අන්තිමේදී පරිසර දූෂණයට එරෙහි වූ පුංචි කෙල්ල සමාජ මාධ්‍ය ජාලා වල දේශද්‍රෝහියකු විය

අන්තිමේදී පරිසර දූෂණයට එරෙහි වූ පුංචි කෙල්ල සමාජ මාධ්‍ය ජාලා වල දේශද්‍රෝහියකු විය

15 March 2021 03:14 pm

මීට දින දෙකකට ඉහත දී පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වූ කුඩා දියණියක් ඈ ජීවත් ව සිටින ප්‍රදේශයට ආසන්න සිංහරාජ වනය විනාශ කරමින් හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව පවසා තිබුණා.

මීට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ මධ්‍යම පරිසර අධිකාරිය අද (15) දින ඇගේ ප්‍රකාශය සත්‍යයක් නොවන බවත්, අදාළ හෝටලය ඉදිකරන භූමිකොටස පෞද්ගලික ඉඩමක් බව තහවුරු කිරීමටත් ලිපිලේඛන ඉදිරිපත් කර සිටියා.

මෙම හෝටල් ව්‍යාපෘතිය හරහා සිංහරාජ වන සීමාවට හානියක් සිදුනොවන බව තහවුරු කිරීමට ගුවනින් ගත් ඡායාරූප ද සාමාජ මාධ්‍යජාලා වල හුවමාරු වූ හැටි මම දුටුවා.

වන විනාශය පිළිබඳ ගොනුවෙන චෝදනා වලට රජය එවන් ක්ෂණික ප්‍රතිචාර දක්වපු එක නම් හොඳයි.

ඒත් මෙය එක් සිදුවීමක් පමණයි. පරිසර විනාශය සම්බන්ධව රට වටේම විවිධ අන්දමේ තොරතුරු වාර්තා වෙනවා. ඒවාටත් මේ අන්දමින් ම ක්ෂණික ප්‍රතිචාර දක්වනවා නම් හොඳයි නේද?

මට මෙතනදී දේශපාලනික වෙන්න නම් අවශ්‍යතාවයක් නෑ. ඒත් මම දැකපු එක්තරා දෙයක් ගැන මට කතා නොකර ඉන්න බෑ කියලා හිතුනු නිසායි මේ ලියන්නේ.

මෙම පුවතත් සමඟ සමාජ මාධ්‍ය ජාලා ගිනිඇවිලුනා කිව්වොත් නිවැරදියි. එම කරුණ පිළිබඳව පරිසරවේදීන් දොඩමළු වුණා, දේශපාලනිකව පහර ගැසීමටත් විවිධ පාර්ශව එය යොදා ගෙන තිබුණා.

ඒ හැමදේකටම වඩා, මේ පුංචි දියණිය එම දේශපාලන මඩගොහොරට තල්ලු කර තිබෙනු දැකීම මගේ හද සසල කරවූවා.

මම අහන ප්‍රශ්නේ.. දැන් එතකොට මේ පුංචි කෙල්ල දේශද්‍රෝහියෙක් ද? තමන්ගේ පුංචි මනසට අවබෝධ වෙන දෑ මත ඒ පුංචි දියණිය එම රූපවාහිනී නාලිකාව යොදාගත්තා තමන් ඇසින් දුටු දේ ලොවට කියාපාන්න.

ඒක වැරැද්දක් ද? ඇය සිදුකළේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් ද? ඇසින් දුටු දේ ලොවට කියාපෑම විදේශ කුමන්ත්‍රණයක් ද?

මේ පුංචි දියණියගේ දෙමාපියන් සිහිපත් කර ඈට අපහාස කිරීමට සමාජ මාධ්‍ය ජාල යොදාගන්න තරම් මේ සමාජය පිරිහුනේ කොහොමද? ඈ සැල කළ කරුණු වල නිවරද්‍යතාවයක් නොමැති නම් මධ්‍යම පරිසර අධිකාරිය අද දින සිදුකළ පරිදි ඉතාම විනීතව එය පෙන්වා දෙන්න අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද?

කවුරුන් කුමක් කීවද මේ මුළුමහත් ද්වීපයේ පරිසර විනාශයක් සිදුවෙමින් තිබෙන බව අපට දෑසින් නුදුටුවා මෙන් බැහැර කර දමන්න බැහැ. ඒ වගේම පෞද්ගලික හිමිකාරීත්වයක් පෙන්නා පරිසර විනාශය සාධාරිනීකරණය කරන්න ද බැහැ. එය නීති පොතට අනුව නම් හරි ඇති.

නමුත් පරිසර විනාශය කියන්නේ පරිසර විනාශය. එයට පක්ෂයක්, පාටක්, රජයක්, දේපළ සීමාවක් අදාළ නැහැ.

මීට ඉහතදී ද පරිසර විනාශය පිළිබඳ දොඩමළු වූ දේවානි වැනි නිලධාරිනියන් ද මේ අන්දමින් ම සමාජ මාධ්‍ය වල කුණු බිත්තර පහර කෑමට ලක්වූ අයුරු ඔබට මතක ඇති.

මම නම් දකින්නේ මෙතන තිබෙන්නේ දේශපාලනික ගැටුමකටත් වඩා ලිංගික කුහකත්වයක් කියා.

ඇයි මම එහෙම කියන්නේ? කාන්තාවක් අසාධාරණයකට එරෙහිව හඬ නැගූ විට ඇය පාගා දැමීමෙන් ද නතර නොවී ඇගේ ස්ත්‍රී-පුරුෂභාවයද සිහිපත් කරමින් අපහාස කිරීමට අප සමාජය පුරුදුව සිටිනවා.

මෙම පුංචි දියණිය ද ඒ කුහකත්වයේම වින්දිතයෙක් වේගෙන එනවාදෝ යැයි මට හැඟුනා. ඒ නිසායි මෙම කුඩා ලිපිය ලියන්න හිතුවේ.

ප්‍රමෝද් චින්තක පීරිස්