මැරෙන්න බැරි කමට ජීවත් වන ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයෝ ( Video)

මැරෙන්න බැරි කමට ජීවත් වන ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයෝ ( Video)

17 June 2019 04:08 pm

‘‘අපිව ගෙවල්වලට ඇවිත් ණය දුන්නෙ හොඳයි හොඳයි කියලා.. අවසානයෙදි ගෙවා ගන්න බැරි වෙනකොට තමයි අපිට තේරුණේ...‘‘

ඔව්.. ඇය වැරදි යැයි ඔබ කියනු ඇත. එසේ කීම පහසු ය. සරල ය. මෙහිදී ඔබේ තර්කය ද සරල ය. 

‘‘ණය ගෙවන්න බැරි නම් මොන එකකටද ගත්තෙ...?“

නමුත් ඇය ණය වුණේ මන්දැයි මදක් අසා බලන්න. ගෙවාගත නොහැකි අයට ණය ලබාදී ඔවුන් ණය උගුලක සිරකිරීම නිවැරදි දැයි ඔබ ඔබෙන්ම අසා සිටින්න. ක්ෂුද්‍ර මූල්‍ය නොව වෙන යම් ඕනෑම ණයක් ලබාදීමට පෙර ගෙවීමේ හැකියාව නිසි පරිදි තක්සේරු කළ යුතුය. ණය ලබාදිය යුත්තේ ඉන්පසුව ය. මේ අතරින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන්නේ ‘දුප්පත්කම‘ යන නිර්ණායකය ප්‍රමුඛ කරගෙන වන හෙයින් එබඳු ණයවල අවදානම අධික ය. අධික පොළියක් අය කරන්නේ ඒ අවදානමට සරිලන්නට ය. 

මේ ණය උගුලේ සිරවී ඇති දහස් සංඛ්‍යාත කාන්තාවන් මෙන්ම, ක්ෂුද්‍ර මූල්‍ය උවදුර හේතුවෙන් දැනට සිය දිවි නසාගෙන සිටින 171 ක් වන වින්දිතයන් අතරින් අති බහුතරය සේම අපේ පළමු කථා නායිකාව ද කාන්තාවකි. තවද මවකි. ඇය සමාගම් හයකින් හතකින් ණය ලබාගෙන ඇති නමුත් ඒ බොහෝ විට රුපියල් 50,000 කට අඩු ණය ප්‍රමාණයන් ය. 

‘‘වැඩිම අරගෙන තියෙන්නෙ එක්ලක්ෂ හැටපන්දාහක්.. අනික් හැම එකක්ම පණස් දාහට අඩුයි. ඒවත් ගෙවල ගෙවල සමහර ඒවගෙ දහතුන් දාහක් විතර ගෙවන්න තියෙන්නෙ“ ඇය පවසන්නේ ලැජ්ජාව සහ අසරණ කම කඳුළුවලින් පිටාර යවමිනි. 

මහත්තුරු තුන් හතර දෙනෙක්!

‘‘මට ඉස්කෝලෙ යන දරුවො තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් උසස් පෙළ. අනික් දරුවා සාමාන්‍ය පෙළ. පොඩිම එක්කෙනාගෙ වයස අවුරුදු 8 යි. මම වැඩකට (කුලියකට) යනවා. පොඩි එක්කෙනා ඉස්කෝලෙ ගිහිල්ලා ඇවිල්ලා තනියම බයෙන් ගෙදර ඉන්නෙ... ණය එකතු කරන මහත්තුරු ඇවිත් අපිට කරදර කරනවා. යන්නෙ නෑ රෑ 8.30 - 9 වෙනකල්. මොනව හරි තියල හරි වාරිකය දාපල්ලා කියනවා. MI (මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්) එකෙන් සමහර දවසට මහත්තුරු තුන් හතර දෙනෙක් අපේ ගෙදරට එනවා. තව සමාගමකින් ලියුමක් එවල තියෙනවා දේපළ, බඩු මුට්ටු ප්‍රසිද්ධියෙ වෙන්දේසි කරනව කියලා.“

උසාවි නියෝගයකින් තොරව එසේ දේපළ වෙන්දේසි කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට බලයක් නැති බවට මේ ගැමි ගැහැණුන්ට දැනුමක් නැත. තමන්ගේ ණය කර්මාන්තයේ ඉලක්කගත ප්‍රජාව සාක්ෂරතාවයෙන් අඩු බව දන්නා නිසාම මේ ණය සමාගම් ‘‘කෙසේ හෝ ණය ගෙවපල්ලා - නැතිනම් පාරට බස්සනවා‘‘ යන භීතිය ඇති කරන අයුරු නින්දිත ය. 

