නොකළ වරදකට වැලිකඩදීම මියගිය ඇක්මන් මාමාගේ කතාව

නොකළ වරදකට වැලිකඩදීම මියගිය ඇක්මන් මාමාගේ කතාව

3 July 2019 09:44 am

මම ලියන්න හිතාගෙන ඉන්න මනුස්සෙක් ගැන ලියන්න මතක් කරලා තිබුණා.මට අසීමිත විදිහට ආදරය කළ නොකළ මිනීමැරුමකට මරණීය දණ්ඩනය නියම වුණු ඒ මිනිසාට බන්ධනාගාර රෝහලේදීම සිය ජීවිතය අහිමි වුණා.

නමින් ඇක්මන් වුණ ඒ ආදරණීය මිනිසා මිය යන විට වසර 100 ඉක්මවා තිබූ හෝ ඊට බෙහෙවින් ආසන්නව සිටියා.සිය පුතා විසින් මරා දැමූ මිනිසෙකුගේ දේහයට කෙළ ගසමින් පරිභව කළ ඔහු ද අවසානයේ ඒ මිනීමැරුමේම කොටස් කරුවෙක්ව වැලිකඩ වාට්ටු අතර සිය පිය පුතු සම්බන්ධය සීමා කරගත්තා.

මා කියන වයෝවෘද්ධ මිනිසා එක් කාලයක එවකට හිටපු අධිකාරිවරයා ගාමිණි ජයසිංහ ගත් මානුෂීය තීරණයකට අනුව පන්සල් වාට්ටුවේ රැදී සිටියා.ඒ සඳහා කොමසාරිස්වරයා ලෙස පල්ලේගම මහතා ඔහුට අවශ්‍යය අනුමැතිය ලබා දෙමින් හවුල්කරුවෙක් වුණා.මේ වාට්ටු‍‍වේ අවුරුදු 70 පසුකළ මරණීය දණ්ඩනය හිමි වූ පිරිස් සෑහෙන ප්‍රමානයක් සිටියා.

අදුරු මරණීය සිරකුටිවලට වඩා එළිය ලැබෙන මේ පන්සල් වාට්ටුවෙ ඔවුන් නිරෝගීව සිටියා.ඒ නිසා එය පරිපාලනයට මෙන්ම බන්ධනාගාරයට ඔවුන් වෙනුවෙන් විවිධ රෝග තත්ත්වයන්ට වැය කළ යුතු මුදලද අඩු වෙන්නට හේතු වුණා.

රැදවි සහෝදරයන්ගෙ නාට්‍ය පුහුණුව තිබුණු ඒ ශාලාවෙ හිටිය මිනිසුන්ට මේ වැඩේ කරදරයක් වෙයි කියලා හිතුණත්,ඇක්මන් මාමා කියන කතා නායකයා නිතර මට දිරිදෙමින් කතා කරමින් ඔහුගේ අසාමාන්‍ය කේන්තිය නිසා විහිළුවට ලක්වීම වැළක්වීමට මගේ මැදිහත්වීමට ගෞරව කරමින් අසීමිත විදිහට ආදරය කරන්න ගත්තා.

ඔහු නිදහස් වෙන බවට හදාගත් මනෝ ලෝකයක සැරි සරමින් එන එන නිලධාරීන්ගෙන් නිදහස් ලියුම ආවාදැයි අසමින් සිය වේදනාය නැති කරගන්නට සහනදායී උමතුවක වෙලී සිටි බව හෝ අමුතු ලෝකයක ජීවත්වෙමින් වේදනාව අඩු කර ගන්නට උත්සාහ කළ බව හෝ සිතිය හැකියි.

ඒ එක් අවස්ථාවක බන්ධනාගාර අධිකාරී ගාමිණි ජයසිංහගේ ඇස් කඳුළින් දිදුලවන්ට මේ ඇක්මන් මාමාට හැකි වුණා.නාට්‍ය වැඩකදී සෙට් එක පටවන ආකාරය ගැන අධීක්ෂණය කරන්න එහි ආ ගාමිණි ජයසිංහ මහතා සහ මා අසළට පැමිණි ඇක්මන් ඇයි ස්ර් අපිව මේකෙන් යවන්නෙ නැත්තෙ.....අපිව නිදහස් කරන්නෙ නැද්ද යනුවෙන් විමසා සිටියා.

