නිදහසින් පසු ලංකාවේ ඇතිවූ ජාතීන් අතර ගැටුම්

නිදහසින් පසු ලංකාවේ ඇතිවූ ජාතීන් අතර ගැටුම්

12 June 2019 04:00 pm

සමාජයේ ඉතා සුළු පිරිසකට වරප්‍රසාද ලැබෙන ක්‍රමයක් බ්‍රිතාන්‍යයන්ගෙන් ලංකාවට උරුම වුනා. එම පිරිසටම නායකත්වය ලැබෙන රාජ්‍ය ව්‍යුහයක් නිදහසට පසු ලංකාවේ නිර්මාණය වෙනවා. ඉන්පසු දුප්පත්කම, සම්පත් බෙදී යාමේ අසමානතාවය සමනය කිරීමට උත්සාහ කළේ සහනාධාර ආදියෙන් මිස දීර්ඝකාලීන ආර්ථික විසඳුම් හරහා නොවීමත්, ඇති වූ සමාජ-ආර්ථික ගැටළුවල අසහනයන් වෛරයන් ලෙස සුළු ජනවර්ග වෙත යොමු කිරීමට දේශපාලනඥයන් කටයුතු කිරීමත් දීර්ඝකාලීන නරක ප්‍රතිඵලයන්ට හේතු වුනා.

1948 දී නිදහස ලබා ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා නීතියකින් කඳුකර දෙමළ ජනතාවගෙන් බහුතරයකට පුරවැසිභාවය අහිමි කිරීම සිදු වූවා. එසේම 1956 දී ගල්ඔය ඇතිවූ සිංහල-දෙමළ ගැටුම්, 1958 ලංකාව පුරා ඇති වූ සිංහල දෙමළ ගැටුම්, 1977 දෙමළ සිංහල ගැටුම්, 1981 යාපනය පුස්තකාලය ගිනි තැබීම, 1983 කලු ජූලිය, 1987 ත්‍රිකුණාමලය ආශ්‍රිත දෙමළ සිංහල ගැටුම්, 1976 දී පුත්තලමේ සිංහල මුස්ලිම් ගැටුම, 1982 දී ගාල්ලේ සිංහල මුස්ලිම් ගැටුම, 2001 දී සිංහල මුස්ලිම් ගැටුම, 2002 බේරුවල සුන්නි-වහාබි ගැටුම, 2014, 2018 සහ 2019 මුස්ලිම් විරෝධී ගැටුම් විවිධ ජාතිවාදී කලකෝලහල කලින් කලට ඇති වූවා. මේවා ඇති වීමට සහ විශාල ගැටුම් බවට වර්ධනය වීමට ලංකාවේ දේශපාලනය ජනවාර්ගික ඡන්ද පදනම් මත සකස් වීම බොහෝ විට හේතු වූවා.

1956 දී ගල්ඔය ඇතිවූ සිංහල-දෙමළ ගැටුම්

1956 දී සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා බලයට පත්වූයේ සුවිසල් ජයග්‍රහණයක් ලබා ගනිමිනි. ඔහුගේ එක් ඡන්ද පොරොන්දුවක් වූයේ එවකට රාජ්‍ය භාෂාව වූ ඉංග්‍රීසි වෙනුවට, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමටයි. ‍ඒ අනුව සිංහල රාජ්‍ය භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 1956 ජූනි 04 වැනිදා රාජ්‍ය භාෂා පනතේ විවාදය ඇරඹිණ. එහිදී විරුද්ධව අදහස් දැක්වූ කොල්වින් ආර් ද සිල්වා මහතා තනි භාෂා ප්‍රතිපත්තියක් හරහා රට දෙකඩ වීමේ අවදානමක් ඇති බව පවසන විට ලංකා දෙමළ සංධානය (ඉලංගෙයි තමිළ් අරසු කච්චි) නොහොත් ෆෙඩරල් පක්ෂ නායක එස්.ජේ.වී චෙල්වනායගම් මහතා, දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට පත් නොකරන්නැයි අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටියා. ජුනි 05 වැනිදා මේ පිළිබඳ සිය විරෝධය පල කරමින් චෙල්වනායගම් ප්‍රමුඛ 200ක පමණ පිරිසක් ගාලු මුවදොර දී සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්වූවා. එවක රජයේ කණිෂ්ඨ ඇමැතිවරයකු ප්‍රමුඛ චණ්ඩි පිරිසක් විසින් මේ සත්‍යග්‍රහයට පහර දී එය කඩා කප්පල් කළාට පසුව, කොළඹ නගරය පුරා සුළුතර ජනවාර්ගික ජාතියකට අයත් අයගේ කඩ කොල්ල කෑමක් දියත් වුනා. 1956 ජුනි 11 වැනි ගල්ඔය ව්‍යාපාරය යටතේ අලුතෙන් පදිංචි කරන ලද පදිංචිකරුවෝ පිරිසක්, පළාතේ චණ්ඩින් සමග එකතු වී එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට පහර දුන් අතර, මෙයින් සුළුතර ජනවාර්ගිකත්වයකට අයිති වන ශ්‍රී ලාංකිකයෝ 150ක පිරිසක් මරා දමා, විශාල ප්‍රමාණයක දේපල කොල්ලකෑම සහ ගිනි තැබීමක් සිදු වුනා. පසුව පොලීසිය විසින් තත්වය පාලනය කළා. මෙය නිදහස් ලංකාවේ වාර්තා වන, ප්‍රථම ජාතිවාදී කැරල්ල යි.

