බන්දුලගේ 1000 බඩු මල්ල යහපාලනේ අන්තිම කාලෙ ගත්තා නම් රුපියල් 600යි යන්නේ - අසේල සම්පත්

බන්දුලගේ 1000 බඩු මල්ල යහපාලනේ අන්තිම කාලෙ ගත්තා නම් රුපියල් 600යි යන්නේ - අසේල සම්පත්

6 April 2021 09:18 am

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සතොස ආයතනය හරහා ලබාදෙන රුපියල් 1000 සහන බඩු මල්ලේ අඩංගු භාණ්ඩ ප්‍රමාණය යහපාලන ආණ්ඩුවේ අවසන් කාලසීමාව තුළ මිලදී ගත්තේ නම් ඊට වැය වන්නේ රුපියල් 650 - 600 අතර ගණනක් පමණක් බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසයි. 

"මේ වෙනවිට රටේ වැඩියෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නෙ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් දෙන මෙන්න මේ බඩුමල්ල. මේ බඩු මල්ලෙ මිල රුපියල් 1000යි. මං මේ බොරැල්ලෙ සතොසෙන් ලබාගත්ත බඩු මල්ල. 

මේ බඩු මල්ලෙ බර නම් තියෙනවා. ඒත් ඒකෙ තියෙන ප්‍රධාන ගැටළුව තමයි අපි අහනවා බන්දුල ඇමතිවරයාගෙන් මේ 1000ට දෙන බඩු මල්ල ලබාගත්තායින් පස්සෙ පාරිභෝගිකයාට ලබාදිය යුතු බිල්පත ලබා නොදෙන්නේ ඇයි කියන එක පළවෙනි ප්‍රශ්නය. 

දෙක, මේ බඩු මල්ලේ තිබෙනවා කාටවත් නොපෙනෙන ඉතාම දරුණු ගණයේ වංචාවක්. ඒ තමයි මුඛ ආවරණ වංචාව. මේ මුඛ ආවරණය වෙළඳපොලෙන් රුපියල් 10ට විතර ගන්න පුළුවන්, මේකෙන් දහදාහක් විතර ගන්නවා නම් රුපියල් 7ට ගන්න පුළුවන් පීපල්ස් පාක් එකෙන්. එහෙම නම් කොහොමද මේකට රුපියල් 14ක් මේ 1000 බඩු මල්ලට එකතු කළේ මේ ගොල්ලො ? මේ මළු ලක්ෂයක් දැම්මා නම් සතොස අලෙවිසැල් 440 ගාණට මාස්ක් ලක්ෂයක් ගිහින් තියෙනවා. එතකොට සැපයුම්කරුට ලක්ෂ 14ක් ගෙවලා තියෙනවා. එතකොට එයා රුපියල් ලක්ෂ 5ක් විතර අහිංසක විදියට සාක්කුවට දාගන්නවා.  

තුන, මේං තියෙනවා බෑග් එකේ පරිප්පු. මේ පරිප්පු තමයි පහුගිය දවසක වැලිගම සමූපකාරෙ තිබිලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කිලෝ දහස් ගාණක් ඇෆ්ලටොක්සීන් අඩංගුයි කියලා විනාශ කළේ. හැබැයි ඒ ප්‍රවෘත්තිය රට තුළ ඉතා වේගයෙන් යන්න දුන්නෙ නෑ, වැහුවා. මොකද මේ පරිප්පු ප්‍රශ්නය ආවොත් තවත් ආණ්ඩුව අපහසුතාවට පත්වෙන හින්දා. මේ පරිප්පු වැලිගම සමූපකාරෙ තිබිලා අහුවුණා නම්, සමූපකාරෙ කියන්නෙ සතොස ආයතනයක්. එහෙනම් වැලිගම සමූපකාරෙ පරිප්පුවල ඇෆ්ලටොක්සීන් තියෙන්නත් සතොසෙන් දෙන මේ පරිප්පුවල ඒවා නොතිබෙන්නත් හේතුව මොකද්ද ?

මේ තිබෙනවා බෑග් එකේ තේ කුඩු පැකට් එකක්. මං මේක කඩලා පෙන්නම් මේකෙ තනිකර තියෙන්නෙ තේ කුඩු. තේ කුඩු කියලා ජාතියක් ලංකාවෙ නෑ, ලංකාවෙ තියෙන්නෙ තේ කොළ. තේ කොළ වලට උණුවතුර දාපුවාම තත්පර කීපයක් ඇතුළත ඒ තියෙන සාරය එන්නෙ. හැබැයි මේ තියෙන්නෙ තේ ෆැක්ටරි වලින් අයින් කරන සම්පූර්ණ සූපින් කොළ කොටලා ඩයි දාලා. මේකෙ තියෙන්නෙ තනිකර ඩයි. පුළුවන් නම් නැහැයි කියන්න ඇමතිවරයාත් ප්‍රමිති ආයතනයත්. මෙන්න අභියෝගය, එහෙම කිව්වොත් හෙට අයින් වෙනවා මේ අසේල සම්පත් සිවිල් ක්‍රියාකාරීත්වයෙන්. 

හාල් වර්ග තුනක් තියෙනවා කිව්වට මේකෙ තියෙන්නෙ හාල් වර්ග දෙකයි. මේ තියෙනවා සුදු කැකුළු, කෝ නාඩු ? කෑලි මිරිස් එකක් තියෙනවා. ඒක හදලා තියෙන්නෙ ඇෆ්ලටොක්සීන් නිසා ප්‍රතිඅපනයනය කරන්න කියපු මිරිස්වලින් නෙවෙයිද කියලා අපි අහනවා. මේ ලුණුකුඩු පැකට් එකක් දාලා තියෙනවා, රුපියල් 65ක් ගහලා, මේක ගන්න පුළුවන් රුපියල් 35 - 40ට තොග මිල. 

මේ බඩු මල්ල 2015 යහපාලන ආණ්ඩුවෙ කාලෙ, අවසන් කාලෙ මේ බෑග් එකෙ තියෙන බඩු ටික ගත්තා නම් මේකට යන්නෙ රුපියල් 650 - 600ත් අතර ගාණක් යන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අසේල සම්පත් මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 


RN