අතීත ශ්‍රී විභූතියකින් මත්වී බංකොලොත් අනාගතයකට ඇවිද යාම

අතීත ශ්‍රී විභූතියකින් මත්වී බංකොලොත් අනාගතයකට ඇවිද යාම

2 July 2019 06:04 pm

අතීතය වනාහී මිනිසාගේ පිය සටහන් රැඳී ඇත්තාවූ පසු පෙරමුණයි. වසර දසදහස් ගණනින් වූ ඓතිහාසික පැකේජ බොහෝ ගණනක් වැය කොට මිනිසා වර්තමානය දක්වා පැමිණ සිටිනා අතර ඉන් හෝමෝ සේපියන් සේපියන් මානවයා පමණක් වසර දසදහසේ පැකේජ 04 ක් උදෙසා උරුමකම් කියා ඇති බව මානව ඉතිහාසය අරබයා දල අදහසක් ඇති අයෙකු පවා දන්නා සත්‍යයකි. මේ ඓතිහාසික උරුමක්කාරයින් අතරින් ජාතිකත්ව ලෙස දිගු ඉතිහාසයක් සහිත මිනිස් ප්‍රජාවන් දෙකක් ලෙස විශේෂයෙන් කැපී පෙනෙනුයේ “යුදෙව්වන් සහ සිංහලයින්ය” ඒ වසර 2000 ක් ඉක්මවන ලද නිශ්චිත ලේඛණීය උරුමයක් සහිතවය. ඒ අර්ථයෙන් ගත් කළ යුදෙව්වන්ට සහ සිංහලයන්ට පාරම්පරික උරුමයෙන් ලැබී ඇති ඓතිහාසික වූ මානසික සහ භෞතික වත් පොහොසත්කම සුලුපටු නොවේ. ඒ ඕනෑම ප්‍රතිවාදියෙකු අභියස ඇදගන්නට තරම් වූ ඉතිහාසීය දායාදයක් උරුම කොට ගෙන සිටිනා බැවිනි. ඒ අනුව අද වනවිට යුදෙව්වන් ඊශ්‍රායලය සිය රාජ්‍යය කොට ගෙන මැදපෙරදිග කලාපයේ වසනා අතර දකුණු ආසියාවේදී සිංහලයා ශ්‍රී ලංකාව නමින් රාජ්‍යයක් පවත්වා ගෙන යන්නේය. “ජනමිත්‍ර හඬ” වියමනට ප්‍රවේශ වන්නේ ඔරොත්තු නොදෙනා තරමටම උරුමවී ඇති “අතීත ශ්‍රී විභූතියක්” නිසාවෙන් අනාගතය අඳුරු කොට ගෙන ඇති ලාංකේය රාජ්‍යයේ වැසියන් උදෙසා ආලෝකයක කරුණු කියා පෑමක් සඳහාය.  
 
තාර්කික බුද්ධියකට උරුමකම් කියනා මානව ප්‍රජාවන්ට අතීතය උපයෝගී වනුයේ, පළමුව වර්තමානයටත්, දෙවනුව අනාගතයත් සාර්ථක කොට ගැනීම සඳහාය. ඒ අනුව අතීතය වනාහී අධ්‍යාපනයක් මිස ආභරණයක් නොවේ. අතීතය උපදේශකයෙකු කොට ගත යුත්තේ අතීතයේ තිබූ තත්ත්වයන් ඉක්ම යාමක් සඳහා මිස පසුපසට ආපසු ඒම සඳහා නොවේ. අප කියා සිටිනා දෙය සත්‍යයක් බවට තහවරු කොට ඇත්තේ මෙරට පඬිරුවනක් ලෙස ගැනෙනා කුමාරතුංග මුනිදාසයන් විසිනි. ඒ “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” යන ප්‍රකාශය ඉදිරිපත් කරමිනි. ඒ අදින් දශක 08 කට ආසන්න අතීතයේ දිනකදීය. නමුත් ලාංකේය ජාතික රාජ්‍යය අද මුහුණ දී සිටිනා අර්බුදය නම් අවංක බහුශ්‍රැතයන්ගේ ප්‍රකාශයන් පිටුදැක බොල් දේශපාලකයන්ගේ මුඛ කයිවාරුවන්ට