1958 ලංකාව පුරා ඇති වූ සිංහල දෙමළ ගැටුම්

සිංහල ජාතික භාෂාව කිරීමේ කටයුතු නිසා ඇවිල ගිය ජාතිවාදී ගැටළු නිවැරැදි කිරීමට කල්පනා කළ අගමැති බණ්ඩාරනායක මහතා 1957 ජූලි 26 වැනිදා එස්.ජේ.වී. චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කර දෙමළ භාෂාවටත් දෙමළ ජනයා වැඩිපුර සිටින ප්‍රදේශවල සාධාරණ භාවිතාවකට ඉඩ දීමටත්, දෙමළ භාෂාවත් නිල භාෂාවක් ලෙස පිළි ගැනීමටත් කටයුතු කළා. නමුත් මේ ගිවිසුම සම්බන්ධයෙන් අනෙකුත් දෙමළ පක්ෂ සහ වමේ පක්ෂ එකඟ වූයේ නැහැ. ඔවුන් කීවේ භාෂා දෙකටම සම තැන ලැබිය යුතු බවයි.

මේ අතර එජාපය විසින් 1957 සැප්තැම්බර් මාසයේ දී මේ ගිවිසුමට විරුද්ධත්වය පලකරමින් කොළඹ සිට නුවරට පාගමනක් යමින් දළදා මාළිගාව වෙතින් තම සටනට ආශිර්වාද ලබා ගන්නා බව ප්‍රකාශ කළා. මේ පාගමන රජයෙන් තහනම් කළා. කොළඹ ග්‍රෑන්ඩ්පාස්හිදී, කැළණියේ දී සහ ගම්පහ දී මේ පාගමනට ශ්‍රීලනිප පාක්ෂිකයන් විසින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. පාගමන සිදු නොකළ හැකි තත්වයක් දිගින් දිගටම තිබුනෙන් ඔවුන් වාහනවලින් නුවර වෙත ගොස් එහිදී දළදා මාළිගාව ඉදිරිපිට තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කළා.

මේ අතර කොළඹ දී නාමපුවරුවල දෙමළ භාෂාව සඳහන් පාඨ විනාශ කිරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා.ඒ අතර යාපනයේ සිංහල ‘ශ්‍රී’ අකුර සඳහන් බස් නාම පුවරුවල තාර ගෑමට දෙමළ ජනතාව කටයුතු කළා. ඒ අතර මඩකලපුවේ දී දුම්රියකට ප්‍රහාර එල්ල වුනා. පොලොන්නරුවේ දී ගොවිපළවල සේවය කළ දෙමළ කම්කරුවන්ට ප්‍රහාර වුනා. රටපුරා විවිධ ස්ථානවලදී දෙමළ සිංහල ගැටුම් ඇති වූවා. මෙයින් ජීවිත සිය ගණනක් විනාශ වූවා. දේපල දහස් ගණන් විනාශ වූවා.

1976 දී පුත්තලමේ සිංහල මුස්ලිම් ගැටුම

බස් නැවතුමක නාට්ටාමි කම්කරුවන් සහ සහල් ගෙන යමින් සිටි කාන්තාවන් අතර ඇතිවූ සුළු ආරවුලක් පසුව, ජාතිවාදී කලකෝලහලයක් බවට පත්ව, මුස්ලිම් පල්ලියක සිටි පිරිසකට පොලීසිය විසින් වෙඩි තබනු ලැබ 8 දෙනෙක් මිය ගියා. ඊට අමතරව තවත් 5 දෙනෙක් පහර දීම්වලින් මිය ගියා. ගෙවල් 279ක් සහ ව්‍යාපාරික ස්ථාන 44ක් ගිනි තබනු ලැබුවා.

