එය පැහැර ගැනීමට එල්ලුම් ගස් යැවූ ඉරානයේ සමරිසි වරද නම් විය!

එය පැහැර ගැනීමට එල්ලුම් ගස් යැවූ ඉරානයේ සමරිසි වරද නම් විය!

27 June 2019 12:00 pm

වරදක් කළේ නම් දඬුවම් විඳිය යුතුය. එහි කිසිදු සැකයක් නැත. එහෙත් වරදට දඬුවම් පමුණුවන නීතිය "වරද" අර්තකථනය කරන්නේ සොබාදහමට අභියෝග කරමින් නම්, එවන් නීති පද්ධතියක පදනම ප්‍රශ්ණාර්තයට ලක්කළ යුතුය.

එය පැහැර ගැනීමකට එල්ලුම් ගස් යැවූ සමරිසි වරද නම් විය. මෙම පුවත අසන්නට ලැබෙන්නේ ඉරානයෙනි.

පසුගිය දිනක ඉස්ලාම් ජනරජයක් පිහිටි ඉරානයේ වයස අවුරුදු 31 ක තරුණයකු ෂරියා නීතියට ප්‍රකාරව පොදු ස්ථානයක එල්ලා මරා දමන ලදී. ඔහු කළ වරද නම් සමරිසි හැසිරීමේ නිරත වීමය.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැණුනේ ඉරානයේ නිරිතදිග පිහිටි කසෙරූන් නම් නගරයේදී තරුණයින් දෙදෙනෙකු පැහැර ගැනීමේ වරදට ය. පහලොස් හැවිරිදි එම තරුණයින් දෙදෙනා හා මෙම සැකකරු අතර සිදුවූයේ කුමන අන්දමක සබඳතාවක් දැයි සඳහන් නොවූවත්, අවසානයේ මෙම පුද්ගලයා ෂරියා නීතියට ප්‍රකාරව එල්ලුම් ගස් යන්නේ එම නීතියේ “ලවත්-එ බි ඔන්ෆ්”, නොහොත් පිරිමින් දෙදෙනෙකු අතර සිදුවූ ලිංගික හැසිරීමක් යන චෝදනාව පිටය.

ෂරියා නීතියට අනුව, පිරිමින් දෙදෙනෙකු අතර ලිංගික හැසිරීමක් සිදුවීම මරණීය දණ්ඩනය ලැබෙන සාපරාධී වරදකි.

ඉරානය මුල පටන්ම මාධ්‍ය වෙත මෙම සිදුවීම වසන් කිරීමට තැත් කළේය. බාලවයස්කරුවන් දෙදෙනෙකු ලිංගික අපචාරයට ලක්කළේ නම්, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ නීතිය ක්‍රියාත්මක විය යුතු අන්දම පිළිබඳ අමුතුවෙන් පැවසිය යුතු නැත.

එහෙත්... අප කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නීතියක් ගැන නොවන වග අමතක නොකළ යුතුය.

බාලවයස්කරුවන් දෙදෙනෙකු පැහැරගැනීමේ වරදට මෙම තරුණයාට එරෙහිව චෝදනා ගොනු කෙරෙන්නේ සමරිසි ප්‍රජාව මර්දනය කිරීමට යොදාගන්නා කුරිරු ෂරියා නීතිය අතට ගනිමිනි. මොහු මෙම තරුණයන් දෙදෙනා සැබවින්ම අතවරයට ලක්කරේද යන්න කිසිදු තැනක සඳහන් වන්නේ නැත. මෙමගින් අද දින මරණයට පත්වන්නේ ළමා අපචාරකරුවකු විය හැක. එහෙත් හෙට දින මෙම මරණ වරෙන්තුව අතැති වන්නේ අහිංසක සමරිසි පුද්ගලයකු තුළ විය නොහැකි ද?

එකඟතාව හා අවබෝධය මත වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදුවන ලිංගික ක්‍රියා මරණ දණ්ඩනය විඳීමට තරම් බරපතල වරදක් ද? කෙසේ වෙතත්, ෂරියා නීතියට අනුව එය එසේය. මීට මාස කිහිපයකට පෙර බෘෘනායි රාජ්‍යයද මෙවැනිම ම්ලේච්ඡ තීන්දුවක් ගැනීමට සැරසුණි. එහෙත් ජාත්‍යන්තරයේ ප්‍රභල විරෝධය ඉදිරියේ එය හකුලා ගැණින.

නිව් ඉරාන් (New Iran) නම් ඇමරිකාවේ වොෂිංටන් නගරයේ පිහිටි සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී අලිරේසා නේදර් පවසන අන්දමට, ඉරානයේ සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී (LGBT) ප්‍රජාව වසර 40 කට අධික කාලයක් මුළුල්ලේ බියෙන් හා සැකයෙන් ජීවත් වන්නන් ය.

“මීලඟට ඉරානයේ විදේශ අමාත්‍ය සරිෆ් වොෂිංටනය අමතන මොහොතේදී සමරිසියන් මර්දනය කරන අංක එකේ රට බවට ඉරානය පත්වූයේ කෙසේද යන පැණය ඔහුගෙන් ඇසිය යුතුමයි,” නේදර් පවසා සිටියේය.   

ඉරානය හුදෙක් අනුමාන කිරීම මත සමරිසි පුද්ගලයන් මර්දනය කළ පළමු අවස්ථාව මෙය නොවේ. සමරිසි, හෝ සමරිසි යැයි අනුමාන කිරීම මත ෂරියා නීතිය යොදාගනිමින් පුද්ගලයන් ඝාතනය කිරීම පිළිබඳ ඉරානය ඉතිහාසයක් දරයි.