වශී වීම වේ. ඒ අනුව දැනුමින් බරැති ගල්පිළිම ඉතිහාසයක් තුළ ගැඹුරට වැළලී ගොස් ඇති අතර, බොරදියේ පාවෙනා හිස් බොල් පිළිම වන්දනීය තත්වයට පත්වීම ලාංකේය දේශයේ ඛේදවාචකය බවට පත්වී අවසන්ව ඇත. මේ බොල් පිළිම වන්දනාව විසින් දැයට උරුම කොට ඇත්තේ අලුත් දේ සොයා යාමක් නොව පැරණි දෙයින් පුදුමයට පත්වීමක් පමණි. ඒ අනුව අද මෙරට බහුතර වැසියා සිය මුතුන් මිත්තන්ගේ අතීත විස්කමින්ද, පෘථිවියේ අසල්වැසි විදේශිකයාගේ වර්තමාන දස්කමින්ද පුදුමයට පත්වනවා මිස වෙන කරනා දෙයක් නැත. ඒ අනුව වර්තමාන පෘථිවිවාසී හපනුන්ගේ නවීන තාක්‍ෂණය ගැනද, සීගිරි පර්වතය මුදුනේ සුවිසල් මාලිගාවක් ගොඩනැගූ අතීත කාශ්‍යප කෙනෙකු ගැනද, ඊජිප්තු පිරමීඩයන්ට පමණක් දෙවන වන රුවන්වැලි සෑයද, ලොව පැරණිතම වෘක්ෂය වූ ශ්‍රී මහා බෝධියද, දෙමෝදර ආරුක්කු නවයේ දුම්රිය පාලමද, ඇම්බැක්කේ ලී කැටයම් ගැනද ඇතුළු තවත් බොහෝ දෑ ගැන පුදුම වෙමින් සිටීම ජීවන පුරුද්දක් බවට පත්වී ඇත. 
 
පෘතුවිවාසි වැසියන් ගෙන් බහුතරයක් දෙනා මෙරට සිංහල ජාතිකත්වය හමුවේ ලිලිපුට්ටන් හෙවත් කුරුමිට්ටන් බවට පත්ව සිටිනුයේ සිංහලයාගේ වර්තමානය හමුවේ නොව, අතීතය හමුවේ පමණි. ඒ වර්තමාන සිංහලයා නූතන විජාතිකයා සමග දෙන්නාවූ වත්මන් තරගයක් නැති නිසාය. ඒ අනුව වසර 2500 ක ගලිවර් හෙවත් යෝධ ලිඛිත ඉතිහාසයක් සහිත වූ අද වනවිට ලිලිපුට් වර්තමානයක් අත්පත් කොට ගෙන සිටී. ඒ, බරැති ගල් පිළිම ගිලා බැස ගොස්, බොර දියේ පාවෙනා බොල් පිළිම දේශපාලන බලය අත්පත් කොට ගත් බැවිනි. 1948 පෙබරවාරි 04 යනු ලාංකේය ස්වදේශිකයන්ට අතීත ශ්‍රී විභූතියේ සමීකරණය අනාගතය කරා පෙරට ගෙන යාම සඳහා ලැබුණාවූ අවස්ථාවයි. නමුත් ඒ අවස්ථාව ගත් වුන් කළේ කුමක්ද ? මදි නොකියන්නට තිබෙනා අතීත ශ්‍රී විභූතිය උපයෝගී කොට ගනිමින් ලාංකේය ජාතික රාජ්‍යයේ වර්තමානය සහ අනාගතය අපහරණය කිරීම මිස අනෙකක් නොවේ. ඒ සැබෑ ලාංකේය මූලයන් සහිත භූමි පුත්‍රයන් අතට බලය මාරු වනවා වෙනුවට පාවා දීමේද, ද්‍රෝහීත්වයේද, කුලල් කා ගැනීමේද අපකීර්තිමත් සංස්කෘතික ගති ලක්‍ෂණයන්ගෙන් හෙබි අදූරදර්ශී, අනාගත ඉලක්කයන් දැක ගැනීමට අසමත්, නූතනත්වයට අනුගත වීමේ හැකියාවක් නොතිබූ රදල වැඩවසම්වාදීන් අතට දේශපාලන බලය මාරු වීමේ ප්‍රතිඵලයක් ලෙසය. 