1977 ඡන්දයෙන් පසු කළ ජාතිවාදී පහර දීම්

1977 ඡන්දයෙන් පසු විරුද්ධ දේශපාලන පාක්ෂිකයන්ට පහර දෙනු ලැබුවා. ඒ අතරම දෙමළ ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාර ගණනාවක් ද දියත් වුනා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 75,000ක් පමණ දෙමළ ජනතාවක් අභ්‍යන්තර අවතැන් වීමට ලක් වූ අතර, එයින් බහුතරය වූයේ කඳුකර දෙමළ ජනතාවයි. අවසානයේ ඔවුන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචියට ගියා. මෙයින් උතුරු නැගෙනහිර සන්නද්ධ සටන් මෙහෙය වූ දෙමළ සංවිධාන සහ වෙනම රාජ්‍යයක් ඉල්ලූ දෙමළ දේශපාලනඥයන්ගේ ප්‍රකාශ තවදුරටත් සාධාරණීකරණය කරනු ලැබුවා.

1981 යාපනය පුස්තකාලය ගිනි තැබීම

දුර්ලභ, වටිනා අත්පිටපත් සහ පුස්කොළපත් ඇතුළුව පොත් 97000කට අධික ගණනක් තිබූ යාපනය පුස්තකාලය එකල සැලකුනේ ආසියාවේ තිබූ ප්‍රධානතම පුස්තකාලයක් ලෙසයි. 1981 මැයි 31 වැනිදා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) පැවැත් වූ දේශපාලන රැළියක දී පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වෙඩි වැදී, දෙදෙනෙකු මිය යාමෙන් අනතුරුව ඇති වූ ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මේ පුස්තකාලයට ගිනි තැබීම සිදු විය. මෙය සිදුකරන ලද්දේ පොලිසියේ සහය ලද පැරා-මිලිටරි කණ්ඩායමක් බවට ද කියැවේ.

1982 දී ගාල්ලේ සිංහල මුස්ලිම් ගැටුම 

මෙහිදී මුස්ලිම් ගෙවල් හිමියකු සහ කුලියට සිටි සිංහල ව්‍යාපාරිකයකු අතර ඇති වූ ආරවුලක් ජාතිවාදී ආරවුලක් දක්වා දුර දිග ගියා. මේ සිද්ධියෙන් අඩුම ගණනින් ගෙවල් 90කට පමණ, ව්‍යාපාරික ස්ථාන 35කට පමණ අලාභහානි පැමිණි අතර ඉන් බොහෝ ඒවායේ දේපල කොල්ල කා ගිනි තබන ලදී. ඊට අමතරව පුද්ගලයන් 11 දෙනෙකුට පමණ බරපතල පහරදීම් තුවාල සිදු වූ අතර, 17 හැවිරිදි මුස්ලිම් තරුණයකුගේ ගෙල කපා ඝාතනය කළා. ගාලු නගරය ආශ්‍රිතව ප්‍රදේශ ගණනාවක ප්‍රචණ්ඩත්වය දින 6ක් පමණ තිස්සේ ක්‍රියාත්මක වුනා.

1983 කලු ජූලිය 

ලංකාවේ සිදු වූ දැවැන්තම ජාතිවාදී ගැටුම වන්නේ කලු ජූලියයි. 300කට වැඩි පිරිසක් (ඇතැම් වාර්තාවලට අනුව 4000ක් පමණ) මිය ගිය අතර, ගෙවල් 8000ක් ද, වෙළෙඳ ස්ථාන 5000ක් ද විනාශ වුනා. 25000කට වැඩි පිරිසකට තුවාල සිදු වුනා. එක්ලක්ෂ පනස් දහසකට අධික පිරිසකට ගෙවල් අහිමි වී අවතැන් වුනා.

1987 ත්‍රිකුණාමලය ආශ්‍රිත සිංහල විරෝධී ප්‍රහාර 

උපවාසයෙන් මිය ගිය තිලීපන්ගේ මරණයත් සමග සිංහල විරෝධී ප්‍රහාර ගණනාවක් ත්‍රිකුණාමලය ආශ්‍රිතව එල්ල වුනා. 200ක් පමණ සිවිල් වැසියන් ඝාතනය වූවා, එයින් බහුතරය සිංහල ජනයා වූ අතර, මුස්ලිම් ජනයාට ද මේ ප්‍රහාර එල්ල කෙරුනා. මීට අමතරව තවත් 20,000කට අධික පිරිසක් මේ තත්ත්වය නිසා අවතැන් වුනා.

