ජාවාරම්කරුවන්ට ගොදුරු වන සිංහරාජ ලෝක උරුමය

ජාවාරම්කරුවන්ට ගොදුරු වන සිංහරාජ ලෝක උරුමය

11 September 2018 08:15 am

ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුළ මේ වනවිට විශාල වශයෙන් දැව ජාවාරම් හා ජාන මංකොල්ලය හා වල්ලපට්ට කැපීම, මැණික් පතල් හැරීම ඇතුළු නීති වීරෝධි ක්‍රියාවන් සිදුවෙමින් පවතී.

සමස්ත සිංහරාජයේ විවිධ ප්‍රදේශවල මේ වනවිට ඉහත පෙන්වා දුන් නිතී විරෝධී ක්‍රියාවන් සිදුවන අතර සිංරාජයේ මාණික්ක වත්ත, රජවත්ත, වැද්දාගල, කුඩවැව, රඹුක, බටේමුල්ල වැනි ප්‍රදේශවල මෙම තත්වය වඩා වර්ධනය වෙමින් පවතී. එයට අමතරව සිංහරාජයේ පරිවාර වනාන්තරයක් වන වළංකන්ද, තණබොල ප්‍රදේශයත් දැව ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට මේ වනවිට හසු වී ඇත.

සබරගමු පළාත හා දකුණු පළාත තුළ විහිදී ඇති සිංහරාජ වනාන්තරය 1988 වර්ෂයේ යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත් කරන්නේ මෙහි ඇති ජෛව විද්‍යාත්මක වටිනාකම මෙන්ම ලෝකයේම දුර්ලබ වන ගහනයන්ගෙන් එකක් වීම නිසාය.

හෙක්ටයාර් 8864 ලෝක උරුමයක් ලෙසත් එයින් පිටත ඇති තවත් සිංහරාජයට අයිතිව තිබූ වනාන්තර ගණනාවක් පුරා විසිර ඇති සිංහරාජය මෙරට ඇති ප්‍රාථමික වනාන්තරයක් වන අතර එය මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස හදුන් වනු ලැබයි. 5% වැඩි ආවේණික ක්ෂිරපායීන් හා සමනල්ලුනට වාසස්ථානයක් වන මෙහි 70% පමණ ආවේණික ශාක විවිධත්වයක් දැකගත හැකිය.

සිංහරාජයේ මුළු බිමි ප්‍රමාණය හෙක්ටයාර් 11,187 ක් පමණ වන අතර පරිවාර වනාන්තර ගණනාවකින්ද මෙම වන භූමිය සමන්විත වේ. උතුරින් නාපොළ දොල හා කොස් ගුලන ගඟෙනුත් දකුණින් මහදොල සහ ගිංගඟෙනුත් බටහිරින් කළුංදාව ඇළ සහ පිට කැලේ ගඟෙනුත් නැගෙනහිරින් බ්රෂ්වුඩ් ප්‍රදේශයෙනුත් සමස්ත සිංහරාජයේ ආරක්ෂිත ප්‍රදේශය ආවරණය වී ඇති අතර රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක පුරා මෙය විහිදී ඇත.

ඓතිහාසික වශයෙන් වසර කෝටි 15 කට පමණ පෙර සිංහරාජය ගොඩ්වානා බිම හා එක්ව පැවති යුගයේ සිංහරාජය සම්භවය වී ඇති බව සැලකෙන අතර පරිණාමයේ මුල් අවදියේ සිට නොඉඳුල් වනාන්තරයක් ලෙස මෙය පැවත එමින් ඇත.

මුවර්මහාන් සහ පානබොක්කේ විසින් 1961 වර්ෂයේ සදහන් කර ඇති පරිදි සිංහරාජයේ පස් සම්බන්ධව ලියන ලද පර්යේෂණ පත්‍රිකාවල සඳහන් කරන්නේ රතු සහ පොඩිසොලික් පස සිංහරාජයේ වැඩි කොටසක දක්නට ඇති බවය. නමුත් වනාන්තර කපා ඉවත් කිරීම නිසාත් එහි උෂ්ණත්වය වැඩිවීමට පටන්ගෙන ඇති නිසාත් එහි යම් යම් ස්ථානවල ඇති ඇලුවියල් පස කබොක් සහ ලැටරයිට් පස් බවට පරිවර්තනය වෙමින් පවතින බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇත.