 
බ්‍රිතාන්‍ය පාලකයින් අතින් ස්වදේශිකයින් වෙත බලය මාරු වන මොහොත වනවිට මේ රට ලෝකය දිනා සිටියේ ආසියාවේ “තේ වෙළෙන්දා” යන විරුදාවලියක් සහිතවය. ඒ "CEYLON TEA" ලෝකය පුරා තේ පානය කරන්නන්ගේ රස නහර පිනවමින් තිබූ නිසාය. මේ එදා බ්‍රිතාන්‍ය පාලකයා ලාංකේය රාජ්‍යය වර්තමානය තුළ ස්ථානගත කොට තිබූ තත්ත්වයයි. ඒ ලාංකේය ඉතිහාසය සතු අතීත ශ්‍රී විභූතියේ අයිතිවාසිකමක් බ්‍රිතාන්‍ය පාලකයාට නොතිබූ නිසාත්, ලෝකය ඒ වනවිට අතීතය වනනවා වෙනුවට අනාගතය සරුසාර කොට ගැනීමක වේගයෙන් නියැලී සිටි නිසාත්ය. ඒ අනුව 1948 වන විට සීගිරියෙන්, රුවන්වැලිසෑයෙන්, ශ්‍රී පාදයෙන් පතලව සිටි ලාංකේය රාජ්‍යය ලෝකයේ හොඳම තේ නිපදවන්නන් අතර ප්‍රමුඛස්ථානයක වැජඹුණේ අන්තර්ජාතික වශයෙන් ඉහළම ස්ථානයක් දක්වා එසවී සිටය. නමුත් බ්‍රිතාන්‍ය පාලකයා රට හැර යාමෙන් පසු ස්වදේශික පාලකයා නැවත හැරුණේ පසුකොට ආ අතීතය දෙසට මිස ලෝකය ගමන් කරමින් සිටි, වර්තමානය හරහා අනාගතය දෙසට නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස පැරණි වාරි කර්මාන්තය හරහා අතීත රජුන්ගේ හරයන් නොව පෙනුමක් සකස් කොට ගැනීමට උත්සුක වූයේ, ලාංකේය ජාතිය (සිංහල, දෙමළ, මුස්ලිම් ඒකාබද්ධයෙන්) ගොඩනගා ගනිමින් ලෝක රඟමඩලට ගොඩවීම සදහා නොව, තමන්ගේ ළිඳ තුළ මැඬියන් වීම සඳහාය. ඒ හුදෙකලාව තුළ ගිලී යාම සඳහා අනුගමනය කළාවූ අදූර්දර්ශී ක්‍රියා මාර්ගයන් කිහිපයක් විය. ඒ අතරින් ජාතික සමගියක උතුම් සමාජ ආකාරය වන ජාතිය ගොඩනැගීමට අසමත්වීම, ප්‍රජාතන්ත්‍රවාදය නූතනත්වයට ගරු කටයුතු ලෙස ගළපාලීමට ඕනෑකමක් නැති වීම, ලාංකේය දේශයට නූතන ලෝකය හා සමග කරට කර සටනක් දිය හැකි පන්නයේ අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් නොකිරීම. බ්‍රිතාන්‍ය පාලකයා ආදර්ශයෙන් පෙන්වා දුන් දේශීය නිෂ්පාදනයේ වැදගත්කම නිසිලෙස හඳුනා නොගැනීම යන සාධකයන් අති විශේෂ ලෙස කැපී පෙනේ. 
