සාරා ජීවතුන් අතරදැයි තාම දන්නෙ නෑ. සයින්දමර්දු මෘතදේහ යළි ගොඩගෙන පරීක්ෂණ කරනවා - වීරසේකර

සාරා ජීවතුන් අතරදැයි තාම දන්නෙ නෑ. සයින්දමර්දු මෘතදේහ යළි ගොඩගෙන පරීක්ෂණ කරනවා - වීරසේකර

7 April 2021 06:17 am

කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තූන් නමැත්තාගේ බිරිඳ වූ සාරා ජෙස්මින් නොහොත් පුලස්ථිනී මහේන්ද්‍රන් නමැත්තිය ජීවතුන් අතරදැයි තවමත් නිශ්චිතවම පැවසිය නොහැකි බවත් සයින්දමර්දු නිවසේ බෝම්බ පිපිරීමෙන් මියගිය අයගේ මෘතදේහ යළි ගොඩගෙන ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. 

"මේ සාරා කියන එක්කෙනා මැරුණාද නැද්ද කියලා අපට තාම කියන්න බෑ. මොකද පළවෙනි එකේ DNA ප්‍රතිඵලවලින් ඒක සනාථ වුණේ නෑ, නමුත් .... මෙහෙමයි පළවෙනි DNA පරීක්ෂණයේ ශරීර කොටස් ගෙනල්ලා සාරාගේ මවගේ DNA සහ මේ DNA සමග සංසන්දයන කළා, ඒක සැසඳුණේ නෑ. ඒක නිසා නැවත වරක් ඒවා ගොඩගන්නවා. මොකද ශරීර කොටස් ... ශරීර සම්පූර්ණයෙන්ම නෙවෙයි. ඔයා දැක්කොත් එහෙම පුංචි ළමයි ගොඩක් මියගියා එතනින්. ඉතිං ඒවා සෑම දෙයක්ම ඊට පස්සෙ අපි චෙක් කරන්න ඕනෙ. ඒක තාම කළේ නෑ. ඉතිං එහෙම වුණොත් සාරා මැරුණාද නැද්ද කියලා අපි තාම දන්නෙ නෑ" 

ප්‍රශ්නය - අබු බකර් කියලා පොලිස් නිලධාරියෙක් සාරාට පැනලා යන්න උදව් කළා, සාරාව ඇසින් දැකපු ඇන්ටනී කියලා පුද්ගලයෙක් හිටියා. එතකොට මේ සම්බන්ධයෙන් මොනවද මේ වෙද්දි වෙලා තියෙන විමර්ශන ? 

"නෑ, මේවා සම්බන්ධයෙන් විමර්ශනය කළා. නමුත් මේවා සනාථ වෙන කිසිම සාක්ෂියක් ලැබිලා නෑ. සාරා මැරිලා නැත්නම් රෙඩ් නෝටිස් යවනවා ඉන්ටර්පෝල් එක හරහා, ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් 54 දෙනෙක් පිටරටදී අත් අඩංගුවට ගත්ත අයගෙන් 50 දෙනෙක් අපි ලංකාවට ගෙනල්ලා තියනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වශයෙන් නවුෆර් මවුලවිව හඳුනාගත් බව ප්‍රකාශයට පත්කිරීම සඳහා ඊයේ (06) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN