අලි මිනිස් ගැටුමට හේතුව - තිරසර සංවර්ධන අරමුණු අවබෝධ කර නොගැනීමයි

අලි මිනිස් ගැටුමට හේතුව - තිරසර සංවර්ධන අරමුණු අවබෝධ කර නොගැනීමයි

13 December 2018 09:03 am

අලි මිනිස් ගැටුම උග්‍ර වීමට ප්‍රධානතම සාධකයක් වී ඇත්තේ තිරසර සංවර්ධන සංකල්පය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිලක් විජේතුංග බණ්ඩාර මහතා පවසයි.
 
මේ වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 13 කට මෙම අලි මිනිස් ගැටුම බලපා ඇති බවයි ඔහු පවසන්නේ.
 
ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තිලක් විජේතුංග බණ්ඩාර මහතා එම අදහස් පළ කර ඇත්තේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය නව ශ්‍රවනාගාරයේ පැවති තිරසර සංවර්ධන ඉලක්ක හඳුන්වා දීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වැඩමුළුවකට සහභාගී වෙමිනි.
 
පරිසර අභිබවා යෑම
 
සාමාන්‍යයෙන් අලියෙක් දිනකට කිලෝ සියයකට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගන්නා සතෙක් වන අතර විශාල දුරක් ඇවිදිමින් ආහාර සෙවීම අලියාගේ දෛනික චර්යාවක් බවත් ඔහු පෙන්වා දී තිබේ.
 
සංවර්ධන කටයුතු දියත් කිරීමේදී තිරසර සංවර්ධනය ගැන අවධානය යොමු නොකරමින් අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශ මුල් කොට ගෙන ජනාවාස ඉදිකිරීම් ඇතුළු සෙසු සංවර්ධන කටයුතු සිදු කිරීම නිසා අද වන විට ලංකාවේ අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇති බව කථිකාචාර්යවරයා පෙන්වා දෙයි.
 
එම නිසා සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී, කෙටිකාලීන විසඳුම්වලට නොගොස් දිගුකාලීන සැලසුම් මත සංවර්ධන කටයුතු දියත් කිරීම රජයේ නිලධාරීන්ගේ යුතුකම සහ වගකීම බව ඔහු අවධාරණය කරයි.
 
තිලක් විජේතුංග බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මිනිසා පරිසර අභිබවා යෑම නිසා අද වන විට ගැටළු රැසක් මතුව ඇති බවයි.
 
සද්ධන්තයෙකුගේ අවසානය
 
මේ අතර කන්තලේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ වාන්ඇල ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් වන අලියෙකු දෙසැම්බර් 12 බදාදා රාත්‍රියේදී  ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
වාන්ඇල ගම්නයේ ගෙවත්තක වැටකට ඇද තිබූ අධි බලැති විදුලි රැහැනක ගැටීමෙන් මෙම වන අලියාට විදුලි සැර වැදී ඇති බව වාර්තා වේ.
 
විදුලි වැටට කොහොඹ අත්තක් කඩා දමා, විදුලි වැට විනාශ කරමින්, වන අලියා මෙම ප්‍රදේශයට පැමිණ ඇති බවට වාර්තා වන අතර මිය ගිය වන අලියා අවුරුදු 40ක පමණ වයසක පසුවන උස අඩි 9 ක් පමණ වන බව වනජීවි නිලධාරීන් පවසයි.
 
CR