 
නිදහසින් පසු ස්වදේශික පාලනය හරහා රට පෙරට යන්නට ගත්තේ සිය අතීත ශ්‍රී විභූතිය වෙතින් දායාද වී තිබූ දේවල සංවර්ධනීය පියවරක් උදෙසා නොවේ. අතීත වටිනාකම් ස්වදේශික ජනයා වෙත මානසික අල්ලස් ලෙස ලබාදීම සඳහා පමණි. ඒ අනුව අප වසර 2500 ක ලිඛිතඉතිහාසයක් උරුම කොට ගත් ජාතියක් ලෙස වර නැගුවා විනා අතීත උරුමයන් වඩාත් සංවර්ධනීය පියවරක් කරා රැගෙන ගියේ නැත. බ්‍රිතාන්‍ය පාලකයා රට හිංසාවෙන් යටත් කළා හා සමාන ලෙසම ස්වදේශික පාලකයන් රට රැවටිල්ලෙන් යටත් කරනු ලැබුයේ ඉතාම නින්දා සහගත ලෙසය. ඒ අනුව මෙරට සිංහල බෞද්ධ ජන සමාජයක් වෙත මේ පාලකයින් ඒත්තු ගැන්වූයේ රට නැවතත් පැරණි රජ දවස දක්වා පැමිණියේය යන අදහසකි. මේ රැවටිල්ල සඳහා උපයෝගී කොට ගත් මූලික උපක්‍රමය වූයේ වාරි කර්මාන්තයට මැදිහත්වීමයි. බ්‍රිතාන්‍ය පාලකයින් රට තුළ ඉතිරි කොට ගිය ධන ශේෂයක් සහිත මූල්‍ය බලය වැය කොට අම්පාර සේනානායක සමුද්‍රය ඉදිකළේ රට මැද පිහිටි මහ සයුර ලෙසය. නමුත් මෙරට වාරි ජලාශයන්ට එබී බලනා වුන් නොදන්නේ ලෝකයේ ප්‍රථමයෙන් ජලාශ ගොඩනැගූ ජාතියක්, ආධුනික විදේශීය වාරි කර්මාන්තකරුවන්ගේ උපදෙස් මත අවිද්‍යාත්මක ජලාශ ඉදිකොට ඇති බවයි. උදාහරණයක් දෙන්නේ නම් මෙරට වත්මන් ජලාශ පද්ධතිය තුළ විද්‍යාත්මක “කුළු වැව්” පද්ධතියක සහ “මඩ සොරොව්වේ” තාක්‍ෂණය නැත. ඒ අනුව දැක ගත හැක්කේ කුමක්ද ? අතීත ශ්‍රී විභූතියක් ගැන කියා සිටියාට එකී අතීත නිපුණතාවයන් පෙරට ගෙන ගොස් නැති බව නොවේද ? අදින් වසර 3000 කට පෙරදී සීගිරියේදී යකඩ නිෂ්පාදනය කොට ඇති බව ඉතා නිශ්චිත ලෙස තහවුරුව තිබෙනා නමුත් මේ අතීතකාමයේ හෙවත් Nostalgia අමාරුවෙන් පෙළෙනා වුන් කොට ඇත්තේද, කරමින් සිටින්නේද අතීත උරුමය සංවර්ධනය කරනවා වෙනුවට අතීත ශ්‍රී විභූතියකින් මෙරට ජනයා රැවටීම මිස අන් යමක් නොවේ. 
 
 ක්‍රි.පූ.543 දී විජයාවතරණය වන අවස්ථාවේදී කුවේණිය සිටියා යැයි ඉතිහාසය දෙස් දෙනුයේ කපු කටිමින් බවටයි. අදින් වසර 2500 කට ඉහතදී කපු කර්මාන්තයේ යෙදී සිටියා වූ රටක් තුළ වසනා, වත්මන් ඊනියා දේශප්‍රේමීන් සිය මුඛ කයිවාරු ඇදබානුයේ යුරෝපීයයා කොළ අතු ඇඳි සමයේ අප රෙදි පිළියෙන් විළි වසා ගත්තේය කියාය. නමුත් අද සිදුවී තිබෙනුයේ කුමක්ද ? අද මෙරට වැසියන්ගේ විළි වසනුයේ එදා කොළ අතු හැඳ සිටියවුන් නිපදවනා රෙදිපිළියෙනි. අද චීන රෙදිපිළියෙන් නිම කළ වස්ත්‍ර උනා දමන්නට යැයි නියෝගයක් කළහොත් මෙරට ජනගහනයෙන් සාතිශය බහුතරයක් දෙනා නිරුවත් වන්නේය. ඒ දේශීය නිෂ්පාදනයේ අතීත ශ්‍රී විභූතියට ස්වදේශික පාලනයන් වග කියා ඇති ආකාරය දේශද්‍රෝහීත්වයකට ඥාතිකම් කියනා නිසාය. 
