ජන සංහාරයක් ඕනෑකර තිබේ

ජන සංහාරයක් ඕනෑකර තිබේ

11 June 2019 07:22 pm

“රට පුරා ගම් නියම් ගම් සිසාරා රුධිර ගංගා ගලායන මහා ජන සංහාරයක් නොපමාව වුවමනා වී තිබේ.....”පකට පුඟුලා කොලම ලිවීම ආරම්භ කරත් .... චතුර පුතා ගේ බෙරිහම හිරිහැරයකි.

“බාලවයස්කාර දැරියක් දුෂණය කරලා අවුරුදු පහලවකට බරපතල වැඩ සහිතව හිරේ ගිය ජඩයෙකුට ජනාධිපති සමාව දීල නිදහස් කරානේ ........ පාදඩ වැඩ!”

“කවුද? අපේ හාමුදුරුවෝ?”

“ඒ අපේ ගම්පහ හාමුදුරුවෝ හිරේ ගියේ එංගලන්තෙ නෙ බං තාත්තේ! ... මං කිව්වේ ගෝනවල සුනිල් ගැන. ඒ කාලෙ ජේ. ආර්. කොරොපු වැඩක් ගැන අපි කියන්නේ. සුනිල් කියන්නේ රනිල් ගේ ආරක්ෂක ගමන් සගයා”.

මේ අතර සිල් පවාරණය කර පන්සලේ සිට පැමිණි නැන්දම්මා, තවත් උපාසිකාවන් හත් අට දෙනෙක් සමග මිදුලේ අඹ ගස යට හරවත් ධර්ම සාකච්චාවකය.

“මං පන්සලේ ඉඳන් එනකොට අර සිරිපාලය තම්බියගේ මස් කඩේ........... මූට කිසිම ජාති ආලයක් නැති හැටි ...     ඌ කියනවා ලොකු හාමුදුරුවො හෙට දානෙට චිකන් කරි ඉල්ලුවලු. කව්ද දන්නේ ඕවට වඳ බේත් දානවද කියල. හාමුදුරුවරුන්ට වඳ බේත් කැවුනොත් සිංහල ජාතියම නැති වෙන එක වෙනවාමයි......... නොසන්ඩාලය!........ පවුල ඩුබායි වලින් එවපු සල්ලි තම්බි කඩේට නොදී කාට දෙන්නද කියල ඌ මගෙන් අහපි”.

මාරාන්තික ගස් නැගීම

මේ අතරවාරයේ අල්ලපු ගෙදර සුනිල් කොලුවා ක්‍රිකට් ප්‍රශ්නයක් පිලිබඳ ICC යට විරෝධය දැක්වීම සඳහා වත්ත පහල මුරුංගා ගහට නැඟ සිටී. “අපිට තරඟ වැදෙන්න දීල තියෙන්නේ ඔක්කොම මුස්ලිම් රටවල් එක්ක; නිව්සීලන්ඩ්ස්, බැන්ග්ලාඩේශ්, ඇෆ්ගෑනිස්ටෑන්, පෑකිස්ටෑන්....... අන්තිම අසාධාරණයි. අපිට ගහන්න පුළුවන් ටීම් දෙනකම් බහින්නේ නෑ ”. මුරුංගා අත්තේ නැගි සුනිලයාට සංගේක්කෑර ආවේශ වී ඇත.

උපාසක අම්මලාගේ කැඳවුම් කාරිය නැන්දම්මා, යළිත් හඬ අවදි කරයි, “....... අපි මාරාන්තික උපවාසෙකට යන්න කියල. අපිව පුතාලගෙ පත්තරේ දාල දෙනවද පුතේ. ...... අපි ඉල්ලන්නේ හන්දියේ මස්කඩේ මිස්කින් නානා  අයින් කරලා මස් කඩේ පරිපාලනය සිංහල බෞද්ධ කෙනෙකුට භාර දෙන්න කියල”.

“අපිව බලන්න බිස්කුන්නාන්සේ එයිනෙ නේද පුතේ?”.  

“කාදිනල් තුමා නම් මුරුංගා ගහේ මුදුන් අත්තක ඉන්නවා දැක්කා........එයි!එයි!!”.

“ආච්චියේ ....ගොවිගම උපාසක උපාසිකාවෝ සියම් නිකායෙ හැර අනෙක් නිකාය වල හාමුදුරුවන්ට වඳින එක ප්‍රතික්ෂේප කරන ඉල්ලීමකුත් දාමුද?” චරිතයා සටනට දිරි දෙයි............

නැන්දම්මා  කල්පනා කරයි.

“අනික ආච්චියෙ හතර වරිගේ ගොවිගම නොවුනොත් මල්වතු අස්ගිරි  විහාර වලින් සියම් නිකායේ උපසම්පදාව නොදෙන එකේ .....”