2001 දී මාවනැල්ල සිංහල මුස්ලිම් ගැටුම 

දුම්වැටියකට ඉතුරු සල්ලි දීම ප්‍රමාද වූයේ යැයි ඇති වූ ආරවුලක් මත මුස්ලිම් කඩහිමියකුට සිංහල තරුණයන් පිරිසක් විසින් ප්‍රසිද්ධියේ පහර දීම මත ආරවුල ඇති වුනා. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මුස්ලිම් ජනතාව එකතු වූ අතර, ඊට විරුද්ධව සිංහල ජනතාව එකතු වුනා. ඇති වූ කලකෝලහලයේ ප්‍රතිඵල ලෙස එක් අයෙකුගේ මරණයත්, 14 දෙනෙකුට තුවාල (පොලිස් වෙඩි තැබීම් නිසා), මුස්ලිම් පල්ලි 4කට හානි, කඩ 148ක්, ගෙවල් 81ක්, වාහන 24ක්, ඇඟලුම් කර්මාන්ත ශාලා 2ක්, රබර් කර්මාන්ත ශාලාවක්, සහ ඉන්ධන පිරවුම්හලක් විනාශ වී තිබෙනවා.

2002 බේරුවල සුන්නි-වහාබි ගැටුම 

බේරුවල සුන්නි සහ වහාබි කණ්ඩායම් අතර ගැටුමක් ඇති වූයේ මවුලවිවරයකු සිදු කළැයි කියන ප්‍රකාශයක් පදනම් කර ගනිමිනි. තිදෙනෙකු මිය ගිය අතර, 40 දෙනෙකු පමණ තුවාල වී ඇත. එක් මුස්ලිම් පල්ලියකට ගිනි තබනු ලැබුනි.

2014, 2018 සහ 2019 මුස්ලිම් විරෝධී ගැටුම් 

2014 දී අලුත්ගම ඇති වූ ගැටුම්, 2017 නොවැම්බර් මාසයේ ගිංතොට ඇති වූ ගැටුම්, 2018 වර්ෂයේ දී අම්පාර, සහ දිගන ඇති වූ ගැටුම්, සහ 2019 වසරේ කුරුණෑගල ඇති වූ ගැටුම්වලින් විශාල ප්‍රමාණයක දේපල හානි ගණනාවක් ද, ජීවිත හානි කිහිපයක් ද සිදු වුනා.

මෑත දී ඇති වූ ගැටුම් මෙන්ම අතීතයේ ඇති වූ බොහෝ ගැටුම් දෙස බලද්දී පැහැදිලිව පෙනෙන කාරණයක් වන්නේ මේවා බොහොමයකට දේශපාලනඥයන් විවිධ අයුරින් සම්බන්ධ වී ඇති බවත්, ගැටුම් වැඩි වීමට ඔවුන්ගේ දායකත්වය හේතු වී ඇති බවයි. එසේම නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙම ගැටුම් නැවැත්වීමට දායකත්වයක් දක්වනු වෙනුවට, බොහෝ විට සිදු කර ඇත්තේ පැත්තක් ගැනීමයි. එසේම ව්‍යාපාරික ස්ථානවලට එල්ල කළ ප්‍රහාර, ගෙවල් මංකොල්ලකෑම් ආදිය මේ ප්‍රහාරවල ප්‍රධාන තැනක් ගන්නවා. ජනවර්ග අතර පැවැති සමාජ ආර්ථික සබඳතාවල ගැටළු මෙන්ම, තම ව්‍යාපාරික විරුද්ධවාදීන් මැඩ පැවැත්වීමට ජනවාර්ගික ගැටළු ප්‍රයෝජනයට ගැනීමක් ද දැක ගත හැකියි.

පටන් ගැන්මේ දී කී පරිදිම සමාජයේ ඉතා සුළු පිරිසකට වරප්‍රසාද ලැබෙන ක්‍රමයක් බ්‍රිතාන්‍යයන්ගෙන් ලංකාවට උරුම වුනා. එම පිරිසටම නායකත්වය ලැබෙන රාජ්‍ය ව්‍යුහයක් නිදහසට පසු ලංකාවේ නිර්මාණය වෙනවා.එම ක්‍රමය පවත්වා ගෙන යාමට සමාජය තුළ ජාතිවාදී බෙදීම් පවත්වා ගැනීම ඒ අයට උදව් වුනා. දුප්පත්කම, සම්පත් බෙදී යාමේ අසමානතාවය සමනය කිරීමට දීර්ඝකාලීන විසඳුම් ගෙන ඒමට පාලකයන් අපොහොසත් වීම නිසා ඇති වූ සමාජ-ආර්ථික ගැටළුවල අසහනයන් තවදුරටත් වෛරයන් ලෙස සුළු ජන වර්ග වෙත යොමු කිරීමට දේශපාලනඥයන් කටයුතු කිරීමත් මෙවැනි දීර්ඝකාලීන නරක ප්‍රතිඵලයන්ට හේතු වුනා.

දේදුනු සංවාද - Dedunu Sanwada  
(https://www.facebook.com/dedunu.sanwada/photos/a.2018225678486017/2020413664933885/?type=3&theater)