ජනපතිගේ අගවිනිසුරු, ජනපතිගේ නීතිපති, ජනපතිගේ අභියාචනාධිකරණ සභාපති - නීතියේ අර්බුදය

ජනපතිගේ අගවිනිසුරු, ජනපතිගේ නීතිපති, ජනපතිගේ අභියාචනාධිකරණ සභාපති - නීතියේ අර්බුදය

12 June 2019 10:25 am

මේ වනවිට රටේ අගවිනිසුරුවරයා වන්නේ ජයන්ත ජයසූරිය මහතාය. නීතිපති දප්පුල ලිවේරා මහතා වන අතර අභියාචනාධිකරණයෙහි සභාපතිවරයා වන්නේ යසන්ත කෝදාගොඩ මහතාය. මේ තිදෙනාම මෙම තනතුරුවලට පත් කෙරුණේ ජනාධිපතිවරයාගේ නිර්දේශ අනුවය. ඔවුන්ට අදාළ තනතුරු ලැබීමේ පසුබිම සහ ඔවුන්ගේ පූර්ව හැසිරීම් නිරීක්ෂණය කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍ය මුහුණ දී ඇති අභියෝගය පිළිබඳ යම් වැටහීමක් ලබාගත හැකිවනු ඇත. 

ජයන්ත ජයසූරිය

ජයන්ත ජයසූරිය යනු හිටපු නීතිපතිවරයාය. මෑත ඉතිහාසයෙහි තීරණාත්මකම නඩු විභාගය වූ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී එවකට නීතිපති ලෙස ජයන්ත ජයසූරිය මහතා හැසිරුණු ආකාරය මඳක් විමසිල්ලට ගත යුතුය. 

ජයන්ත ජයසූරිය මහතා නීතිපතිවරයා ලෙස අධිකරණය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල බවත් මේ සම්බන්ධයෙන් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත්ය. එහෙත් ඔහුගේ තර්කය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සත් දෙනා විසින්ම ඔවුන්ගේ නඩු තීන්දුව හරහා ඒකමතිකව ප්‍රතික්ෂේප කෙරිණි. 

ඒ අනුව එක්කෝ ජයන්ත ජයසූරිය මහතා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමට දන්නේ නැත. නැත්නම් යම් වරදාන, වරප්‍රසාද බලාපොරොත්තුවෙන් ඔහු නීතිය පාවාදී ඇත. 

අද වනවිට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ප්‍රධානියා බැවින් ඉහත කී හේතු දෙකින් කෝක වුවත් තත්වය අතිශයින් බරපතළය. 

එසේම එදා එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දුන් විනිසුරුවරුන් අතරින් දෙදෙනෙකු විශ්‍රාම ගියත් ඉතිරි පස් දෙනා තවමත් සේවයෙහි සිටිති. එක්කෝ නීතිය නොදන්නා, එසේත් නැතිනම් නීතිය පාවා දුන් ජයන්ත ජයසූරිය මහතාව පත් කර ඇත්තේ ඔවුන් සියල්ලටම ඉහළින් ඔවුන්ගේ ප්‍රධානියා ලෙසය. මෙය ඔවුන්ට කරන ලද දරුණු අපහාසයකි. 

දප්පුල ලිවේරා 

දප්පුල ලිවේරා යනු නීතිපති දෙපාර්තමේන්තුවෙහි සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයෙකි. බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි විභාග කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් දෙදෙනාගෙන් ඔහු ද එක් අයෙකි. 

එම සාක්ෂි විභාගයේදී තමන්ගේ සීමාව ඉක්මවා යමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. 

ඔහුට නීතිපති තනතුර ලැබුණේම බැඳුම්කර කොමිසම හමුවේ ජනාධිපතිවරයා වෙනුවන් කළ කාර්යභාරය හේතුවෙන් බව ක්ෂේත්‍රයේ ප්‍රකට කරුණකි. වචනයෙන්ම කිවහොත් ඔහු ජනාධිපතිගේ මිනිහෙකි. 