විකිලීක්ස් වෙබ් අඩවියේ 2008 දත්ත අනුව, ඉරානය තුළ 1979 වර්ෂයේ හටගත් ඉස්ලාමීය විප්ලවයේ පටන් මේ වන තුරු ෂරියා නීතිය භාවිතා කරමින් සමරිසි පුරුෂයින් හා කාන්තාවන් 4000 – 6000 අතර ප්‍රමාණයක් ඝාතනයට ලක්කර ඇත.

බොචම් හි ර්හූර් විශ්ව විද්‍යාලයේ සෙන්ටර් ෆෝර් ස්ටඩීස් ඉන් රිලිජස් සයන්සස් (Center for Studies in Religious Sciences: CERES) නම් ආයතනයේ දේශකයකු වශයෙන් කටයුතු කරන ජර්මන් ජාතික වොල්කර් බෙක් පවසා සිටියේ, ඉරානය යනු ඊශ්‍රාලයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන ප්‍රභලතම රාජ්‍යය බවත්, ෂරියා නීතිය මත සමරිසියන්, හෝ සමරිසියන් යැයි අනුමාන කරන පුද්ගල සංහාරයන් සිදුකිරීම පිළිබඳ කුසලාන ලැබූ රාජ්‍යයක් බවත් ය.

“එරට රජය මානව හිමිකම් පිළිබඳ මීට වැඩිය ප්‍රභල අවදානයක් යොමුකළ යුතුයි,” බෙක් පවසා සිටියේය.

වොල්කර් බෙක් යනු ජර්මනිය තුළ සමරිසි අයිතිවාසිකම් හා විවාහ සමානාත්මතාවය ඇතිකරලීමට පෙරමුණ ගෙන ක්‍රියාකළ පුද්ගලයෙකි. 

ඉරානය 2016 වර්ෂයේදී ද මේ අයුරින්ම සමරිසි තරුණයකු එල්ලා මරන ලදී. හස්සාන් අෆ්ෂාර් නම් 19 හැවිරිදි එම තරුණයා 2016 ජූලි මස 18 වන දින ඉරානයේ මාර්කසි පළාතේ අරක් නම් බන්ධනාගාරයේදී පිරිමියකු සමඟ ගුද ලිංගික සංසර්ගයේ හැසිරුණේ යන චෝදනාව මත එල්ලා මරන ලදී.

මේ අයුරින්ම ඉරානය 2011 වර්ෂයේදී ද තරුණයින් තිදෙනෙකු සමරිසි යන චෝදනා මත එල්ලා මරන ලදී.

හර්ෂ්ෆ්ලෙඩ්-එඩි-ස්ටිෆ්ටන්ග් පදනමේ (Hirschfeld-Eddy-Stiftung Foundation) මාධ්‍ය ප්‍රකාශකයකු වන ඇක්සෙල් එම්. හොෂ්රෙයින් ඉරානයේ LGBTI ප්‍රජා අයිතිවාසිකම් පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි:

"ඉරානය යනු, රටක LGBTI ප්‍රජාවට අමානුෂික අන්දමින් සලකන අතරතුර, ඒ පිළිබඳ උදම් අනන රාජ්‍යයකි. ලොව තුළ හුදකලාව පවතින රාජ්‍යයක් බැවින්, අමානුෂික මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ඉරාන පාලන තන්ත්‍රයට බලපෑම් කිරීමට ඇති හැකියාව ඉතා සීමිතය. එබැවින්, එරට උද්ගතව පවතින මෙම තත්ත්වය හමුවේ, අප සංවිධානය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින්නේ එරට LGBTI ප්‍රජාවට සරණාගත පදනම (asylum) මත ආරක්ෂිතව තම රටවලට ගෙන්වා ගැනීමට පහසුකම් සලසා දෙන ලෙසයි."

සමරිසිභාවය "ඔප්පු" කළ හැකිද? කෙසේද පුද්ගලයකුගේ ලිංගික දිශානතිය ඔප්පු කරන්නේ? එසේ නම් එය නලලේ කොටා තිබිය යුතුය. නැත්නම් මොළය විච්ඡේදනය කොට සොයාගත යුතුය. ඔප්පු කළ හැකි වූවත් ඔප්පු කරන්නේ මන්ද? සමරිසිභාවය යනු මිනිසුන් අතර ඇතිවන අභ්‍යන්තර හැඟීමකි. එයට නීති පමුණුවන්නේ කෙසේද?

බුද්ධියට තට්ටු කර, අප වටහා ගත යුතු වන්නේ සමරිසිභාවය හා ළමා අපචාර අතර සබඳතාවක් නොමැති බවය. පුද්ගලයකුගේ ලිංගික දිශානතිය විවිධාකාර විය හැකිය. එය ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඩයග්නොස්ටික් ඇන්ඩ් ස්ටැටිස්ටිකල් මැනුවල් ඔෆ් මෙන්ටල් ඩිසෝඩර්ස්
(Diagnostic and Statistical Manual of Mental Disorders: DSM), ඇතුළු සෞඛ්‍යය, මානව හිමිකම් හා මනෝවිද්‍යාව පිළිබඳ ජාතත්‍යන්තර සැකැස්ම ගණනාවක් ඉදිරියේ තහවුරු වූ කරුණකි. යතාර්ථය විකෘති කළ ආගමික බලපෑම් මත සම්පාදනය වූ නීති පද්ධතියක් තුළ පුද්ගලයකුගේ සමරිසිභාවය ඉදිරියේ හිමිවන්නේ මරණ දණ්ඩනය නම්, ප්‍රගතිශීලී හා ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීමට වෙරදරන අප එය ප්‍රශ්ණ කළ යුතුව ඇත.

MIAP

outboundtoday.com