මේ ආණ්ඩුව පත්තර ගහනවා වගේ මුදල් අච්චු ගහනවා. 2021 අන්තිම වෙනකොට තරු පෙනෙයි - රනිල්

මේ ආණ්ඩුව පත්තර ගහනවා වගේ මුදල් අච්චු ගහනවා. 2021 අන්තිම වෙනකොට තරු පෙනෙයි - රනිල්

8 March 2021 06:21 am

වත්මන් ආණ්ඩුව අතිවිශාල වශයෙන් මුදල් අච්චු ගසමින් සිටින නිසා මේ වසරේ අවසානය වනවිට බඩුමිල නොසිතූ විරූ ආකාරයෙන් ඉහළ යනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

"මේ රජය ආදායම් අඩු කරගත්‍ත නිසා අද රජයට තමන්ගෙ සාමාන්‍ය වැඩකටයුතු සඳහා ඇත්ත වශයෙන්ම ආදායමක් නැහැ. ඒ ආදායමක් නැති නිසා තමයි මුදල් මුද්‍රණය කරන්නෙ. වෙන එකක් තියා අද ඔය ඉරිදා පුවත්පත්, සතියේ දවස්වල පුවත්පත් වාගේම මුදල් මුද්‍රණය කරනවා. 2010 මහින්ද රාජපක්ෂ යටතේත් 2015 අපෙ ආණ්ඩුව යටතේත් ඒ අවුරුදු 10 තුළ එකතුව මුද්‍රණය කරපු මුදල් ප්‍රමාණයට වඩා තුන් ගුණයක් මුදල් මුද්‍රණය කරලා තියෙනවා.

අපි එදා බාරදීලා ගියා ඩොලර් කෝටි 750ක් විදේශ සංචිත, දැන් ඒක ඩොලර් කෝටි 450ට අඩුවෙලා තියෙන්නෙ. අපිට බැන්නා මොකුත් කරන්නෙ නෑ කියලා, ඒත් අපි ආර්ථිකය හැදුවා. දැන් තමයි තේරෙන්නෙ. අපි සෞඛ්‍යයට මුදල් වියදම් කළා. හදිසි ප්‍රතිකාර වාට්ටු වැඩිකළා, සුවසැරිය ආරම්භ කළා. අපි ඒ වගේම දුන්නා අධ්‍යාපනයට. ටැබ් දෙන්න ගියාම එදා ඔක්කොම විරුද්ධ වුණා. එදා ටැබ් දුන්නා නම් අද අධ්‍යාපනයේ ප්‍රශ්න කොටසක් විසඳෙනවා.  අද සල්ලි නෑ ටැබ් ගේන්න. 

අපි කණගාටුවෙනවා මොකද කොයි ආණ්ඩුවක් තිබුණත් මේ රට ඉදිරියට ගෙනියන්න තිබුණෙ. අපි කරපු හොඳවැඩ ආරක්ෂා කරලා, අඩුපාඩුකම් හදලා ඒකෙන් ලැබෙන ආදායමෙන් තවත් සහන දීලා ඒකෙන් දේශපාලන වාසිය ගන්න තිබුණා. ඒ වෙනුවට හැම එකක්ම දැන් කඩලා දාලා. ඉතින් දැන් බඩුමිල වැඩිවෙලා තියෙන්නෙ. මේක ආරම්භය විතරයි. මේ අවුරුද්ද අවසානය වෙනකොට තමයි තරු පෙනෙන්න පටන් ගන්නෙ. 

මේක හදන්න සාමාන්‍ය ආණ්ඩුවකට දශකයකට වඩා කාලය යනවා. එතකොට තමන්ගෙ තරුණ යුගය ගිහින් ඉවරයි. ඊටත් වඩා මේ ආණ්ඩුව කෙරෙහි තරුණයන්ගෙ බලාපොරොත්තුවක් තිබුණා. ජනාධිපතිවරණයෙදි තරුණයො ගිහින් ඡන්දෙ දුන්නා. මැද පන්තිය ගිහින් ඡන්දෙ දුන්නා. මොකක්ද අද වෙලා තියෙන්නෙ ? ඒ ඡන්දය දුන්න තරුණයන්ගෙ විශ්වාසය කඩකරලා ඒ තරුණයින්ගෙ අනාගතය නැතිවෙනවා. 

දැන් ආර්ථික ප්‍රශ්න එනකොට තරුණයින් කෑගහන්න යනවා. කෑගහන්න ගියාම ඔයගොල්ලො නිදහස සීමා කරනවා. එතකොට බඩටත් ගහලා කටටත් ගහනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) බොරැල්ල ප්‍රදේශයේ පැවති "ග්‍රීන් බ්ලඩ්" තරුණ සංවිධානයේ සාකච්ඡාවක් අමතමිනි. 

RN