ධම්මික පෙරේරා - අනාරාධිතයෙකුගේ අනපේක්ෂිත ආගමනය -1 කොටස

ධම්මික පෙරේරා - අනාරාධිතයෙකුගේ අනපේක්ෂිත ආගමනය -1 කොටස

5 July 2019 12:01 pm

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්වීමට ධම්මික පෙරේරා සුදුසුද?  සියල්ල අසමත් රටක ආර්ථිකය කෙරෙහි ඔහු තබන වැඩි බර, ලංකාව සිංගප්පූරුවක් කිරීමේ සිහිනයට තබන තවත් ලංසුවක්ද? ධම්මික පෙරේරාව අප කියවාගත යුත්තේ කෙසේද? විද්වතෙක් , ප්‍රතිපත්ති පර්යේෂකයෙක් සහ ස්වාධීන විශ්ලේෂකයෙකු වශයෙන් සැලකෙන චානුක වත්තේගම විසින් ඩේලි මිරර් පුවත්පතට ලියන ලද ලිපියක අනුවාදයේ පළමු කොටස මෙහි පළ වේ.

 

මේ ලියන මොහොත දක්වාම, ධම්මික පෙරේරා 2020 ජනාධිපතිවරණට ඉදිරිපත් වීම පක්ෂයකට අදාළව ගත් තීරණයක් නොවේ. එය ඕනෑම කෙනෙකුට සම්පූර්ණයෙන්ම වටහා ගත හැකිය. ඔහු විසින් දේශපාලන බලවේගයක් නියෝජනය නොකරන අතර, ඔහු කිසිදා දේශපාලන චරිතයක් බවට ද පත් ව නැත.

සිදුවිය යුතුව තිබුණේ එය නම්, රටේ ඉහළම ධුරය සඳහා වූ තරගයට ඔහුගේ අවතීර්ණ වීම කිසිදු විටෙක සම්ප්‍රදායික ආකාරයකින් සිදු නොවනු ඇත. එය සුසමාදර්ශී  විතැන්වීම  (paradigm shift) කි. සුසමාදර්ශී විතැන් වීම් කිසි විටෙක කලින් කියමින් සිදුවන ඒවා නොවේ.

එනිසා එම ප්‍රවෘත්තිය පැමිණිය යුතුව තිබෙනවා නම් එය පැමිණෙනු ඇත්තේ වඩාත්ම බලාපොරොත්තු විරහිත මොහොත, කිසිදු විටෙක බලාපොරොත්තු නොවූ ආකාරයකට ය.

මෙවැනි සුසමාදර්ශී විතැන් වීම්, සිදුවිය හැකි දේවල්ද? එකවරම සටනට අවතීර්ණ වන, කිසිම ආකාරයක දේශපාලනයේ පෙර අත්දැකීමක් නැති අයෙකුට, තමන්ව ජනාධිපති බවට පත්කරමින් ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිද? ඇයි නැත්තේ..?

දේශපාලනයේ පෙර අත්දැකීම් අවශ්‍යමද..?

(එවකට) ජනරාල් සරත් ෆොන්සේකා 2010 වසරේදී ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වූ විට මිලියන 4.2 ක් වූ ඡන්ද දායකයන් ඔහුට සිය කැමැත්ත පළ කළේ ඔහු වෙත කිසිදු පෙර දේශපාලන අත්දැකීමක් නොමැති බව නොසලකා හරිමිනි. (මෙහිදී මම, දේශපාලන පවුල්වලින් පැවතගෙන එන සහ දේශපාලන රික්තකයන් පිරවූ දේශීය චරිත සහ දකුණු ආසියාවේ ඉන්දිරා ගාන්ධි, රජීව් ගාන්ධි, සිරිමා බණ්ඩාරනායක, බෙනාසීර් භූතෝ, ෂෙයික් හසීනා, ඛලීඩා ෂියා වැනි චරිත මග හැර යමි).

එසේ පවසන අතරම, මෙසේ වීම ලෝකයේ පෙරදිග භාගයේ සම්මත ක්‍රමය නොවන බව ද සිහිපත් කරමි. වෘත්තිකයන්ගෙන් වැඩි දෙනා මහ මැතිවරණයකදී පාර්ලිමේන්තු ආසනයක් දිනා ගැනීම සඳහා වුව තවමත් පළමු උත්සාහය දරන්නේ ජාතික ලැයිස්තුවෙනි. එනිසා ඔවුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරණය ගැන කතාකිරීම පසෙක තබන්න.

රොස් පෙරොට්ගෙන් ඉගෙන ගන්න..

කාර්මීකරණය වූ ලෝකයේ නම් මේ තත්වය වෙනස් ය. මේ සම්බන්ධයෙන් වඩාත්ම උනන්දු සහගත චරිත දෙක වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රොස් පෙරොට් ය. රොස් පෙරොට් ඇමරිකානු ව්‍යාපාරික ධන කුවේරයෙකු සහ ඉලෙක්ට්‍රොනික් ඩේටා සිස්ටම්ස් හා පෙරොට් සිස්ටම්ස් හි ප්‍රධාන විධායක නිලධාරියා සහ නිර්මාතෘවරයා විය.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවිය සඳහා තමන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව 1992 වසරේදී පෙරොට් නිවේදනය කර සිටියේය. සම්ප්‍රදායික දේශපාලනඥයන් කෙරෙහි පැවති බිය හේතුවෙන් ඇමරිකානුවන්ගෙන් විශාල කොටසක් ඔහුට වහාම අනුමැතිය පළ කර සිටියේය.