 
අද වනවිට අතීත ශ්‍රී විභූතියකින් දැයට උරුම වූ “ඉදිකිරීම් ක්‍ෂේත්‍රය, වාරි තාක්‍ෂණය, දේශීය නිෂ්පාදනය, පරිසර සංරක්‍ෂණය සහ ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුත් ලාංකේය මානව සමාජය” ඛේදජනක තත්ත්වයකට ගොදුරු වී අවසන්ය. ඒ ජාතියක් සකලවිධ ආකාරයෙන් අනතුරුදායක තැනක් දක්වා රැගෙන එමිනි. රුවන්වැලි සෑය, ජේතවනාරාමය, සීගිරිය අදටත් විරාජමානයෙන් බැබළෙන්නේය. නමුත් නව බෙලිඅත්ත දුම්රියපළ ආසන්නයෙන් දුම්රිය පාරේ ගිලා බැස්මක් ආයේය. අනුරාධපුර කලාවැව වෙත ජලය ගෙන ගිය “ජයගඟ” බැස්ම සැතපුමට අඟලකි. ඒ දැවැන්ත භූමියක් සංවර්ධනය කොට ගනිමිනි. නමුත් වත්මන් මහියංගනය වියානා කොනක්‍රීට් ඇළ දෙපස නෙළන්නට මුකුණුවැන්නාවක් හෝ නැත. අතීත රජ දවස වසර කිහිපයකට වරක් හස්තියන් ලවා රොන්  මඩ පාගවා ඉවත් කරනු ලැබුයේ වැවේ මඩ සොරොව්වෙනි. මඩ සොරොව්ව අහිමි වත්මන් ඉහළ කඳුකර ජලාශ රොන් මඩින් පිරී ගොස්ය. අතීත වැව් බැම්ම බින්දේ ආක්‍රමණිකයාය. නමුත් වර්ථමාන ඉඟිණිමිටිය සහ කන්තලේ වැව් බැම්බ බිඳුණේ නොදියුණු වාරි තාක්‍ෂණයේ ප්‍රතිඵල ලෙසය. මේවා මෙසේ සිදු වී ඇති නමුත් අදටත් ලාංකේය වැසියා අව සිහියෙන් වනන්නේ අතීත ශ්‍රී විභූතියක් ගැනය. ඒ ඇයි ? ඒ අතීත ශ්‍රී විභූතිය විද්‍යාත්මක අධ්‍යාපනයක් කොට දෙනවා වෙනුවට සිහිවිකල් කරනා මද්‍යසාරයක් බවට පත්කොට බෙදා හරිමින් සිටිනා නිසාය. අද වනවිට මෙරට බහුතරයක් දෙනා නොදන්නේ අතීත ශ්‍රී විභූතිය යනු මධ්‍යසාරයක් ලෙස ගෙන භාවිතා කළ යුතු දෙයක් නොව, විද්‍යාත්මක අධ්‍යාපනයක් බවයි. මේ නොදන්නාකම නිසාවෙන් අද සීගිරියේ යකඩ හදනන්ට බැරිදැයි යන ප්‍රශ්නය මතුවන්නේ නැත. මතුවන්නේ “අඩෝ අපි අවුරුදු 3000 කට කලින් යකඩ හදපු ජාතියක්” යන මෝඩ පුරසාරමක් පමණි. ඒ එදා සීගිරියේ යකඩ හැදූ බව දන්නාවුන්ය. නොදන්නාවුන් හාඩ්වෙයාර් ඇතුලේ ඉන්දියන් හෝ පාකිස්ථා‍න් යකඩ තෝරන්නේය. ඒ අනුව වසර 2500 ක දියුණු තාක්‍ෂණික හැකියාවක් උකහා ගන්නවා වෙනුවට “අලින්ගේ අපේ වැඩ” යන පන්නයේ පුරසාරමක් පමණක් කර තබා ගෙන යන්නාවූ ජාතියක් බවට මේ රට පත්වී අවසන්ය. අදින් වසර 2000 කට ඉහතදී සීගිරියේ කවි ලියනන්ට බිත්තියක් වෙන්කොට තිබුණේය. ඒ සියල්ලන් කවියන් කරන්නටය. අද අපිට කවියන් කියා වෙනම පිරිසක් ඇත. එදා සැතපුම් 57 ක් දිග අඟලක