මම අමාරුවේ වැටුණේ දේශපාලන යක්ෂයෙක් එක්ක නොගැළපෙන විවාහයක් කරගෙන - පාස්කු කොමිසමේදී මෛත්‍රී කියූ කතා

මම අමාරුවේ වැටුණේ දේශපාලන යක්ෂයෙක් එක්ක නොගැළපෙන විවාහයක් කරගෙන - පාස්කු කොමිසමේදී මෛත්‍රී කියූ කතා

13 October 2020 10:56 am

තමන් දේශපාලන යක්ෂයෙකු සමඟ නොගැළපෙන විවාහයක් කරගෙන ඇති බව වැටහුණේ යහපාලන ආණ්ඩුවේ  බැඳුම්කර ගණුදෙනුවෙන් පසුව බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේය. 

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනි. 

ඒ අනුව රටත් ජනතාවත් බේරාගැනීමට තමන්ට විශාල කැපකිරීමක් මෙන්ම සටනක් කිරීමට සිදු වූ බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ. 

අවසානයේ බැරිම තැන තමන්ට ආණ්ඩුව වෙනස් කිරීමට සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කළ බව හෙතෙම සඳහන්  කරන ලදී.

එහෙත් පැවති නීතිමය තත්ත්වය මත යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් වූ අතර තමන්ගේ උපදෙස් ක්‍රියාත්මක නොකරන ලෙස වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබූ  නිසා අන්තවාදයට එරෙහිව තමන් දුන්  උපදෙස් හා නියෝග ක්‍රියාත්මක නොවු බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ. 

හිටපු ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කරන පසුබිමක පසුගියදා හිටපු අගමැතිවරයා මෙම කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂියක් සම්බන්ධයෙන් සක්ෂිකරුගේ අවධානය යොමු කිරීමට සාක්ෂිය මෙහෙය වූ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කටයුතු කළාය. 

එහිදී ඇය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවේ 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සමය වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාට වැඩි ජන්ද ප්‍රමාණවත් ලෙස නොතිබුණු අතර පක්ෂ අතර එකඟතාවක් ඇතිකර ජන්ද ලබා ගැනීමට කටයුතු කළේ තමන් බවට වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කුමන අදහසක් දරන්නේ ද යන්නයි. 

ඊට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ එය දේශපාලන වේදිකාවේ කරන කතාවක් බඳු වන අතර එය ඔහුගේ පාර්ශවයේ කතාව වන නමුත් තමන්ගේ පාර්ශවයෙන්ද කීමට දේ ඇති බවයි. එහෙත් ඊට කොමිසමේ කාලය නාස්ති කිරීමට තමන් අකැමති බවයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ. 

2015 ජනාධිපතිවරණයට තමන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවද තමන් නිර්දේශපාලනයක යෙදෙන බවට එකඟත්වයක් හෝ සාකච්ජාවක් සිදුකර නොතිබුණ බවද හෙතෙම අවධාරණය කළේය. 

කෙසේවෙතත් 2015 වසරේදී තමන් ජනාධිපතිධූරයට පත්වී සතියක් වැනි කෙටි කාලයක් තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ තමන් අතර විවිධ මත ගැටුම් ඇතිවීම ආරම්භ වූ බව කියා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ එහි ආරම්භය සිදු වූයේ මහ බැංකුවේ අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්කිරීමට කළ බලවත් ඉල්ලීමත් සමගයි. 

විදේශිකයෙකු එලෙස පත්කිරීමට හැකියාවක් නොමැති බව ජනාධිපතිවරයා ලෙස තමන් පෙන්වා දුන්නද ජනාධිපති ලෙස පත්ව සතියක වැනි කාලයකින් පසු අගමැතිවරයා කරන ලද ඉල්ලීම බැහැර කිරීමට තමන්ට නොහැකි වූ බවද මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන ලදී.   

