කල්පිටිය මුහුදු තීරයේ කඩොලාන වගා කිරීමේ ව්‍යාපෘතියක්

කල්පිටිය මුහුදු තීරයේ කඩොලාන වගා කිරීමේ ව්‍යාපෘතියක්

22 March 2019 06:00 am

කල්පිටිය මුහුදු තීරයේ පාරිසරික ආරක්ෂාවත්, අලංකරණයත් උදෙසා කඩොලාන වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහන යටතේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වනජීවී දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ විශේෂ ව්‍යාපෘතිය මාර්තු21 බ්‍රහස්පතින්දා පෙරවරුවේ කල්පිටිය මුහුදු තීරයේදී ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රී ලාංකාවේ මුහුදු තීරය වර්තමානයේ මුහුණ දී තිබෙන බරපතළ පාරිසරික ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති කඩොලාන විනාශ කිරීමේ ගැටලුවට කල්පිටිය මුහුදු තීරය ද මුහුණ දී සිටින බව රජය පවසයි.

දිවයිනේ සංචාරක කලාපයන් අතර ආකර්ෂණීය සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙසද කල්පිටිය ප්‍රදේශය හඳුනාගත හැකිය.

මෙම කඩොලාන සිටුවීම සඳහා විදේශ සංචාරකයන් පිරිසක් ද එක්ව සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදේශවාසී ජනතාව මෙන්ම නාවික හමුදාවේ ද සහයෝගයෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කර තිබේ .

මෙම සතිය පුරාවටම මෙවැනි කඩොලාන රෝපණය කිරීමේ වැඩසටහන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා සිදු වූ බව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා ප්‍රකාශ කරයි.

CR