පාදයේ ආබාධයකින් පෙළුණු වන අලියාට ප්‍රතිකාර

පාදයේ ආබාධයකින් පෙළුණු වන අලියාට ප්‍රතිකාර

5 October 2018 02:30 pm

හම්බන්තොට හොඬවැල් පොකුණ වැව ආසන්නයේ රක්ෂිතයක් තුළ තුවාල ලබා සිටි වයස අවුරුදු 30 ක පමණ වන අලියෙකුට හම්බන්තොට වනජීවී කාර්යාලයේ හා උඩවල ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් ප්‍රතිකාර ලබා දී තිබෙනවා.
පාදයක ආබාධිත තත්වයෙන් ඇවිදීමට නොහැකිව සිටින වන අලියෙකු හොඬවැල් පොකුණ ප්‍රද්ශයේ අද (05) උදැසන සිට සැරිසරමින් අතර ප්‍රදේශයේ ජනතාව ඒ බව හම්බන්තොට වනජීවී කාර්යාලය වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වූ වනජීවී නිළධාරීන් වන අලියා සම්බ්න්ධයෙන් තොරතුරු සෙයා බලා උඩවල ඇත් අතුරු සෙවනේ නිළධාරීන් දැනුවත් කර තිබේ.
 
උඩවල ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරියක් ඇතුළු කණ්ඩායමක් විසින් වහාම ක්‍රියාත්මකවෙමින් වන අලියාට ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළ අතර කෙසේ වෙතත් අලියාගේ පාදයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත නිගමනයකට පැමිණ නොමැත. වන අලියා ඇදවැටීමකින් හෝ වෙනත් අලියෙකුගේ පහරදීමකින් දකුණු පාදයට හානි සිදුව ඇති බවත් එය අස්ථි බිඳීමක් ද නැතහොත් පාදයේ මස්පිඩු පෙරළීමක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවයි එම වෛද්‍ය කණ්ඩායම සඳහන් කරන්නේ.
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
{gallery}Wana Ali{/gallery}