නිරිතදිග මෝසමින් හා ඊසානදිග මෝසමින් ඉහළ වර්ෂාපතනයක් ලැබූ සිංහරාජ වනාන්තරයේ වර්ෂාපතන මට්ටම ක්‍රමානුකූලව වෙනස්වෙමින් හා අඩුවෙමින් යන්නේ සිංහරාජයේ සිදුවන දැවැන්ත වන සංහාරය නිසාය. මෙම වනාන්තරය තුලින් ගිංගඟේ හා කළු ගඟෙ ප්‍රධාන ජලපෝෂක ආරම්භ වන අතර විශාල දියකදුරු ගණනාවකින්ද සමන්විත වෙයි.

කොස්ගුලන ගඟ, කුඩව ගඟ, පිටකැලේ ගඟ, කළුකන්දාව ඇල, නාපොල දොළ, මහ ගඟ, ආරනුව දොළ, ගිං ගඟ වැනි ජල පෝෂිතයන්ගෙන් සමන්විත වන අතර සිංහරාජ වැසි වනාන්තරය දකුණ හා සබරගමු පළාත්වල වැසි ලැබීමට අවශ්‍ය ජිවී ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මෙම වනාන්තරය මගින් සිදුවන උත්ස්වේදව ක්‍රීයාවලිය මගින් සිදුවේ.

ඉතා ඉහල ශාක විවිධත්වයකට හිමිකම් කියන මෙම තෙත් සදාහරිත වනාන්තරය තුල හොර (Dipterocarpus Zeylanicus) කැකිල්ල (Dicranopteris Linearis) කිරි හැඹිලිය (Palaquium grande) කටබොද (Cullenia Ceylaica) මල බොඩ ( Myristica Dactyloides) ශාක ඇතුළුව විශාල ශාක විවිධත්වයක් දැක ගැනීමට හැකි වන අතර එයින් හමුවන මුළු ශාක විශේෂ සංඛ්‍යාව 215 කට අධිකය. වල්ලපට්ටා ජාවරම්කරුවන්ගේ ග්‍රහණයට හා දැව ජාවාරම්කරුවන් නිසා වනාන්තරය විශාල වශයෙන් විනාශ වෙමින් ඇත. 

සිංහරාජය තුල ඉහළ ශාක විවිධත්වයක් සේම ඉහළ සත්ව විවිධත්වයක්ද දැක ගැනීමට හැකියාව ඇත. මෙම වනාන්තරය පුරා පෘෂ්ඨවංශික සත්ව විශේෂ 260 පමණ වාර්තා වී ඇති අතර එයින් 74 ක් පමණ ලංකාවට අවේණික සත්ව කාණ්ඩ ලෙස සැලකේ. අලියා (Eliphas maximus maximu) දිවියා (Panthera pardus kotiya)දම් මුහුණැති කොළ වදුරා (Trachypithecus Vetulas) ලංකා මල් කුරුල්ලා, පුල්ලි වල් අවිච්චියා (Zosterops cylonensis)පුල්ලි දත් කැටියා (Oligodon Sublinensis)ඇතුළු සත්ව විශේෂ ගණනාවක් මෙම මිනිසා හා ජෛවගොල රක්ෂිතය තුළ වාර්ථා වේ.