ඒ වන විට දඩුවම ගෙවෙන ශිෂ්ඨ ලෝකයේ ක්‍රමයට රටේ නීති සකස් විය යුතු බවට යෝජනා කරමින් ඊට ප්‍රවේශයක් සනසන්නට සිව්මස් සමාලෝචන වැඩ සටහන ආරම්භ කිරීමට නීතිමය අවසරය පතමින් ගාමිණි ජයසිංහ විශාල වෙහෙසක් ගනිමින් හිටියා.ඊට නොමදව පල්ලේගම මහතාගෙන් ආශිර්වාදය ලැබුණා.

නමුත් ඇක්මන්ල ඇන්ටන් තෙන්නකෝන් කෙනෙක් නොවීම නිසා හිටපු අමාත්‍ය ගජධීරටත් ඒ සඳහා ඉහළ දේශපාලන ආශිර්වාදය ලැබුණෙ නැහැ.

ක්‍රමයෙන් ඇක්මන්ගේ ගෙදර යාමේ ආශාව නිදහස් වී මා සමඟ අපේ ගෙදර යාම දක්වා වෙනස් වුණා.ඔහු අසීමිත විදිහට ආදරය කරන්න වුණා.සමහර විට දින කිහිපයක් ගොස් මා එහි යන විට කූඹි වසනලද පාන් කැබලි මා වෙනුවෙන් තියාගෙන ඉන්න තරමට ඒ ආදරය දැඩි වුණා.ඒ නිසා ඔහු ඉන්න තැන කූඹිගෙන් පිරී ඔහුටද දෂ්ට කරන තරමට කරදර ඇති වීම නිසා විශාල වශයෙන් කරදරයට පත් වුණේ මේ සටහනේ අමුණා තිබෙන සහන්ලායි.

ඔවුන් බැණුම් අසමින් අසීරුවෙන් උපක්‍රම සකසා ඇක්මන් මාමාව ඉවත් කර ඒ කුණු රොඩු අස්කර වාට්ටුව පිරිසිදු කළා.සහන්ලා ඇක්මන් මාමාව පමණක් නොවේ මුළු වාට්ටුවේම සිටි වයසක පිරිස් නෑවීම රැවුල කැපීම බෙහෙත් ගැනීමට කැටුව යාම වැනි කරුණුවලදි මුල් තැන ගෙන කටයුත් කළා.
සමහර විට මම පැමිණ සිටින අවස්ථාවල නාට්‍ය නිර්මාණය කරන අවස්ථාවල මගේ පයට පෑගෙන තරම් ආසන්නයට ඇවිත් ඇක්මන් මාමා මා අසළ ඉදගෙන.පුංචි පුංචි කැක්කුම්වලට මගේ ස්පර්ශය අවශ්‍යය වුණා.ඒ ඇත්තටම කැක්කුමක් නෙමෙයි කියලා ටික වෙලාවකදි දැනෙන්නෙ තරුණ හිරකාරයෙක් ඔහුව කෝප ගැන්වීම නිසා හැරමිටියත් වනමින් ඒ මේ අත දුවද්දියි.ඔහුට වයස දුර්වල පෙණුම තිබුණටත් හිතේ ආත්ම විශ්වාසයත් සමඟ කොල්ලන් සමඟ ඔට්ටු වන්නට තරම් හයියක් තිබුණා.

තව දවසක් ඇක්මන් මාමා දිවා ආහාරයට නාට්‍ය නවත්තලා තියෙද්දි මට කතා කරල පෙන්නුවේ ඒ වෙනකොට දෑසම නොපෙනෙන වයෝවෘද්ධ රැදවියෙක් නාට්‍යයේ ගීත අපූරුවට ගායනා කරනවා.ඒ වගේම ඇක්මන් මාමා වගේම ඇල්සේන මාමාටත් නාට්‍යයේ දෙබස් පාඩම් ව තිබුණා.ඇක්මන් මාමාට ඉතා ආසන්න වයසෙ හිටියත් ඇල්සේන මාමා නාට්‍ය කණ්ඩායමට ව්‍යායාම කරද්දි ඇවිත් කළිසම් කොටයකුත් ඇදන් ඒවා වැරදියට හරි කරන්න උත්සාහ කළා.ඇක්මන් මාමාටත් නාට්‍යයේ බොහෝ දෙබස් අසා මතක තිබුණා.ඔහුත් සමහර වෙලාවට මා කිව්වම පැමිණ ඒ දෙබස් කියා රඟපා පෙන්නුවා.

ඔවුන් සතුටින් තබන්නට නිවැරදි නිර්මාණශීලි සංකල්ප තුළින් සුබසාදන ක්‍රියාවලියට වෙනස් හැඩයක් දී සමාජ ගත කළ හැකි යහපත් මිනිසෙක් කළ හැකියි.එක් වරක් සිරකරු දිනයක් දවසෙ මගේ නාට්‍යයේ සිටි තරුණ සිරකරුවෙක් බලපත්‍ර නිදහස ලබා එළිට ගොස් සිටියදී පැමිණ තමන් සිරගෙදරදී දුටු හොදම සුබසාධන වැඩ පිළිවෙල නාට්‍ය බව කියා තිබුණා.උඹලා මොනවද කළේ කියා ඇසුවොත් සිරකරුවන් සුබසාධනය සඳහා බොහෝ දේ කැපකර තිබෙන බව හෘද සාක්ෂියට එකඟව කියන්නට හැකියි.

මිනිස්සු මරණ දඩුවමක් දෙන අන්දමට වැරදි කරන්නෙ සමාජය විසින් ඇති කරන ලද හිස්කමක් අඩුපාඩුවක් නිසා හෝ අහඹු සිදුවීමකින්.ඒක තේරුම් අරගෙන ඔවුන් නිවැරදිව ජීවත්වන පුරවැසියන් කරන්න අපොහොසත් නම් ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ වරදක් නීතීමය පද්ධතියෙ වරදක් මිස අනෙකක් නොවෙයි.ගහකින් දඬු කෑල්ලක් හිස මත කඩා වැටුණම කැළයක්ම කපා දාන තීරණ නෙමෙයි බුද්ධිමත් තීරණ.දඬු කැබැල්ල කඩා වැටුණ ගහද සොයා බලා රැක ගන්නට හදන එකයි කළ යුත්තේ.

කරන්න දෙයක් නැහැ ඇක්මන් මාමේ මිනිහෙක් මරන්න හිතන වැරදි කරන්නටත් වැරදිවලට පොළමවන්නටත් ඇති බලපෑම් ලෝකයේ උඹට හිරකාරයෙක් විදිහටම මිය යන්නට වුණා.ඒක මේ බෞද්ධ සිංහල රටේ අනන්‍යතාවය නම් රට ගැන කියන්න තියෙන්නෙ එක දෙයයි.

අනේ සාදු!

අන්තිමට මේ මිනිස්සුන්ගේ ආදරය ලැබ ගන්න මගේ සමාජමය ආදරය දෙන්න ගාමිණි - පල්ලේගම සුංසයෝගයේ ඉදළ ඉහළ අසුන් දැරූ සියලු දෙනාම ලබා දුන් සහයට ස්තූතිවන්ත වෙන්න ඕනි.හිසනමා ආචාර කරන්න ඕනි.

ආයෙත් සැරයක් ආවෝත් පන දෙන්න වැනි බලයක් මට ජීවිතයේ දැනෙන්නට ආදරය කළ ටික දෙනාගෙ ලැයිස්තුවෙ ඉහළම තැනෙක ඇක්මන් මාමාත් ඉදිවී.

- නිශ්මං රණසිංහ