බැඳුම්කර කොමිසම හමුවේ සීමාව ඉක්මවා සාක්ෂිකරුවන්ට බලපෑම් කරමින් සිදුකළ රංගනය හේතුවෙන් ප්‍රතිලාභයක් ලෙස නීතිපති තනතුර ලැබූ පුද්ගලයකු ඊළඟ මොහොතකත් සීමාව ඉක්මවා කුමක් නොකරනු ඇත්දැයි සහතික දිය හැකි කාටද ? 

යසන්ත කෝදාගොඩ 

යසන්ත කෝදාගොඩ යනු දප්පුල ලිවේරා සමඟ හවුලේ බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාග කළ අනෙක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාය. ඔහුත් අභියාචනාධිකරණ සභාපති තනතුරට පත්වූයේ ඒ පින පළ දීමෙන් බව රහසක් නොවේ. 

සීමාව ඉක්මවා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව දප්පුලට මෙන්ම ඔහුට ද තිබේ. 

එසේම ජනාධිපතිවරයා කලක් තිස්සේ ව්‍යවස්ථා සභාවට චෝදනා කළේ විනිසුරුවරුන් පත් කිරීමේ අධිකරණ ධූරාවලිය තුළ ජ්‍යේෂ්ඨත්වය අනුව තමන් කළ නිර්දේශ නොසලකා හැරිය බවටයි. එහෙත් ජනාධිපතිවරයාට අවශ්‍ය වූ මොහොතේ ඔහු කළේ අභියාචනාධිකරණයෙහි ජ්‍යේෂ්ඨයින් සිටියදී පිටින් යසන්ත කෝදාගොඩව තනතුරට ගෙන ඒමය. 

නීතියේ ඉදිරි අභියෝගය 

මේවා එතරම් බරපතළ කාරණා නොවන බවත් මීට පෙරත් ඔවැනි තනතුරුවලට පාලකයින් සිය හිතවතුන් පත්කරගත් බවත් කෙනෙකුට කියන්නට පුළුවන. 

එහෙත් ජනාධිපතිවරයා මීට පෙර ව්‍යවස්ථාව කඩ කළ අවස්ථාවේ නීතියේ ගෞරව ආරක්ෂා කරමින් අධිකරණ පද්ධතිය හැසිරුණු ආකාරයෙන් ම යළි එවැන්නක් සිදු වුවහොත් අධිකරණ පද්ධතිය හැසිරේවියැයි දැන් අපට උපකල්පනය කළ හැකිද යන අතිශය බැරෑරුම් ප්‍රශ්නය අප හමුවේ තිබේ. 

අනෙක් අතට පවතින ව්‍යාකූල දේශපාලන තත්වය මත ජනාධිපතිවරයා යළි ව්‍යවස්ථාව කඩ නොකරනු ඇතැයි සහතිකයක් දිය හැකි කිසිවකු ද නැත. 

පෙර වතාවේදී නීතියට අනුව, විය යුතු ලෙසම ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බලරහිත කළේය. අභියාචනාධිකරණය ජනාධිපතිවරයා විසින් පත් කළ අග්‍රාමාත්‍යවරයාගේ සහ ඇමති මණ්ඩලයේ සේවය අත්හිටවූයේය. මෙවර ඒ ආයතන දෙකෙහිම සිටින ප්‍රධානීන්ට අනුව එවැන්නක් බලාපොරොත්තු විය හැකිද ? 

අනෙක් අතට බැඳුම්කර වංචාවට අදාළව නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් නඩු පැවරීමේදී ඔහුම ඊට පෙර එහි සාක්ෂි විභාග කර ඇති නිසා ළබැඳියාවන් අතර ගැටුමක් මතුවේ. ඒ අනුව බැඳුම්කර වංචාව සම්බන්ධ නඩුව වෙනත්ම පැත්තකට හැරෙනු ඇතිද ?

කිසිවෙක් වැඩි අවධානයක් යොමු නොකරන නමුත් හෙට දවසේ නීතිය පිළිබඳ ඇති අභියෝග මේවාය. 

- සුනිත් අරුණශාන්ත