නැනෝ පොහොර මගඩිය ගැන බොරු කියන්නේ පී.බී.ද, මහින්දානන්දද, වෙන කෙනෙක්ද ?

නැනෝ පොහොර මගඩිය ගැන බොරු කියන්නේ පී.බී.ද, මහින්දානන්දද, වෙන කෙනෙක්ද ?

24 October 2021 08:42 am

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් මෙරටට ගෙන්වීමේ ගනුදෙනුව මේ වනවිට රට තුළ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. මෙහිදී විපක්ෂ කණ්ඩායම් විසින් මෙම ගනුදෙනුව දූෂිත බවට චෝදනා ගණනාවක් එල්ල කර ඇති අතර ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව මේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටිති. ඇත්තෙන්ම මෙහි සිදුවූයේ කුමක්ද ? බොරු කියන්නේ කවුද ? 

බැංකු ගනුදෙනුව 

රජයට අයත් "ලංකා පොහොර සමාගමේ" බැංකු ගිණුමක් මහජන බැංකුවේ ටවුන් හෝල් ශාඛාවේ තිබේ. පොහොර ආනයනය සඳහා අදාළ මුදල් ලැබී තිබුණේ මෙම ගිණුමටය. පසුගියදා ලංකා පොහොර සමාගම විසින් මහජන බැංකුවට දැනුම් දී තිබුණේ එම ගිණුමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක මුදලක් "යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ්" නමැති ගිණුමකට බැර කරන ලෙසය. මේ වනවිට කවුරුත් දන්නා පරිදි එම ගිණුම හදිසියේ ඔක්තෝබර් 18 වනදා ආරම්භ කර තිබුණේ මොහාන් පෙරේරා සහ ජී. එම්. වීරසිංහ යන යුවල විසිනි. කෙසේවෙතත් යම් සේවාදායකයෙක් බැංකුවකට තම මුදල් බැර කළයුතු ආකාරය සම්බන්ධයෙන් එවන් උපදෙසක් ලබාදුන් විට එය ක්‍රියාත්මක කිරීමට බැංකුව බැඳී සිටියි. ඒ අනුව මහජන බැංකුව අනීතික ක්‍රියාවක නියැළී නොමැති බව පෙනේ. 

මෙම නැනෝ නයිට්‍රිජන් දියර පොහොර නිෂ්පාදනය කරන්නේ ඉන්දියානු ගුජරාට් ප්‍රාන්තයේ ඉෆ්කෝ (IFFCO) ආයතනයයි. එම ඉෆ්කෝ ආයතනයෙහි දේශීය නියෝජිතයා වශයෙන් නම් කර තිබුණේ පෙරකී "යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ්" නමැති සමාගමය. ඒ අනුව පෙරකී පරිදි එම යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගමේ ගිණුමට බැරවුණු මුදල්වලින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 3ක් පොහොර සඳහා ඉෆ්කෝ ආයතනයට ගෙවන ලෙස මහජන බැංකුවට දැනුම් දී තිබුණු අතර එම මුදල ද ගෙවා දැමේ. ඉන් අනතුරුව එම සමාගම මහජන බැංකුවට දැනුම් දී ඇත්තේ අදාළ පොහොර තොගය බාරගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ගුවන් තොටුපළට පැමිණීමට නියමිත බැවින් වහාම පොහොර තොගය ගෙන්වා ගතයුතු නිසා ගුවන් ප්‍රවාහන ගාස්තු සහ කම්කරු සේවා ඇතුළු වෙනත් ගාස්තු සඳහා තවත් ඇමරිකානු ඩොලර් 80,000ක මුදලක් ශ්‍රී ලංකා රුපියල්වලට මාරුකර තමන්ට ලබාදෙන ලෙසයි. 

මෙයින් අනතුරුව මේ සම්බන්ධ සියලු සිදුවීම් මාධ්‍ය ඔස්සේ රටට අනාවරණය වූ අතර මහත් ආන්දෝලනයකට තුඩු දුන් යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගමේ ගිණුම අත්හිටුවීමට මහජන බැංකුව පියවර ගෙන තිබිණි. 

ගනුදෙනුවේ ප්‍රශ්නය 

පසුගියදා මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී කළ අනාවරණයෙන් පසු ඊට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ "ශ්‍රී ලංකාවට මෙම නැනෝ නයිට්‍රිජන් පොහොර ආනයනය කිරීමේදී "ශ්‍රී ලංකා - ඉන්දියන් ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රමෝශන්" එකෙන් තමයි ඒ කියන්නෙ ඉන්දියන් තානාපති කාර්යාලය හරහා තමයි මේ යෝජනාව රජයට ඉදිරිපත් වෙන්නෙ. එතෙන්දි ඉෆ්කෝ කියන ඉන්දීය රජයේ සමාගමක් තමයි අපේ ශ්‍රී ලංකා - ඉන්දියන් ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රමෝශන් බෝඩ් එකත් එක්ක මේ ගිවිසුමට එළඹිලා තියෙන්නෙ. ඒ අනුව මේ ඉෆ්කෝ කියන ඉන්දියන් ෆර්ටිලයිසර් කෝපරේෂන් සමාගමේ නියෝජිතයා හැටියට යුනයිටඩ් ෆාමර්ස් කියන ලංකාවේ දේශීය සමාගම නම් කරලා තියෙනවා. ඒ අනුව ඒ අය තමයි මේ ටෙන්ඩර් එකට මේ ප්‍රපෝසල් එක ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඒ අනුව රජය ඒ සමාගම නම් කරන ලද නියෝජිතයාට මුදල් බැර කරලා ඔහු විසින් එල්.සී. ඇරලා මේ භාණ්ඩ ආනයනය වෙලා තියෙනවා. කිසිදු අයථා ගනුදෙනුවක් සිද්ධ වෙලා නෑ" යනුවෙනි. 