ආනතියෙන් සැතපුමක් බසිනා ජය ගඟක් තිබුණේ අක්කර දහස් ගණනක් සරු කර ගනිමින් සෙමින් ගලන්නටය. අද අපට අධිවේගී කොන්ක්‍රීට් ඇළ මාර්ග ලැබී තිබෙන්නේ හැකිනම් ගිලී නසින්නටය. එදා දාගැබ බැඳුණේ විවේකී ස්වෙච්ඡා ශ්‍රමයෙනි. මෙදා දාගැබ ලැබ තිබෙන්නේ කෙඳිරි නගමින් වාරික ගෙවනන්ටය. එදා රා කළයක් තිබුණේ මත් වී විනෝද වන්නටය. මෙදා අරක්කුවක් තිබෙනුයේ ආණ්ඩු ගන්නා ණය ගෙවනන්ටය. එදා වැවක් තිබුණේ අටුකොටු පුරවා ගන්නටය. මෙදා ජලාශ තිබෙන්නේ රට කරවන්නන් රජුන් යැයි පෙන්වා ඡන්දදායකයා රවටන්නටය. එදා අධ්‍යාපනය තිබුණේ බර අඩි තබනා සද්ජන මිනිසකු තනන්නටය. අද අධ්‍යාපනය තිබෙනුයේ ඒකපුද්ගල පොරවල් තනන්නටය. මේ තත්ත්වය සැබෑවක් නොවන්නේද යන්න මෙරට වසනා තර්කානුකූල හැකියාවෙන් යුත් අතළොසස්ක් මිනිසුන් දනී. 
 
ලෝකය පුරා වසනා ජාතීන්ගෙන් බොහෝ වුන්ට පුරසාරම් කියන්නට තරම් ඉතිහාසයක් නැති නිසාවෙන් ඔවුන් ඉතිහාසයක් උපයමින් සිටී. ලාංකේය ජාතිය ඉතිහාසයක් උපයන්නේ නැත. ඒ මදිය නොකියනන්ට තරම් ඉතිහාසයක් උපයා දී ගිය අතීත ප්‍රජාවක් මේ භූමිය මත වාසය කොට සිට මිහිදන්ව ගොස් ඇති නිසාය. ඒ අනුව 1948 නිදහසින් පසු බලයට පත්වූ පක්‍ෂ දේශපාලනයේ භාවිතාව “නාස්තිකාර පුත්‍රයා” ගේ සුදි කරනා භාවිතාවට ආයේ මෙරට ජනයා වෙත අතීත ශ්‍රී විභූතියක මධ්‍යසාර පොවා තබාය. අතීත ශ්‍රී විභූතිය මාහැඟි මාර්ගෝපදේශයක් ලෙස ගන්නවා වෙනුවට අතීත ශ්‍රී විභූතියෙන් මත් වී ඇත්තේ මාර්ගෝපදේශය පසෙකලා මධ්‍යසාරයක් නිස්සාරණය කොට ගත් නිසාය. ඒ මධ්‍යසාර මත “ජාතික සමගියට සූදානම් නැත. විවිධත්වයේ ඒකත්වයක රස විඳගන්නට දන්නේ නැත. දන්නේ හොඳම එක, පැරණිම එක, ලස්සනම එක, වටිනාම එක, අපේ එක” යැයි සිතනන්ට පමණි. ඒ “අතීත ශ්‍රී විභූතිය” අනාගතයට මාර්ගෝපදේශයක් කොට ජනතාව වෙත දෙනවා වෙනුවට “රැවටිල්ලේ මධ්‍යසාරයක්” කොට දුන‍්නේ දශක 07 ක පක්‍ෂ දේශපාලනයේ දේශද්‍රෝහීත්වය විසිනි. 20 වන සියවසේ මුල් භාගයේ සිට ඉන්දීය ජාතික ව්‍යාපාරය ස්වාධීන ඉන්දියාවක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරද්දී මෙහි විසූ රදල සීතල වැඩවසම්වාදීන් බලා සිටියේ කුණුහමවත් නොයන්නා වූ නිදහසක් අරබයාය. ද්වී පක්‍ෂ දේශපාලනයකට බෙදී ගියේ මේ සීතල රදලයින්ගේ වැඩවසම් දේශපාලනයයි. එහි අඩංගුව වූයේ රැවටිල්ල මිස අන් කිසිවක් නොවේ. 

