විපක්ෂයේ බොරුවලට ලඟදීම උත්තර දෙනවා - මහබැංකු අධිපති අගමැතිවරයාට සහතික වෙයි

විපක්ෂයේ බොරුවලට ලඟදීම උත්තර දෙනවා - මහබැංකු අධිපති අගමැතිවරයාට සහතික වෙයි

30 June 2021 10:44 pm

මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද පැවැත්විණි. ඒ මුදල් අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම රැස්වීම සඳහා මුදල් අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන්, මහබැංකු අධිපතිවරයා ඇතුළ ඉහළ නිළධාරීන් සහ අමාත්‍යංශයට අයත් ආයතනවල ඉහළ නිළධාරීන් සහභාගි වී තිබෙනවා.

රජයේ ආදායම් අහිමි වීම හේතුවෙන් වියදම් පියවා ගැනීම සඳහා දිගින් දිගටම මුදල් නෝට්ටු මුද්‍රණය කරන බවත් මේ හේතුවෙන් රටේ අනාගතය දැවැන්ත අවිනිශ්චිත තත්වයකට පත්වනු ඇති බවත් පවසමින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඇතුළු විවිධ පාර්ශ්ව ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ප්‍රගති සමා‍ලෝචන රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

එහිදී මහබැංකු අධිපති ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසා තිබෙන්නේ මුහුණ දී සිටින මුල්‍යමය අර්බුදය හේතුවෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සිදුවන නමුත් ඇතැම් පාර්ශ්ව එල්ල කරන ඇතැම් චෝදනා අසත්‍ය බවයි. විශේෂයෙන් විපක්ෂය දිගින් දිගටම ආණ්ඩුවට එල්ල කරන චෝදනාවලට පිළිතුරු දීමට තමා හා තම නිළධාරීන් සූදානම් බව පවසා ඇති ලක්ෂ්මන් මහතා ඒ අනුව නුදුරේදීම විපක්ෂයේ චෝදනාවලට නිසි පිළිතුරු ලබාදෙන බවට අගමැතිවරයාට පොරොන්දු වී තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදාල රැස්වීමට සහභාගි වූ ඇතැම් නිළධාරීන් රැස්වීමෙන් අනතුරුව පවසා තිබෙන්නේ මහ බැංකු අධිපතිවරයාගේ ‍ප්‍රකාශය දේශපාලනික ප්‍රකාශයක් බවයි. රාජ්‍ය නිළධාරියෙකු වන මහ බැංකු අධිපතිවරයා රාජ්‍ය නිළධාරීන් සිටින රැස්වීමක ආණ්ඩුවට එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදීමට ඉදිරිපත් වීම හා ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම කිසිසේත්ම සුදුසු නොවන බවද අදාල නිළධාරීන් පවසා තිබෙනවා. විපක්ෂයෙන් ආණ්ඩුවට එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදිය යුත්තේ මැති ඇමතිවරුන් මිස රාජ්‍ය නිළධාරීන් නොවන බවයි ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ.