තවත් වන අලි දෙදෙනෙක් දුම්රියේ ගැටී මරුට !

තවත් වන අලි දෙදෙනෙක් දුම්රියේ ගැටී මරුට !

21 October 2018 03:09 am

ඊයේ (20) රාත්‍රියේ කොළඹ සිට කන්කසන්තුරේ සහ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රිය දෙකෙහි ගැටීමෙන් වන අලින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

 

කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ දුම්රියෙහි අඹන්පොලදී වන අලින් දෙදෙනෙකු ගැටී ඇති අතර ඉන් එක් වන අලියෙක් මිය ගොස් ඇත. අනෙක් වන අලියා බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වූ දුම්රියෙහි පළුගස්වැව ප්‍රදේශයේදී වන අලියෙකු ගැටී ඇති අතර එහිදී වන අලියා මිය ගොස් ඇත. එම අනතුරින් දුම්රිය පීලි පැන ඇති හෙයින් අදාළ මාර්ගයේ දුම්රිය ධාවනය කැකිරාවට දුම්රිය ස්ථානයට පමණක් සීමා කර තිබේ.

ඔක්තෝබර් 06 වනදා රාත්‍රියෙහි ද මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියෙහි ගැටීමෙන් වැලිකන්ද සහ පූනානි අතර ප්‍රදේශයේදී වන අලින් තිදෙනෙකු මරුමුවට පත් විය. ඒ අනුව මේ මාසයෙහි ගතවූ සති තුන තුළ පමණක් දුම්රියෙහි ගැටීමෙන් වන අලින් පස් දෙනෙකු දැනට මිය ගොස් ඇත.

දුම්රියෙහි වන අලින් ගැටීම වැළැක්වීම සඳහා පසුගිය සැප්තැම්බර් 28 වනදා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කමිටුවක් ද පත් කෙරුණු අතර එම කමිටුව උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නිර්දේශ 05ක් පසුගිය 15 වනදා වනවිට ඉදිරිපත් කර තිබිණි.

RN

සබැඳි පුවත් - 

දුම්රිය මාර්ගයේ අලි ගැටීම් වැළැක්වීමට නිර්දේශ 5ක්

තවත් වන අලි තිදෙනෙක් දුම්රියේ ගැටී මරුට