එංගලන්ත යටත් විජිත භාර ලේකම්වරයා හමුවූ අවස්ථාවේ මෙරට ස්වදේශික නියෝජිතයා ලෙස ඩී.එස්. සේනානායක ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ තර්ක දෙකක් විය. පළමුවැන්න දෙවන ලෝක යුද්ධයේදී එංගලන්තයට විරුද්ධ මතයක් දැරූ ඉන්දියානවුන්ට නිදහස දෙනුයේ නම්, පක්‍ෂපාතීවූ අපට නොදෙනුයේ මන්ද කියාය. දෙවැන්න කල් ඇතිව තමන් වෙත බලය නොදුනහොත් ලංකාවේ වාමාංශිකයින් අතට බලය මාරුවීමේ ඉඩක් ඇත, ඊට ඔබ කැමතිද යනුවෙන්ය. මේ තර්කයන් ද්විත්වය හමුවේ යටත් විජිත ලේකම්වරයා මේ සව්දේශිකයා සහ ඉන්දියානු ස්වදේශික නායකයින් අතර ඇති බරපතල වෙනස දුටුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1818 හෝ 1848 ගලා ගියාවූ රුධිරයන්ට පවා වංචා කළාවූ නිදහසක් රට තුළ තහවුරු කරන ලද්දේ ලෝකයේ අනෙක් එවුන්, විශේෂයෙන් ඉන්දියාවේ මෝඩයන් ලේ හළාගෙන නිදහස ලබද්දී අප නිදහස ලැබූයේ ලේ බිඳක් හෝ නොහළාය යන වංචාකාරී අර්ථ නිරූපණයෙන්ය. රට වෙනුවෙන් ලේ සොලවා ගැනීමට තරමේ දේශප්‍රේමයක් හෝ ජාති වාත්සල්‍යයක් නොතිබූ මෙරට ස්වදේශික දේශපාලනය කරන ලද්දේ අතීත ශ්‍රී විභූතියෙන් මත්පැන් පෙරීම වේ. ඒ අනාගත සෞභාග්‍යයක් කරා යාමට අවැසි මනා මග පෙන්වීමක් සහිත ඉතිහාසයක්, අමු දහවලේ කසිප්පු පෙරීමක් දක්වා පරිවර්තනය කොටය. එතැන් සිට මෙරට වැසියා අතීත ශ්‍රී විභූතියෙන් මත්වී අන්ධකාර අනාගතයක් කරා ගමනක් ඇරඹියේ 1948 නිදහසින් පසු මෙරට පාලන බලය මාරු කොට ගත්තේ රටේ අනාගතයට සතුරු පිරිසක් බව කිසිසෙත් විශ්වාස නොකොටය. 
