හම්බන්තොට වනසතුන් දඩයම ඉහල යයි

හම්බන්තොට වනසතුන් දඩයම ඉහල යයි

14 September 2018 02:26 pm

කාලයක් තිස්සේ වනාන්තරව තිබූ, වන අලින් ඇතුළු වන සතුන් බහුලව විසූ හම්බන්තොට රක්ෂිත ප්‍රදේශ සංවර්ධන කටයුතු සඳහා මෙන්ම නොයෙක් කටයුතු සදහා නීතිවිරෝධීව මෙන්ම රාජ්‍ය මැදිහත්වීම ඇතිව හෙළි පෙහෙළි කිරීම නිසා මේ වනවිට කුඩා රක්ෂිත ප්‍රදේශ තුළ කොටු වී සිටින වන සතුන් වර්තමානයේදී මිනිසුන්ගේම ගොදුරු බවට පත්වී තිබේ.
මේ ආකාරයෙන් හම්බන්තොට රක්ෂිත ප්‍රදේශ තුළ දිනෙන් දින වැඩි වෙමින් තිබෙන මස් පිණිස මුවන් ඇතුළු වන සතුන් දඩයම් කිරීම හමුවේ හම්බන්තොට වනජීවී කාර්යාලය මගින් පසුගිය මාස තුන තුළදී පමණක් දඩයක්කරුවන් 07 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකිවී තිබේ.
 
නමුත් හම්බන්තොට මේ වනවිට පවතින අලි උවදුරු මැඩලීම සඳහා වනජීවී නිලධාරීන්ට වැඩි කාලයක් ගත කිරීමට සිදුවී තිබුනත් වනජීවී අපරාධ මැඩලීම සඳහාද වනජීවී නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ.ඒ.පී. විජය කුමාර මහතා පවසයි.
 
සතුන් දඩයම
 
දඩයක්කරුවන් වන සතුන් ඝාතනය කිරීම සඳහා සුලබ ලෙස යොදා ගන්නේ කම්බි මළපුඩු වේ. මේ හේතුවෙන් විශාල ලෙස වනසතුන් මිය යන බව වනජීවී නිලධාරින් පෙන්වා දෙයි. ඒ අකාරයෙන් මළපුඩුවලට හසුවී මිය ගිය මුවන් කීපදෙනෙකුම පසුගිය සති කීපය තුල හමුවූ බවත් වනසතුන් ඇල්ලීම සඳහා හම්බන්තොට රක්ෂිත ප්‍රදේශ තුළ අටවා තිබූ කම්බි මළපුඩු 300 කට අසන්න ප්‍රමාණයක් ඉවත්කිරීමට පසුගිය මසක කාලය තුළ කටයුතු කළ බවත් අඩවි ආරක්ෂක විජය කුමාර මහතා කියා සිටියේය.
 
එමෙන්ම වස යොදා සතුන් දඩයම් කිරීම සඳහා දඩයක්කරුවන් කටයුතු කිරීම නිසා දඩයම් කළ යුතු නොකළ යුතු සියලු සතුන්ට ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබේ. එමෙන්ම වෙඩි තබා ද මේ ආකාරයෙන් සතුන් දඩයම් කිරීම සිදු කරන බැවින් යම් හෙයකින් දඩමස් ලඟ තබාගෙන සිටින පුදගලයින් පිළිබඳ හා සතුන් දඩයම් කරන පුදගලයින් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් වහා දැනුවත් කරන ලෙසද අඩවි ආරක්ෂක විජය කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
{gallery}Hambantota_wildlife{/gallery}