ඉන්කාවරුන්ගේ විශ්මිත නිර්මාණය මැචු පිචු!

ඉන්කාවරුන්ගේ විශ්මිත නිර්මාණය මැචු පිචු!

1 July 2019 07:45 pm

දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ පිහිටි මෙම අයිතිහාසික ස්ථානය ක‍්‍රිස්තු වර්ෂ 1440 දී පමණ ඉන්කා ශිෂ්ඨාචාරය තුල ගොඩනැගු ඉපැරණි බල කොටුවකි. මෙම ප්‍රදේශයේ මිනිසුන් 500 ක් පමණ වාසය කල බවට ගවේෂණ තුලදී සොයාගත් කරුණු වලින් හෙළි වී ඇත. දකුණු ඇමරිකාවේ ඇන්ඞීස් කඳු මුදුනෙහි මෙම විශ්මිත මිනිස් නිර්මාණය පිහිටා ඇත.

මෙය ආගමික නගරයක් ද, සතුරු ආක‍්‍රමණවල දී පලා ගොස් සැඟවිමට සුදුසු ලෙස කඳු මුදුනේ සෑදු නගරයක් ද යන්න නිශ්චිත නිගමනයකට මේ තාක් කිසිවෙකු එළඹි නැත. පසු කලෙක ඉන්කාවරු මැචු පිචු බලකොටුව හැරදමා යන්නට ඇත්තේ ස්පාඤඤ ජාතික හමුදා විසින් බෝ කරන ලද වසුරිය රෝගයෙන් බේරම සඳහා බව ද සැලකේ.

ඉන්කා ශිෂ්ඨාචාරයේ විශිෂ්ඨත්වය විදහා පාන මෙම නිර්මාණය පසුකලෙක ලොවට නිරාවරණය වුයේ අහඹු ලෙසය. 1911 දී මෙම කඳුකර ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නෙන් පසුව ගන වනාන්තරයක් ලෙස දිස්වූ මෙම ප්‍රදේශය එලි පෙහෙළි විය. ඉන් පසුව ඇමෙරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයෙකු වූ Hiram Bingham මහතා මෙම ස්ථානයට පැමිණ පර්යේෂණ ආරම්භ කර ඇත. එම පර්යේෂණයන් ගේ ප්‍රතිපලයක් වශයෙන් ඔහු විසින් රචිත ”The Lost City of the Incas” ලොව පුරා බොහෝ දෙනෙකු කියැවූ වටිනා ග්‍රන්ථයකි.

පර්යේෂණ කටයුතු සඳහා පැමිණි Hiram Bingham විසින් මෙම ස්ථානයේ කැනීම් වලදී සොයාගත් 4000 කට වඩා ඉපැරණි කෞතුක වස්තු ඇමෙරිකාව වෙත ප්‍රවාහනය කල අතර, පසු කලෙක පේරු පරිපාලනය හා ඇමෙරිකාව අතර සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික සාකච්චාවල ප්‍රතිපලයක් ලෙස සියලුම දේ නැවත පේරු රාජ්‍යට ලබා දීමට සිදුවිය. වර්තමානය වන විට එම කෞතුක වස්තුන් මැචු පිචු පිහිටි ආසන්නම නගරය වන Cusco හි ඉදිකළ කෞතුකාගාරයක් තුල තැන්පත් කතර ඇත.

සම්පුර්ණ කළු ගලින් ඉදිකළ මෙම ස්ථානය පිළිබඳව වර්තමානය දක්වා ඇති ප්‍රේහෙලිකාව වන්නේ මීටස් සිය ගණනක් උස පිහිටි සානුවට එතරම් විශාල බරකින් යුත් කළු ගල් කුට්ටි ගෙන යාමත්, ඉතාමත් සූක්ෂම ලෙස ඉරා ඔප දමන ලද කළු ගල් මිනිස් දෑතින් කෙසේ නිර්මාණය කලාද යන්නය. මෙම ස්ථානයේ සොහොන් බිම් , හිරු දෙවියන් පුදන දෙවොල් රාශියක්ම පිහිටා ඇත. මැචු පිචු යුනෙස්කෝ ලෝක උරුමයන් අතර අග්‍රස්තානයේ පිහිටි සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.

(උපුටා ගැනීමකි)