනෝමතික දේශපාලනඥයකු ලෙසය.

ඔහු ජනාධිපති බවට පත් කරන ලද සියලු දේශපාලන සහ සිවිල් සංවිධාන මෙම අඥාණ තීරණයට විරුද්ධය. විරුද්ධ පක්ෂයද විරුද්ධය. ලෝක මානව හිමිකම් ප්‍රජාවද එක හෙළා විරුද්ධය.

නමුත් මේ අඥාන, අත්තනෝමතික, මිනිසා එල්ලා මැරීමේ ලෙයින් පිපාසිතය. පිශාචයකු වැන්න. බලයෙන් උද්ධච්චය. මුග්ධත්වයෙන් අන්ධය. මරණයේ රමණයෙන් අන්ධය. අවසාන විග්‍රහයේදී මේ මිනිසා ඉතිහාසගත වන්නේ සියලුම ක්ෂෙත්‍රයන්හිදී කරන ලද දුෂ්ඨකම් සහ පාවාදීම් වෙනුවෙනි.

ජනාධිපති සිරිසේන, මේ වනාහී ඔබ විසින් කරන ලද අගණිත වූ අඥාන සහ අදූරදර්ශි දේශපාලන සැහැසිකම්හි අවසානය වේවා ! 

වන්නාටය ! කූඩැල්ලා නෙළුම් කොළේ නොහිඳී. මඩටම යයි. යන්න, සිරිසේන මඩටම යන්න. බහින්න, සිරිසේන. ගිලා බහින්න.

අර එල්ලා මරණ ලද මිනිසාට මෙන් ඔබටද වෙනත් තෝරා ගැනීමක් නැත. ඒ් මිනිසා ගරු කටයුතු ලෙස අවසානයට මුහුණ දුන්නේය. ඔබ දැනටමත් බෙරි වී ඇත. නිකමට හිතන්න. ඔබ නැති කළේත් නැති කර ගත්තේත් කොතරම් අපූරු ඉතිහාසීය අවස්ථාවක්ද කියා. නපුරු සිහින ඔබ හඹා එනු ඇත. මරණයේ රමණයෙන් හෝ අවසාන සුරතාන්තය විඳින්න. යන්න, දේශපාලන අපායටම යන්න.