අමාත්‍යවරයා මෙසේ පැවසුවත් සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයක් මෙවැනි මහා පරිමාණයේ ආනයනයක් සිදුකිරීමේදී එහි ක්‍රමවේදය වන්නේ රාජ්‍ය ආයතනය විසින් අදාළ විදේශික මව් සමාගමට සෘජුවම මුදල් ගෙවීමය. එම සමාගම විසින් නම් කරන දේශීය නියෝජිතයා මෙවන් ගනුදෙනුවලදී ප්‍රසම්පාදන කටයුතු පමණක් සිදුකරන අතර ඒ සඳහා ඔවුන්ට හිමිවන කොමිස් මුදල ගෙවනු ලබන්නේ අදාළ විදේශික මව් සමාගම විසිනි.  

මේ ගනුදෙනුවේදී නම් සිදුවිය යුතුව තිබුණේ ලංකා පොහොර සමාගම විසින් ඉන්දීය ඉෆ්කෝ සමාගමට මුදල් ගෙවීම වන අතර ඔවුන් විසින් තම දේශීය නියෝජිතයා වන යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගමට අදාළ කොමිස් මුදල ගෙවා දැමීමය. මෙම කොමිස් මුදල නීත්‍යානුකූල එකක් වන අතර කටයුතු ඒ ආකාරයෙන් සිදුවූයේ නම් එහි අනීතික භාවයක් නොමැත. 

නමුත් සිදුව ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ලංකා පොහොර සමාගම විසින් ඉෆ්කෝ සමාගමේ දේශීය නියෝජිතයා වන යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගමට අදාළ සම්පූර්ණ මුදල ගෙවා ඇති අතර ඔවුන් විසින් එයින් හතරෙන් එකක් වැය කර නියමිත පොහොර තොගයෙන් කොටසක් පමණක් මෙරටට රැගෙනවිත් ඇත. ඒ අනුව අතිවිශාල මුදලක් එම දේශීය නියෝජිතයාගේ ගිණුමෙහි දින ගණනක් රැඳී තිබෙනු ඇති අතර ඔහු එයින් කොටසක් රුපියල්වලට මාරු කිරීමට ද ඉල්ලා ඇත. මෙය ක්‍රමවේදයට පටහැණි, අනීතික මෙන්ම ඉතාම සැකසහිත ගනුදෙනුවක් වන්නේ ඒ ආකාරයටය. 

අනෙක් අතට මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියනා ආකාරයට මේ පොහොර ගනුදෙනුව සිදුකිරීමට නියමිතව තිබුණේ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගම හරහා නම් ඔවුන් මෙවැනි ඩොලර් මිලියන ගණනක ගනුදෙනුවක් සඳහා බැංකු ගිණූමක් හෝ විවෘත කරගෙන පෙර සූදානමක් සහිතව නොසිටියේ මන්ද, ඔක්තෝබර් 18 වනදාම කඩිමුඩියේ ජාතික හැඳුම්නුම්පත් අංකවත් බැංකුවට ලබානොදී මෙම ගිණුම විවෘත කිරීමට සිදුවුණේ මන්ද යන ප්‍රශ්නත් මතුවේ. මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉන්දීය තානාපති කාර්යාලයත් පටළවා ගනිමින් අදාළ ප්‍රශ්නයට දුන් පිළිතුර පෙනෙන්නේ විකාරයක් හැටියටය. මෙම ගනුදෙනුව සුද්ධ කිරීම සඳහා ඔහු ගත් උත්සාහයේ තරම අනුව ඔහුගේ ක්‍රියාකලාපයත් ප්‍රශ්නකාරීය. 

දෙරණ මාධ්‍ය ජාලයට අයත් සති අග අරුණ පුවත්පත මෙම ගනුදෙනුවට බලපෑම් කළ බවට චෝදනා එල්ල කර තිබුණේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාටය. ජයසුන්දර මහතා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබුණු අතර ඒ මහතාගේ දැනුම්දීම අනුව කඩිමුඩියේම මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ද පැය කිහිපයක් තුළ ආරම්භ වී තිබේ. නියමිත ක්‍රමවේදයෙන් පිට යෑමට කවුරුන් නමුත් බලපෑම් කර ඇතිය යන්න පැහැදිලි වුවත් එසේ බලපෑම් කළේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාද, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද යන්න අප දන්නේ නැත. 

කෙසේවෙතත් තහවුරු නොකළ ආරංචිමාර්ග අපවෙත සඳහන් කළේ මෙම ආන්දෝලනාත්මක ගනුදෙනුව පසුපස ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ මාතර ප්‍රදේශයේ "ගජධීර" නමැත්තෙකු ද සිටින බවය. 

RN



Recommended News