රක්ෂණ සභාපතිට විරෝධය පා අධ්‍යක්ෂ මණ්ඩලය නැගිට යති

රක්ෂණ සභාපතිට විරෝධය පා අධ්‍යක්ෂ මණ්ඩලය නැගිට යති

28 July 2021 03:24 pm

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මාසික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ඊයේ (27) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ සඳහා හිටපු සභාපති ජගත් වැල්ලවත්ත මහතාද සහභාගි වීම හේතුවෙන් උණුසුම් තත්වයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

හිටපු සභාපතිවරයා පැමිණ සුපුරුදු පරිදි සභාපතිවරයාගේ ආසනයේ හිඳගෙන ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන් ඔහුට විරෝධය එල්ල වී තිබෙනවා. මුදල් අමාත්‍යංශය නියෝජනය කරන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනා පවසා තිබෙන්නේ ජගත් වැල්ලවත්ත මහතා තවදුරටත් රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා නොවන බැවින් ඔහු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා සහභාගිවීමට බලයක් නොමැති බවයි.

සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ද මුදල් අමාත්‍යංශය නියෝජිතයන්ට සහාය පළකරමින් ජගත් වැල්ලවත්ත මහතාට විරෝධය දක්වා ඇති අතර කෙසේ නමුත් වැල්ලවත්ත මහතා දිගින් දිගටම සභාපති අසුනේ රැඳී සිට තිබෙනවා.

අවසානයේදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට වර්ජනය කිරීමට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තීරණය කර ඇති අතර ඒ අනුව ඔවුන් සියලු දෙනාම රැස්වීමෙන් නැගිට ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තුළ සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් ජගත් වැල්ලවත්ත මහතා ඉවත් කළ අතර නව සභාපතිවරයා ලෙස විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති විජිත හේරත් මහතා පත් කර තිබේ. කෙසේ නමුත් වැල්ලවත්ත මහතා සභාපති පුටුව අත්හැරීමට සූදානම් නොවීම හේතුවෙන් විජිත හේරත් මහතාට නව තනතුරේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

ජගත් වැල්ලවත්ත මහතා ඕස්ට්‍රේලියානු මහ කොමාරිස්වරයා ලෙස පත් කිරීමට තීරණය කර ඇති අතර ඔහු ලබන මාසයේදී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සූදානමින් සිටී. ඔහු උත්සාහ කරමින් සිටින්නේ ඕස්ට්‍රේලියාවට පිටත්ව යනතෙක් රක්ෂණ සංස්ථා සභාපති ධුරයේ කෙසේ හෝ රැඳී සිටීමටයි. ජුලි මාසයට අදාල වැටුපද ලබා ගැනීම ඔහුගේ අරමුණ වී තිබෙන අතර මාසය අවසානයේ පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමටද සහභාගි වී ඇත්තේ ඒ අනුවයි.

රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ජනාධිපතිවරයා විසින් ලෙස විජිත ‍හේරත් මහතා පත් කළේ පසුගිය 19 වැනිදායි.