සිංහරාජය වනාන්තරය හා එහි සත්ව විශේෂ ආරක්ෂා කරගැනීමේ අරමුනින් 1992 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ පාරිසරික සහ සංවර්ධන සම්මුතියට අත්සන් තබා ඇති අතර, පරියටන පක්ෂීන් පිළිබඳ බොන් සම්මුතිය 1990, දේශගුණික විපර්යාස සම්මුතිය 1992, මිනිසා සහ ජෛව ගෝල වැඩසටහන 1940, සතුන් හා ශාක විශේෂවල ජාත්‍යන්තර වෙළඳ සම්මුතිය 1979 වැනි සම්මුති ගණනාවකට ලංකාව අත්සන් තබා ඇති අතර මෙහි සඳහන් සියල්ල සිංහරාජයට ද අදාළ ජාත්‍යන්තර සම්මුතීන් වේ. මෙම සම්මුතීන්වලට අනුවද සිංහරාජය විනාශ වන අයුරින් කිසිදු ක්‍රියාවක් කිරීම සපුරා තහනම් වුවද අද දවස වනවිට සමස්ත සිංහරාජයම දැව ජාවරම්කරුවන්ගේ පාරාදීසයක් වී ඇත.

1970 ට පෙර කොස්ගම පිහිටි තුනී ලැලි සමාගමට ප්‍රධාන ලෙස දැව සපයනු ලැබුවේ සිංහරාජ වනාන්තරයෙනි. පසුව මෙය ලෝක උරුමයක් වූ අතර එහි දැව කැපීම, ශාකවලට හානි කිරීම, සතුන් දඩයම් කිරීම හෝ සිංහරාජයට හානි වන කිසිදු ක්‍රියාවක් කිරීම තහනම් වූ අතර එවන් ක්‍රියාවන් සිදුවේ නම් එය මෙරට වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව නීතිවිරෝධී ක්‍රියාවකි. එවන් නීතිවිරෝධී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන් අත්තඩංගුවට ගැනීම සඳහා වනජීවී නිළධාරින්ට හැකියාවක් ඇති අතර සිංහරාජයේ සිදුවන දැව ජාවරම් ඇතළු අනෙකුත් ජාවාරම්වලට වනජීවී නිළධාරීන් මෙන්ම ඇතැම් පොලිස් නිළධාරීන්ද සම්බන්ධය. 

කලවාන, කජුවත්ත, රජවත්ත ප්‍රදේශයේ සිදුවන දැව ජාවාරම් සඳහා රක්වාන පොලීසිය හා පොතුපිටිය පොලීසිය සෘජුව සම්බන්ධතා දක්වයි. රක්වාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් හා ගම්වාසීන් කිහිප දෙනෙක්ද මෙම දැව ජාවරම්වලට සම්බන්ධ වී ඇති අතර පසුගිය ජූලි 18 වන දින රජවත්ත ප්‍රදේශයෙන් අල්ලන ලද දැව තොගය කිසිදු පරීක්ෂණයකින් තොරව පොලීසිය විසින් නිදහස් කර ඇති අතර මෙම දැව ජාවාරම් සඳහා වනජීවී නිළධාරීන් කිහිපදෙනක් සම්බන්ධ වී ඇත.

කෙසේ වෙතත් මෙලෙස සිදුවන දැව ජාවාරම් හා නීතිවිරෝධී ක්‍රියා නිසා මෙහි ජෛව ප්‍රජාවට හා පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවන අතර එය සමස්ත ලංකාවට මෙන්ම ලෝකයටම මෙම පරිසර පද්ධතියේ විනශය හානිකාරී ලෙස බලපානු ලබයි.

ලෝක උරුම සිංහරාජ වැනසීමෙන් ගලවා ගැනීමේ උවමනාවක් පරිසර අමාත්‍යවරයාට නොමැති අතර රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් සිංහරාජයේ මායිම්ව ඇති ඉඩම වසර 14 ක් ගියද මේ වනතෙක් පවරා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. එමෙන්ම දිනෙන් දින විනාශ වන ලෝක උරුම සිංහරාජයේ ජාන මංකොල්ලකරුවන්ට හා දැව ජාවරම්කරුවන්ට පාරාදීසයක් වන්නට ඉඩහැර බලා සිටීමෙන් සිදු වන්නේ ලෝකයටම වටිනා පරිසර පද්ධතියක් අහිමි වී යාමයි.

රවීන්ද්‍ර කාරියවසම්
පූජ්‍ය වෑකඳවල රාහුල හිමි