“ඔව් ඔව් නැතුව! නැතුව!! තම්බියෙක් දෙමළෙක් සිවුරු දාගෙන ආවත් අපි වඳින්න එපැයි. බුදුන්ගේ කාලේ වගේ නෙමෙයි දැන්....... ඒක හොඳ අදහසක් ... මේක සිංහල බෞද්ධ රට වෙච්චි....”  

“එතකොට අපි ලබන ආත්මෙත් සිංහල බෞද්ධමද?” පකට පුඟුලා පුරුද්දට මෙන් සම්මුඛ සාකච්චාවකට මුල පුරයි.

“මෝඩ ප්‍රශ්න අහන්න එපා ළමයො ... නැතුව, මිත්‍යා දෘෂ්ටිකයෝ වෙලා උපදිනවයි?

ජාතිය වඳ කරන නිර්වානය

“එහෙම වුනොත් අපේ කට්ටිය සංසාර ගමන කෙටි කරගන නිවන් දකින එකෙන් නැවත ඉපදීම හමාර වෙනවා  එතකොට නිර්වාණකියන්නේ ජාතිය නිට්ටාවට වඳ වෙන වැඩක් නෙ  .....”

“මකබෑවිය අළුගුත්තේරු .... අදුරුමිෂ්ට මූසලය...!!” නැන්දම්මා දෙසින් දියත් වූ මිරිවැඩි මිසයිලය පුඟුලා ගේ කන ලඟින් පියාසර කර, කුස්සියේ තිබූ පරිප්පු හැලියේ පතිතවී. 

“ජන! ජන!! ජන!!! සේනා..... රණගී මැද්දේ පෙරට ඇදෙන්නා!.....” හැත්තෑ ගණන් වල ප්‍රබුද්ධ ගීයක් මුමුණමින් මාරාන්තික උපවාස කට්ටිය රුපවාහිනිය අසල වාඩිවිය.

“අපිව වඳ කොරන්න ඈ! බලමුකෝ ...”

 “වෘෂණ කෝෂ තලා, සෙක්කුවේ බඳින හරක් නාම්බා පුස්සා කරන්නේ උගේ ශරීර ශක්තිය නංවා ඌ ලවා අදින බර වැඩි කර ගැනීමටය. වඳ සැත්කම තුලින් වඩා ශක්තිමත් අයෝමය පුරුෂ ජාතියක් බිහි වීමේ ඉඩ කඩ ඇති වීම සිදු විය හැක”.  සියලු නාලිකා පුරා හඬ දෙන ගල්ගොඩ මත්තේ සඟ රුවන දෙස බලා සිටින චතුර පුතා සටහන් පොතේ ලියා ගනී.

“අපේ සෞඛ්‍ය ඇමැති තුමා අසනීප වුණත් සිංගප්පූරු දිව්වට ආසියානු  කළාපයේ හොඳම ඉස්පිරිතාලෙ  තිබෙන්නේ බොරැල්ලේ”. අසාධ්‍ය ලෙස ගිලන්ව බන්ධනාගාර රෝහලේ මාස ගනණාවක් නේවාසිකව සිටි ඥාණසාර හිමියෝ වේළුසුමන යෝධයා මෙන් මස් ගොබ ලෙළවමින් අයෝමය පුරුෂ ලීලාවෙන් හැසිරෙන අන්දම නරඹමින් සාලයේ වාඩිවී රූපවාහිනියට වඳිමින් සාදුකාර දෙන නැන්දම්මා පවසයි.

රෝහලේ සිට වැඩිය දින සිට මුස්ලිම් අන්තවාදීන් ගැන කරුණු විග්‍රහ දේශනා කරන උන්වහන්සේ, බුද්ධි අංශයට අරියාදු කිරීම ව්‍යසනයට හේතුව බවද වදාරා සිටී. වඩාත් ප්‍රචලිත ත්‍රස්තවාදී ප්‍රහාරය වන 9/11 සිදුවන තුරු ඇමරිකානු CIA, ඊශ්‍රායලයේ මොසාඩ්, බ්‍රිතාන්‍ය MI5 බුද්ධි අංශ නොදැන සිටියේද? එම විනාශයට හේතුව එම ආයතන තුල සිටි මිනීමරු නිලධාරීන් හත් අට දෙනෙක් අත් අඩංගුවේ පසු වීමද? පකට පුඟුලාට ගවේෂණාත්මක මාජ්ජ වැඩක් කිරීමට සිත් විය.

අල් ඛයීඩා සංවිධානය ඇමරිකානු භුමිය තුල ප්‍රහාරයකට සැරසෙන බව බුද්ධි අංශ 1998 දෙසැම්බරයේදී ජනාධිපති බිල් ක්ලින්ටන් වෙත අනතුරු අඟවා තිබෙන බව 9/11 කොමිසන් වාර්තාව සඳහන් කරයි.  

