පාස්කු කොමිසම පත්කළේ යහපාලන ආණ්ඩුවෙන්. ඒ වාර්තාවෙ වගකීම අපි බාරගන්නෙ නෑ - ලන්සා

පාස්කු කොමිසම පත්කළේ යහපාලන ආණ්ඩුවෙන්. ඒ වාර්තාවෙ වගකීම අපි බාරගන්නෙ නෑ - ලන්සා

27 February 2021 11:16 am

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළේ පසුගිය යහපාලන රජය විසින් බැවින් එම කොමිෂන් වාර්තාවේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය විසින් බාර නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි. 

"පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම පත්කළේ යහපාලන ආණ්ඩුව. ඒ නිසා ඒ කොමිෂන් වාර්තාවෙ වගකීමත් අපි ගන්නෙ නැහැයි කියන එක ඉතාම පැහැදිලිව මේ අවස්ථාවෙදි කියන්න ඕනෙ. 

මොකද, ඒ සමහර තීන්දු තීරණ පිළිබඳව අද සමාජයේ මත ගැටුමක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම කතෝලික පුද්ගලයෙක් විදියටත් කතෝලික සභාව නියෝජනය කරන පුද්ගලයෙක් විදියටත් මම කියන්නෙ අපි කොයිම අවස්ථාවකවත් මේ රටේ සිංහල බෞද්ධ සංවිධාන පිළිබඳව හොයන්න කිව්වෙ නෑ. ඒ වාර්තාව පදනම් කරගෙන මේ රටේ සිංහල බෞද්ධ ජනතාව සහ මේ රටේ කතෝලික ජනතාව අතර ප්‍රශ්න ඇතිකිරීම සඳහා තමයි කවුරුහරි උත්සාහ කරලා තියෙන්නෙ කියන එක මට පේනවා. 

කතෝලික මන්ත්‍රීවරු ලෙස අපි කියන්නේ පාස්කු ප්‍රහාරය වාර්තාව නිසා යම් කිසි සිත්තැවුලක් සමහර සංවිධානවලට වෙලා තියෙනවා නම් පාස්කු ප්‍රහාරය පිලිබද සොයා බලපු ඒ කමිටුවට අපගේ විරෝධය ප්‍රකාශ කරනවා ඒ කටයුත්ත කිරීම පිළිබඳව.

අපි මේකෙදි බැලුවෙ, මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ මේ රටේ බෞද්ධ ජනතාව නෙවෙයි, ස්වාමීන් වහන්සේලා නෙවෙයි. මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ ත්‍රස්තවාදීන්. ඒ ත්‍රස්තවාදීන්ට උදව් කළේ කවුද, අනුබල දුන්නෙ කවුද කියන එකයි අපි බලාගෙන හිටියෙ එන්න. හැබැයි ඒකත් මේ කොමිෂන් වාර්තාව තුළ ඇවිල්ලා නෑ. ඒ නිසා මේ කොමිෂන් වාර්තාව පිළිබඳ අපට දැඩි අප්‍රසාදයක් තියෙනවා කියන එක අපි කියන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය නිමල් ලංසා මහතා මේ බව පැවසුවේ ඊයේ (26) මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 


RN