ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ස්වභාවික යුක්ති රීතිය උල්ලංඝනය වේවි ද?

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ස්වභාවික යුක්ති රීතිය උල්ලංඝනය වේවි ද?

19 April 2021 08:04 pm

ශ්‍රේෂ්ඨාධිකරණය යනු රටක පවතින ඉහළම අධිකරණයයි. එහි තීරණය අවසාන තීරණයයි. බරපතල ව්‍යවස්ථාමය කරුණු බොහොමයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ භූමිකාව කියා නිම කළ නොහැකිය. නිදසුනක් වශයෙන්, මූලික අයිතිවාසිකම්, භාෂා අයිතිවාසිකම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්තනිරූපණයන් සම්බන්ධයෙන් සුවිශේෂී වූ තනි අධිකරණ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණය සතුව ඇත.

මේ වන විට පාර්ශව කිහිපයක් විසින් ගොනුකරන ලද පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතින්නේ පංච-පුද්ගල විනිසුරු මඬුල්ලක් යටතේ ය. කණගාටුවට කරුණ නම්, වරාය නගරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෙම පෙත්සම් විභාගයට ගැනෙනා පංච-පුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරුවරුන් තිදෙනෙකුම හිටපු නීතීපති දෙපාර්තමේන්තු නිලධාරීන් වීම ය. මෙම පෙත්සම් විභාගය සඳහා පහළ සිට ඉහළට නැඟගෙන ආ වෘත්තීය විනිසුරුවරුන් (carrier judges) පත් කිරීමක් සිදුකොට නොමැත.

මෙවැනි පෙත්සම් විභාගය සඳහා වෘත්තීය විනිසුරුවරුන් ගෙන් යුත් විනිසුරු මඬුල්ලක් පත්කිරීම බෙහෙවින් වැදගත් ය. මන්ද මෙම ප්‍රශ්නගත ව්‍යාපෘතිය සඳහා ඔවුන් ගේ පූර්ව මැදිහත්වීමක් සිදුකර නොමැති වීම අධිකරණ ක්‍රියාවලියක් තුළදී බැඳියා ගැටුම් ඇතිවීම වැළැක්වීමට උපකාරී වන බැවිනි.

මීට අමතරව, අදාළ පෙත්සම් විභාගයට ගැනෙන විනිසුරු මඬුල්ලේ, [අග්‍රවිනිශ්චයකාරතුමන් ඇතුළු] විනිසුරුවරුන් තිදෙනෙකුම නීතිපති දෙපාර්තමේන්තුව තුළදී මෙම ව්‍යාපෘතිය කෙටුම්පත් කිරීමේ ක්‍රියාදාමයට සෘජුවම සම්බන්ධ වන්නට ඇත. එමෙන්ම, මෙම විනිසුරුවරුන්ගෙන් එක් අයෙකු වත්, වරාය නගර ව්‍යාපෘතිය සඳහා පත්කළ කමිටුවේ ප්‍රධානත්වය දරා ඇති බවට නීති ක්ෂේත්‍රයේ කතාබහට ලක්වේ.

එසේ හෙයින්, ප්‍රශ්නගත ව්‍යාපෘති පනතට එරෙහිව ගොනුවූ පෙත්සම් විභාගයට ගැනීමට එම ව්‍යාපෘතිය කෙටුම්පත් කිරීමට දායක වූ විනිසුරුවරුන්ම පත්කර තිබීම පැහැදිලි වශයෙන් ම ළබැඳියාවන් අතර ගැටුමක් (conflict of interest) නිර්මාණය නොකරන්නේ ද?

ස්වභාවික යුක්ති රීතියේ කරුණු දෙකෙන් එක් කරුණක් වන "Nemo Judex in causa sua" (කිසිදු විනිසුරුවරයකු තමාගේ නඩුවේ විනිසුරු විය නොහැක) යන සිද්ධාන්තය මෙහිදී අපට සිහි නොකැඳවන්නේ ද?

එබැවින්, මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා පත්කළ විනිසුරු මඬුල්ල පිළිබඳ යළි සලකා බැලීමට අග්‍රවිනිශ්චයකාරතුමන් කටයුතු කළ යුතු නොවේද?

අධිකරණ ක්‍රියාදාමය තුළ හුදෙක් යුක්තිය ඉටු කළේ යැයි ප්‍රකාශ කර සිටීම ප්‍රමාණවත් නොවන අතර එය යුක්තිය ඉටු කළ බව පෙනී යන අයුරින් සිදුකළ යුතු ය. මහාචාර්ය එස්. ඒ. ද ස්මිත් සිය ‘නව පොදුරාජ්‍ය මණ්ඩලයේ මූලික අයිතිවාසිකම්’ (‘Fundamental Rights in the New Commonwealth’) (1981) නම් ලිපිය හරහා අවධාරණය කරනු ලැබුවේ ව්‍යවස්ථාමය අර්ත නිරූපණයේ වැදගත්කම හඳුනා ගැනීමට අසමත් අයගේ අඛණ්ඩතාව හා ස්වාධීනත්වය සහතික කිරීමේ වැදගත්කමයි. 

අධිකරණයේ ගුණාත්මකභාවය හා තත්ත්වය එය සතු වගකීම් හා අනුකූල නොවන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හුදෙක් හිස් ලේඛනයක් බවට පත් වීම වැළැක්විය නොහැකි වනු ඇත.