 
ලාංකේය පිටිසරබද ගම්මානයන්හි ඇති ඇතැම් තැපැල් ලිපිනයන්හි සඳහන්ව ඇත්තේ අදාළ පුද්ලගයාගේ නමට පසු “අලුත් ගේ” යන හැඳින්වීමක් සහිතවය. මින් කියැවෙන්නේ කුමක්ද ? ඒ එම ගමෙහි ප්‍රථමයෙන්ම ඉදිකළ නවීන පනන්යේ නිවස එය බවයි. උදාහරණයක් ලෙස පොල් අතු සෙවිලි කළ නිවාස පද්ධතියක් සහිත ගමක් තුළ පළමුව උළු වහලින් යුතු නිවසක් ඉදිවූයේ නම්, එම නිවන හැඳින්වූයේ “අලුත් ගේ” යනුවෙනි. මෙහි ඇති විශේෂය වන්නේ එම ගම්මානයෙහි ඊට පසු කොතෙක් නව නිවෙස් තැනුනද ඒ කිසිවක් “අලුත් ගේ” යන නම ලබා ගැනීමට අසමත් වීමයි. මේ නිසාවෙන් සිදුවන්නේ කුමක්ද ? ප්‍රථමයෙන් ඉදිකළ “අලුත් ගේ” වැසියන් පුරසාරම් දොඩනුයේ “දැන් නම් ඔය ඕන තරම් එවුන් ගෙවල් හදනව තමයි. ඒත් මේ ගමේ ඉස්සර වෙලාම උළු වහපු ගෙයක් හැදුවේ අපි තමයි” කියාය. මෙහිදී පුරසාරම් දොඩනුයේ අලුත් ගේ හැදූවුන්ය. නමුත් ලාංකේය රාජ්‍යයේ පුරසාරම් දොඩනුයේ හැදූවුන් නොව එහි ජීවත් වන්නවුන්ය. අදින් වසර 2500 කට පෙරදී ලාංකේය රාජ්‍යය ලෝකයේ කෙතරම් අලුත් වුන්ද යන්න නැවතත් කිවයුතු නොවේ. යුරෝපීයයා කොළ අතු ඇඳගෙන සිටියදී පිරිසිදු නූලෙන් වියන ලද වස්ත්‍ර ඇන්දේ ලක් වැසියාය. නමුත් අද තත්ත්වය කුමක්ද ? අතීත වැසියා කුමාරතුංග මුනිදාසයන් කියා සිටි අඩි පාරේ ගිය නිසාවෙන් මේ රට ලෝකය තුළ සිය ස්ථානය වෙන්කොට ගත්තේ ඉහළම අර්ථයෙනි. ඒ අලුත් අලුත් දෑ නිපදවාය. අද අපට අලුත් දෑ නොව තිබුණාවූ පැරණි දෙයත් නැත. ඒ වෙනුවට ඇත්තේ ආරක්‍ෂක හමුදාවන්ගේ රාජකාරී පවරා ගත්තාවූ සංඝ සමාජයකි. ඇත්ත බුදුදහම දන්නාවූ භික්‍ෂූන් වහන්සේ සැඟවී ඉන්නේ වත්මන් තත්ත්වයන්ට මුහුණදී ගත නොහැකිවය. ඒ සියල්ලන් අතීත ශ්‍රී විභූතියකින් නිස්සාරණය කොටදී ඇති මහා මධ්‍යසාරයකනි් මත්වී සිටිනා නිසාය. මේ මත් උවදුර හරහා මේ රට ලෝකයේ ඕනෑම පන්නයේ තක්කඩියෙකුට නවාතැන් ගතහැකි ගුබ්බෑයමක් බවට පත්වී අවසන්ය. එබැවින් සියල්ලන් වහ වහා අවබෝධ කොට ගත යුත්තේ තමන් අතීත ශ්‍රී විභූතියක මධ්‍යසාර පානයෙන් මත්ව සිටියදී සිදුවී තිබෙනුයේ මොනවාද යන්න ගැනය. ඒ සඳහා ප්‍රථමයෙන් කොට ගත යුත්තේ අතීත ශ්‍රී විභූතියේ අරක්කු බෙදනා පක්‍ෂ දේශපාලනයේ තැබෑරුම් වෙතින් වහාම ඉවත් වී යළි නිවැරදි සිහියට පැමිණීම වේ.    
 
ජයවික්‍රම සූරියබණ්ඩාර