මැතිවරණයට පෙර ජන නියැදියක් ඇසුරෙන් 1992 වසරේ ජන මතය විමසා බැලූ විට පෙනී ගියේ පෙරොට්, ජනාධිපති ජෝර්ජ් බුෂ් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක බිල් ක්ලින්ටන් යන දෙදෙනාටම වඩා ජනප්‍රියතාවය අතින් ඉදිරියෙන් සිටින බවයි. එයින් පෙනී ගියේ පෙරොට් ඡන්ද දායකයන්ගෙන් 39%ක් දිනාගෙන ඇති බව ( මේ වන විට බුෂ් 31%ක් සහ ක්ලින්ටන් 25%ක් විය)ය. අවාසනාවකට මෙන් ජූලි මාසයේදී ජනාධිපතිවරණ තරගයෙන් තාවකාලික ලෙස ඉවත් කිරීම සහ නැවත තරගයට පැමිණීමට පෙර සති කිහිපයක් නිහඬව සිටීම හේතුවෙන් ඔහුගේ ජනප්‍රියත්වයට බරපතළ හානියක් සිදු විය.  

පසුව ඔහු සඳහන් කළේ ඔහු ඉවත් වී සිටීමට හේතුව, රිපබ්ලිකන් පක්ෂය මෙහෙයවන්නන් විසින් සිය දියණියගේ විවාහ මංගල්‍යයට බාධා කිරීමට වෑයම් කිරීම බවයි. එවිට ප්‍රමාද වැඩි ය. ක්ලින්ටන් මිලියන 45 ක් ඡන්ද ලබා ජයගන්නා විට පෙරොට් ජනප්‍රිය ඡන්ද මිලියන 19 ක් ලබා තෙවැනි තැනට පත්විය.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාව බොහෝ දෙනෙකු හොඳින් දන්නා කතාවකි. රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තරග බිමට පිවිසීමට පෙර ඔහු දළ වශයෙන් ව්‍යාපාර 500 කට වඩා හිමිකම ඇති, එයින් භාගයක් පමණ සෘජු ලෙස ඔහුගේ නමින් පැවති සහ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 600 ඉක්මවූ ‘ද ට්‍රම්ප් ඕගනයිසේෂන්‘ හි හිමිකරු විය.

ට්‍රම්ප් සාර්ථක වූයේ ඔහු ප්‍රධාන දේශපාලන පක්ෂයක අපේක්ෂකයා ලෙස තරග බිමට පිවිසි නිසා ය. මෙහිදී මෙම මාර්ගය පෙහෙලි කළ පුද්ගලයා වන්නේ පෙරොට් ය. 2017 වසරේදි ඇමරිකානු ඩොලර් බිලියන 3.1 ක තනි පුද්ගල වත්කම් හිමි ව සිටි ට්‍රම්ප් ජනාධිපතිවරණයට මෙතෙක් ඉදිරිපත් වූ ධනවත්ම පුද්ගලයා මෙන්ම, පූර්ව හමුදා හෝ රජයේ සේවයේ අත්දැකීම් නොමැතිව ජනාධිපති ධුරයට පත් වූ ප්‍රථමයා විය.

පක්ෂ දේශපාලනය අප්‍රසන්න වූ රටක...

මෙම පූර්වාදර්ශය, එම සිදුවීම ම නැවත සිදුවීම සඳහා දේශීය දේශපාලනයට බරපතළ ලෙස සලකා බැලීම සඳහා එනයින්ම පූර්වාදර්ශයක් වේ. 1940 දශකයේ සිට 2015 දක්වා වූ කාලය තුළ ශ්‍රී ලාංකික ඡන්ද දායකයන් ක්‍රම ක්‍රමයෙන් දේශපාලන පක්ෂවලින් ඈත් වෙමින් සිටින හෙයින් මෙය, ඉහළ ඉලක්කයක් වෙත ළඟා විය හැකි ඉහළ අවදානමක් සහිත පරීක්ෂණයක් කර බැලීම ට හොඳම වේලාව ද විය හැකිය.

මෙම පසුබිමේ සිට ලියැවෙන මෙම ලිපිම මගින් ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා වීමට සුදුසුදැයි විමසා බැලේ. මීට පෙර ගෝටාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මේ සඳහා සුදුසුදැයි මා විසින් විග්‍රහ කර  තිබේ.

ඔහු තෝරා පත් වනු ඇතැයි පූර්වාපේක්ෂණය කිරීමෙන් වැළකී මේ ලිපියේදී සිදු කෙරෙන්නේ මේ අවස්ථාවේදී ධම්මික පෙරේරා ට සිදුකළ හැකි සමාජ ආර්ථික බලපෑම අගැයීමට ලක් කිරීමයි.

2 වන කොටසින් - ලංකාව හැමදාම දුප්පත් ඇයි? කළ යුත්තේ කුමක්ද?