මුලින් ගෙව්ව නිසා වැඩිපුර ණය දුන්නා - අමාරුවෙ වැටුණාම සහනයක් නෑ

අපට හමුවූ දෙවැනි කාන්තාව මුලින්ම ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැනීම ආරම්භ කරන්නේ මෙයට වසර 6-7කට පෙර ය. මුල් කාලීනව කෙසේ හෝ ණය වාරික කලට වේලාවට ගෙවා ගැනීමට සමත් වී ඇති ඇය, ඉන්පසුව මුහුණ දුන් තත්වය මෙසේ විස්තර කරයි.

‘‘අපිට කන්න හතරක්ම කුඹුරු මැරුණා. වගා හානි වුණා. අන්තිමට අපි ආයතන හයකින් විතර ණය අරගෙන. වී බුසල් 6 ක් බදු දීල තමයි දැන් එදා වේල ජීවත් වෙන්නෙ..‘‘

මෙම කාන්තාව LOLC සමාගමෙන් ලක්ෂ 6 ක මුදලක් ලබාගෙන තිබේ. ඒ සා විශාල මුදලක් ණය වූයේ මන්දැයි අප ඇසූ විට ඇය පැවසුවේ, ‘‘මගේ ගේ කඩාගෙන වැටුණා. මුලින් මම ලක්ෂ 3 ක ණයක් අරගෙන ඒක ගෙවල ඉවර කරල තිබුණා. ඊට පස්සෙ තමයි ලක්ෂ 6 ක ණය මුදලක් මට පාස් කළේ..‘‘

‘‘මේ කන්නෙ කුඹුරු කරා කියලත් වැඩක් නෑ,. වී පොරොන්දුව දුන්නට පස්සෙ අපිට ඉතුරු වෙන දෙයක් නෑ..“

‘ගමට ආව ණය දෙන සමාගම් අපට ණය ගෙවන්න පුළුවන්ද බැරිද කියල බැලුවෙ නෑ. එයාල බැලුවෙ කොහොම හරි මධ්‍යස්ථාන හදාගෙන වැඩි පිරිසකට ණය දෙන්න..“ ඔවුහු කියති. මේ මොහොතේ මෙවැනි කාන්තාවෝ ලක්ෂ ගණනක් මේ රටෙහි ජීවත් වෙති. 

ණය උගුලේ සිරවුණු වින්දිතයන්ට සමාජය විසින් එල්ල කරන පොදු චෝදනාවක් වන්නේ ‘‘නොගෙව ඉන්න බලාගෙනම ණය වෙනවා... ණයට අරන් වියදම් කරගෙන පස්සෙ දුක කියන්න එනවා‘‘ යන්නයි. නමුත් ඔවුන්ගේ කථාන්දරවලට විමසිල්ලෙන් යුතුව ඇහුම්කන් දෙන විට පෙනී යන්නේ එය ක්‍රෝධය පෙරටු කරගත් හුදු චෝදනාවක් පමණක් වන බවයි. මේ සිත්පිත් නැති සමාජමය ආකල්පය, ණය වීම යනු අතිශය පුද්ගලික ගැටළුවකි යන සමාජ සම්මතයත් සමග ඇති වන්නකි. ‘‘උඹල ණය වුණානම් උඹල කරගනිල්ලා‘‘ වැනි නිර්දය බවක් ඒ තුළ තිබේ. නමුත් අවසානයේ මේ ඛේදවාචකය හේතුවෙන් ඔවුන් සිය දිවි නසාගන්නා තත්වයට පත්වීම මනුෂ්‍ය සමාජයක් වශයෙන් අපට අනුමත කළ හැකි ද?