රම්ස්ෆෙල්ඩ් ප්‍රනාන්දු

2001 ජුලි මාසයේ දී රාජ්‍ය ලේකම් කොන්ඩොලිසා රයිස් සහ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් හමුවූ CIA බුද්ධි අංශයේ ත්‍රස්තවාදය මැඩලීමේ අංශ ප්‍රධානී කොෆර් බ්ලැක් සහ CIA අධ්‍යක්ෂ ජෝර්ජ් තැනට්, අල් කයිඩා සංවිධානය ඉතා නොදුරු කාලය තුල ඇමෙරිකානු භුමිය තුල විශාල ප්‍රහාරයකට සුදානම් වන බවට අනතුරු අඟවා සිටියා. එම තොරතුරු ගැන ක්‍රියාත්මකවීමට වඩා කළයුතු නොයෙක් වැදගත් දේ ඇති බව කොන්ඩොලීසා රයිස් ප්‍රකාශ කල අතර, එම තොරතුරු විශ්වාස කල නොහැකි ලෙස බැහැර කල ආරක්ෂක ලේකම් රම්ස්ෆෙල්ඩ්,  අමෙරිකාව දක්වන ප්‍රතිචාරය මැන බැලීමට වපුරන බොරු ප්‍රචාරයන් ලෙස එම අනතුරු ඇඟවීම් ප්‍රතික්‍ෂේප කර ඇත්තේ අපේ ආරක්ෂක ලේකම් ට නොදෙවැනි ආකාරයෙනි. 

සිද්ධියෙන් පසුව පත් කෙරුණු 9/11 කොමිසම තීන්දු කළේ CIA සහ FBI ආයතන ක්ලින්ටන් සහ බුෂ් ජනාධිපති දෙපල වෙනුවෙන් අවශ්‍යව තිබූ නිසි රාජකාරි ඉටු කිරීමට අසමත් වූ බවයි.

ප්‍රහාරය සිදුවන දින වකවාණු හරි හැටි  නිච්චියට කිව නොහැකි වුණත් බුද්ධි අංශ දිගින් දිගට අනතුරු ඇඟවීම් කල බව පෙනේ.   

“එතකොට මං ඉපදෙනකොට හිටියේ මුස්ලිම් දොස්තර කෙනෙක්ද?” චතුරයා භාධා කරයි.“අපේ අම්මගේ නාලෙ දොස්තර කැපුවද දන් නෑ ....”

“පැලෝපීය නාලෙ? ......... මට නංගිලා මල්ලිලා නැත්තේ!!!”

පුතුට පිළිතුරු දුන්නේ පුඟුලාය: “උඹ උපන්නට පස්සේ ඔය නාල තියෙන පැත්තට  දොස්තරට තියා මට වත් ලංවෙන්න දුන්න එකක් යැ!”

පැලෝපීය නාලය ඔස්සේ කුරුණෑගල රෝහලට පුඟුලා යන විටත් දොස්තර සාෆි ඔපරේසන් එකකය.

“සිංහල බෞද්ධ අම්ම කෙනෙක් ද?

“ශොරි, කථා කරන්න වෙලා නෑ! ඔපරේෂන් අට දාහක් තියෙනවා ....... ශිංගල  අම්මල කේන්දරේ බලල හරියට වෙලාවට සිසේරියන් කරන්න කියනවනේ. පහු ගිය මාසේ ඉපදුන අට සීයකට රාජ යෝග!! .. ඔක්කොලාටම රාජ යෝග තිබුණම සිංගල රාජ යෝග කට්ටිය ඔක්කොම රජ වෙන්න ෆයිට්. එහෙම වුනාම, ............. වල් ඌරො කෙකුන තල්ලාන කොට හම්බ කුකුළානට රජ මකුල්  ”

“එතකොට පැලෝපීය නාලෙ කපන්නේ......”

 “පොහොට්ටු හිරවෙලා තියෙන ඒවා කපාන වෙයි ........  දිවයින පත්තරේ කට්ටිය ඔක්කොටම වාසෙක්තමි...”

දළදා මාලිගාව කිට්ටුවට යද්දී පුඟුලාට මුණ ගැසුනේ ලෙමන් පෆ් පෙට්ටියකුත් කරේ තියාගෙන රතන හිමියෝ බලන්නට යමින් සිටි විමලසිරි ගම්ලත් පාස් පොර්ට් තුමාය.

