ජනපතිටත් හොරෙන් බැසිල් හදිසියේ US ගියේ ඇයි ?

ජනපතිටත් හොරෙන් බැසිල් හදිසියේ US ගියේ ඇයි ?

12 May 2021 01:21 pm

මේ වනවිට මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ හදිසි විදෙස්ගතවීමයි. කොරෝනා වසංගතය විසින් රට වෙලා ගනිමින් සිටියදී කොරෝමා මර්දන ක්‍රියාන්විතයේ ඉදිරිපෙළ නායකයෙකු ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතා හදිසියේ විදෙස්ගත වීම බොහෝදෙනා මවිතයට පත් කිරීමට සමත්ව තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත්ව යාමට සූදානමින් සිටින බව අවසන් මොහොත වනතුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවා නොදැන සිටි බවයි වාර්තා වන්නේ.

බැසිල් රාජපක්ෂ මහතා හොර රහසේම සිය ගමන සංවිධානය කරගෙන ඇති අතර ජනාධිපති හා අගමැති ඒ පිළිබඳව දැනගෙන තිබෙන්නේ බුද්ධි අංශ හරහා ඊයේ (11) ලැබුණු තොරතුරු මතයි. එම තොරතුරු හේතුවෙන් ඔවුන් දෙදෙනාම දැඩි කලබලයට පත්ව ඇති අතර තොරතුරු ලැබුණු වහාම බැසිල් සිටින්නේ‍‍ කොහිදැයි සොයා බලා තිබෙනවා.

ඒ වනවිට බැසිල් රාජපක්ෂ මහතා, අලුතින් පිහිටවූ දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමක් සඳහා සහභාගි වී සිටියේය. ඔහු එම බලකායේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අරලියගහ මන්දිරය වෙත පැමිණි එම රැස්වීම අවසන් වූ වහාම පැය එක හමාරකට අධික කාලයක් සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා ඔවුන් තිදෙනා හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු සහභාගි වී නොමැති බවයි වාර්තා වන්නේ.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ වාර්ෂික වෛද්‍ය පරීක්ෂණය සඳහා තමා ඇමරිකාවට යාමට සූදානමින් සිටින බවයි. තිදෙනා අතර පැවති සාකච්ඡාව අවසානයේදී, වෛද්‍ය පරීක්ෂණය අවසන් වූ වහාම යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ පොරොන්දුවක් ලබා ගනිමින් බැසිල්ගේ සංචාරය සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟතාවය පළකර තිබෙනවා.

මේ වනවිට 70 හැවිරිදි වියේ පසුවන බැසිල් රාජපක්ෂ මහතා වාර්ෂිකව සිදු කරන වෛද්‍ය පරීක්ෂණයට වසර දෙකක කාලයක් තිස්සේ මුහුණ දී නොමැති අතර ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඔහු දිගින් දිගටම කාර්යබහුල වීමයි. මහ මැතිවරණය අවසන්වීමෙන් පසුව අවස්ථා කිහිපයකදී ඔහු ඇමරිකාව බලා පිටත්වීමට සූදානම් වුවද විවිධ හේතු නිසා එය මගහැරිණි.

අප මේ සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මාසයේදී පුවතක් පළකළේය. මහ මැතිවරණය අවසන් වූ වහාම විදෙස්ගතවීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානම් වුවද පසුව එය පසුගිය වසරේ ජනවාරි මාසය දක්වා කල් ගියේය. ජනවාරි මාසයේදීද ඒ සඳහා අවස්ථාව හිමි නොවූ අතර ඉන්පසු කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එය දිගින් දිගටම කල්දැමීමට සිදු විය.

දිගින් දිගටම වෛද්‍ය පරීක්ෂණ ප්‍රමාදවීම අවදානම සහගත බව ඔහුගේ සමීපතමයන් පෙන්වා දී ඇති අතර මේ නිසා කිසිවෙකුටත් නොදන්වා හොර රහසේම මෙවර ඇමරිකානු ගමන සඳහා ඔහු සූදානම් වී තිබේ. ඒ අනුව අද අළුයම බැසිල් රාජපක්ෂ මහතා පුෂ්පා රාජපක්ෂ මහත්මියද සමග ඇමරිකාව බලා පිටත්ව ගිය අතර ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ දැඩි ඉල්ලීම පරිදි ඔහු සිය වෛද්‍ය පරීක්ෂණ අවසන් වූ වහාම නැවත මෙරටට පැමිණෙනු ඇත.