ඇවිදින මළ මිනී වැනි මේ ජීවිත ගැන ආණ්ඩුවට වගකීමක් නැතිද? අප ජීවත් වන්නේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තයේ මාෆියාවට නොදෙවෙනි සමෘද්ධි මාෆියාව තුළ රුපියල් ලක්ෂ 70 ක ටී ෂර්ට් සමෘද්ධි උත්සවය සඳහා ප්‍රින්ට් කළ රටක ය. ඒ ටී ෂර්ට් ප්‍රින්ට් කර තිබෙන්නේ ඇඟළුම් කම්හල් මෙන්ම ප්‍රකට ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් ද හිමි ප්‍රබල ඇමතිවරයෙකු විසින් සිය ඇඟලුම් කම්හල්වලදීම බව ද පැවසේ. 

‘‘අපේ ගමේ කාන්තාවො ගොඩක් අසරණ වෙලා තියෙනව මේ විදිහට මේ සමාගම්වලින් ණය අරගෙන.. අපිව මේ උගුලෙන් බේර ගන්න“ එම කාන්තාවෝ කඳුළු පිරි දෑසින් ආයාචනය කරති. 

නමුත් ඒවා ඇසෙන්නේ කාටද?

ආණ්ඩුව කෝ?

පොළොන්නරුවේදී අපට හමුවූ මේ කාන්තාවන්ගෙන් බහුතරයක් මුදල් අමාත්‍යාංශය විසින් දියත් කළ රුපියල් ලක්ෂයක ණය සහනය කපා හැරීමේ වැඩපිළිවෙළට අයත් වූවෝ නොවෙති. තමන්ට එම සහනය නොලැබුණේ මන්ද කියා හෝ ඔවුහු නොදනිති. මානව ඛේදවාචකයක් දක්වා වර්ධනය වී තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය උවදුර පිළිබඳ මේ අතර, අප්‍රේල් 5 වැනිදා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට අරුම පුදුම ප්‍රකාශයක් සිදු කරයි. මුදල් අමාත්‍යාංශය විසින්ම නිකුත් කර ඇති එම ප්‍රකාශයෙහි සඳහන් වන්නේ ‘‘ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සඳහා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පතක්‘ ඉදිරි මාස 3 ක කාලය තුළ පාර්ලිමේන්තුවට හඳුන්වා දෙන බවයි. යෝජිත පනත් කෙටුම්පත ගෙන ඒම පිටුපස ඇති දේශපාලනය සහ එහි හොඳ නරක ගැන වෙනම කතා කරමු. නමුත් එය ගෙන එන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට නම් නොවන බව සහතික ය. මෙහිදී මුදල් අමාත්‍යවරයාගේ අපබ්‍රංශ කතාව 2019 මාර්තු 29 වැනිදා ස්වාධීන රූපවාහිනී සේවයේ සංවාදය වැඩසටහනේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසූ කතාව සමග ගළපා ගත යුතුය. ‘‘අපි 45,000 කගේ ණය ගෙව්වා. මේක ඉවරයි. ආයෙ ගෙවන්නෙ නෑ..“ යැයි එහිදී ඔහු ස්ථිරසාර ලෙස කියා සිටියේය. 

ආණ්ඩුව ජනතා මුදල්වලින් සමාගම්වලට ණය ගෙවා දැමිය යුතු නොවන බව නෙළුම්යාය පදනම විශ්වාස කරයි. 

ජීවිත 171 ක් බිලිගෙන තිබියදී ද මේ ප්‍රශ්නය තවමත් එතැනම ය. මේ නඩුවලදී සමාගම්වල පාර්ශවයෙන් මිස වින්දිතයන්ගේ පාර්ශවයෙන් නීති නියෝජනයක් නොමැති තරම් ය. එනිසා ඒවා විභාගවන්නේ ඒක පාර්ශවික ව ය. මේ අනුව දිවයින පුරා දිසා අධිකරණ රැසක විභාගවන ක්ෂුද්‍ර මූල්‍ය නඩුවල තීන්දු ලැබෙන විට මීළඟ සිය දිවි නසාගැනීම් රැල්ල බලාපොරොත්තුවෙන් අප කල් මැරිය යුතුද? 

- නෙළුම්යාය පදනම