“ඔතනට ඥාණ අසාර ගිහිං කළබල කරලා රතන හාමුදුරුවන්ට  අපවත් වෙනකං උපවාසෙ කරන්න බල කරන්නයි ගියේ. හැබැයි එහෙම වුනානම් සිංහල බෞද්ධ අපිටත් තිලීපන් වගේ වීරයෙක් ලැබෙනවනේ........ රනිල් කරපු වැඩෙන් සැණකෙළිය මළකෙළිය වුනානේ  ...”

නුවර වැව අයිනේ වාඩිලාගත් වීරවංශ ලෙමන් පෆ් මුල ලිහාගෙන කන්නට පටන් ගත්තේය.

“මේ බිස්කට් හලාල් ද දන්නෙ නෑ ....... බදුර්දීන් ල තේ බොන්න එනවා කිව්වා අපේ රජතුමා ලගේ ගෙදර”.

දැන් වලිගයෙන් බල්ලා වැනෙන කාලයයි.

කටයුතු සියල්ල සුදානම් ය. අවශ්‍ය ව ඇත්තේ  හොඳ කෝලාහලයක් පමණි. 1983 ටත් වඩා ඉහල, රට පුරා ලේ ගංගා ගලා යැවෙන මහා ව්‍යසනයක් සඳහා කාලය පැමිණ තිබේ.

මාරාන්තික ඥානසාර

හදිසි නීති හරහා මැතිවරණ කල් දමා බලයේ සිටීමට කැස කවන ජනාධිපතිට, දිය බොර වෙනතුරු කල්ල මරේ දාගන්නට බලා සිටින විපක්ෂයට, සිරිසෙන් එළුවාගේ අවයව වැටෙන තුරු පසු පසින් යන ගෝටාට, ප්‍රචණ්ඩත්වය හමුවේ රණ විරුවන් වී ජන ප්‍රසාදය හෝ බලය අතට ගත හැකි වාතාවරනයක් බලා සිටින ආරක්ෂක හමුදාවට සහ හමුදාපතිට, සිංහල බෞද්ධ ජන නායකත්වය සඳහා කැස කවන බොදු බඩු සේනාවට, අස්ථාවර ආරක්ෂක තත්ත්ව හමුවේ වාසි ලැබෙන පාතාලයට, දස වසක් තිස්සේ විදේශීය ආධාර ලබා ගැනීමේ අරගලයකට මුහුණදී මානව හිමිකම් උල්ලංගන සොයා විඩාවට පත් රාජ්‍ය නොවන සංවිධාන වලට, වමේ වේලෙන පක්‍ෂ නායකයනට, හිරු, දෙරන වැනි අවස්ථාවාදී මාජ්ජ නඩේට, කටින් බතල හිටුවන සමාජ මාධ්‍ය ඔස්තාර් ලාට, විපත් විකුණා සවිමත් වන ඩයස්පෝරාවට ආගමික නායක කල්ලියට, පොලීසියට, මේ බිමට කඩා පනින්නට පිඹුරුපත් සකසමින් සිටින විදේශ බලවේග වලට, සතියකට වරක් රටේ නයකත්වයට පුද්ගලයන් යෝජනා කරමින් හිට් සොයා වැලපෙන සමහර නිවුස් වෙබ් සයිට් කාරයින්ට; වර්ගවාදී කෝලාහලයක් අත්‍යවශ්‍ය වී තිබේ.

පුත්‍රයා භාධා කරයි .....

“ඥානසාර හාමුදුරුවෝ මාරාන්තික උපවාසයක් පටන් අරං.”

සමාව අයින් කරලා ආයිත් හිරේට යවන්න කියල.... එලියට ආපුදා ඉඳල කරපු හැම එකම අතේ පත්තු. ඇතුලේ හිටියනං කිසි කරදරයක් නැතුව, තුන් වේල කාල දෙයියනේ කියල හිටියනං නිදහස් වුණ දාට වීරයෙක්. ජනතාව ඇවිල්ල මල් මාලා දාල පෙරහරින් ගෙනියයි. හොරා වගේ පස්ස දොරෙන් යන්න ආවශ්‍ය නෑ.

තමා ඇතුළු රටේ දේශපාලකයින් රැසක් තමන්ගේ වපසරිය එල්ලෙන්නේ කොහේදැයි සොයා නොබලා කූඤ්ඤය ගලවා ගෙන සිදුවන්නා වූ අනතුරු වැළැක්වීමේ ඒකායන අරමුණින් සියලු වඩු මඩු වසා දැමීමට ජනාධිපති උතුමාණෝ තීරණය කර තිබේ.

මෙම තීරණය ගනු ලැබුවේ එතුමා ගේ  උපදේශක රතන හිමියෝ විසින් කෙරුණු විශේෂ ඉල්ලීමක් අනුව බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.

වස්සෝ පුස්සෝ  වන අන්දම සිහියට ආ පකට පුඟුලාට තම  කිරිපල්ල අතගා බැලුනේ නොදැනුවත්වමය.