නව රජයක් බලයට පත් වී සතියක් වැනි කෙටි කාලයක් තුළ මත ගැටුම් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් තමාටත් නොතිබූ හෙයින් විරෝධය නොතකා අග්‍රාමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම හමුවේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාව එම ධූරයට පත්කිරීමට ඉඩ ලබාදුන් බව බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ. 

එහෙත් බැඳුම්කර වංචාවෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක්  පත්කිරීමෙන් පසුව වික්‍රමසිංහ මහතා තමන් සමඟ දැඩි වෛරයකින් පසු වූ බවයි කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවකට පරීක්ෂණ සිදුකළේ රාජ්‍ය නොවන සංවිධානවල සහ දේශපාලන බලපෑම් මත බව පැවැසූ හෙතෙම  ප්‍රකාශ කළේ ද්වීපාර්ශ්වික රජයේ සිදු වූ අවාසානාවන්ත තත්ත්වය යටතේ අන්තවාදය වර්ධනය වූ බවයි.

එමෙන්ම තමන් ආරක්ෂක මණ්ඩලය හමුවේ මෙන්ම විවිධ අවස්ථාවන්වල ත්‍රිවිධ හමුදා පොලීසිය ඇතුළු නිලධාරින් හමු වී සාකච්ඡා කරන බවත් උපදෙස් ලබා දී තිබූ බවත් කියා සිටි ම්‍රෛත්‍රිපාල සිරිසේන මහතා මෙම තොරතුර ප්‍රබල බව දැනගෙන ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන  අය වගකිව යුතු බවද කියා සිටියේය.
 
බහු ආගමික බහු වාර්ගික රටක් වූ ශ්‍රී ලංකා රජය ගත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී දේශීය මෙන්ම විදේශීය බලවේග ක්‍රියාත්මක වු බවත් ආගමික අන්තවාදයන් පිටුපස ජාත්‍යන්තර සංවිධාන තිබූ බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා ළදරු මාතෘ වැඩිහිටි සුබසාධනයන් කියා ලියාපදිංචි වී ජාතිවාදී, අන්තවාදී දේ සිදු කිරීමට NGO  කටයුතු කළ බවද සඳහන් කරන ලදී.  

එපමණක් නොව ජාතික තවුහිද් ජමාත් නායක සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබියදී එය සිදුනොකිරිම ගැන අදාළ නිලධාරීන් වගකීම ගත යුතු බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 

මේ අතර සාක්ෂි මෙහෙයවීම ආරම්භයේදීම යහපාලන ආණ්ඩු සමයේ ආරක්ෂක ලේකම්වරු සහ ජනධිපති ලේකම්වරු මාරු කිරීම සම්බන්ධයෙන් මෙම කොමිසමට සහය දක්වන රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සක්ෂිකරුගෙන් කරුණු විමසන ලදී. 
 
එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලෙස සඳහන් කළේ එලෙස ලේකම්වරු මාරු කිරීමට හේතු රාශියක් බලපෑ බවයි.   

''ආරක්ෂක ලේකම් කියන්නේ රටේ තියෙන ලේකම් තනතුරුවලින් ප්‍රධානතම තනතුරක්. ජනාධිපති ලේකම්ට පසුව තිබෙන ඊළඟ ප්‍රබලම තනතුර. මේ යටතේ තමයි ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තියෙන්නෙ. හමුදා 4ක පරිපාලනය ඔහුට කරන්න වෙනවා. රාජ්‍ය සේවයේ අත්දැකීම් තිබෙන ඉතා දක්ෂ සුදුසු පුද්ගලයන් තමයි මම මේ තනතුරට පත් කළේ. නමුත් මම දැකපු කාරණයක් තමයි ඔවුන් මේ තනතුරට ආවම ආරක්ෂක ලේකම්වරයාගේ මානුෂීය බව නැතිවෙනවා. ඒ නිසා යම් යම් ප්‍රශ්න ඇතිවුණා. ආරක්ෂක ලේකම්වරු මාරු කරන්න හමුදාපතිවරුන්ට ඇති වුණ හිත් රිදීම් ගොඩක් හේතුවුණා. සමහරු සෞඛ්‍ය තත්ත්වයන් හේතුකරගෙන ඉවත් කරන්න වුණා.  සමහරුන්ට  ආයතන ප්‍රධානීන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ ගැටුම් ඇති වුණා. ඒකයි එවැනි මාරු කිරීම් කළේ.''

මේ අතර තවත් කරුණු කිහිපයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරමින් රහස්‍යභාවය රැකෙන පරිදි ලිඛිතව සටහන් කර කොමිසම හමුවට භාර දෙන ලදී. 

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය:මේ කොමිසමේ සාක්ෂි දුන් සාක්ෂිකරුවන් පැවසුවා එලෙස ආරක්ෂක ලේකම්වරු නිරන්තරයෙන් මාරු කිරීම නිසා ඔවුන් සමඟ කටයුතු කරද්දී, බුද්ධි තොරතුරු දැනුම්දෙන කොට, රටේ ආරක්ෂාව ගැන දැනුම්වත් කරනකොට යළි යළිත් දැනුම්වත් කරන්න වුණ නිසා ප්‍රායෝගික ගැටලු ඇති වුණා කියලා. ඒ ගැන ඔබ මොකද කියන්නෙ ?

සාක්ෂිකරු: පළවෙනි කාරණේ තමයි ලේකම්වරු වෙනස් වුණාට ඔය කියන විදියේ ප්‍රශ්නයක් මතුවුණේවත් මතුවෙන්නේවත් නැහැ. මම දන්න තරමට සතිපතා සැම අඟහරුවාදවකම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වුණා. එතන ඔය කියන හැම කරුණක්ම කතා කරනවා. එතනට ඔක්කොම එකතුවෙනවානෙ. ආරක්ෂක ලේකම් වෙනස් වුණා කියලා දැනුම්වත් වීමේ ගැටලුවක් වෙන්නේ නැ. ඊළඟට ආරක්ෂක කවුන්සලයේ ආයෙත් ඒවා කතාකරන නිසා ඔවුන් යළි දැනුම්වත් වෙනවා. ආරක්ෂක කවුන්සලයේ පමණක් නෙවෙයි මම ආරක්ෂක ලේකම්ව සතියකට දෙකකට වතාවක් හෝ කැඳවලා රටේ ආරක්ෂාව ගැන කතා කරනවා. ඉතින් එහෙම ලේකම් මාරු වුණා කියලා ගැටලු ඇතිවෙන්නෙ නැහැ මම දන්න විදියට.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය:ඔබතුමා දන්න විදිය ඒක වුණාට මේ කොමිසමේ දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් ඊට පරස්පර සාක්ෂි ඉදිරිපත් වුණා. හොදයි ඔබතුමා කියන විදියට සතිපතා අඟහරුවාදා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම් පැවැත්වුණා කියල ඔබ හිතනවද ?

සාක්ෂිකරු: මම දන්න තරමින් රැස්වුණා. මට ආරක්ෂක කවුන්සලයේදී කියනවානේ බුද්ධි රැස්වීම පැවැත්වුවා කියලා. 

හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ සාක්ෂි මෙහෙයවනු ලැබූ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විසින් මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත්ව ඇති 2015.07.28 සිට 2019.07.21 දක්වා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වූ දින සටහන් සම්බන්ධයෙන් වාර්තාවක්  හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකරන ලදී. 

එමගින් අනාවරණය වුණේ 2016 අගෝස්තු මාසයේ සති හතර හැර අඛණ්ඩව බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම එම වසරේ පවත්වා නැති බවයි.

එමෙන්ම 2017 වසරේ ද මැයි මාසයේ සති හතර අඛණ්ඩව එම රැස්වීම පවත්වා ඇති නමුත් සෙසු එකඳු මාසයක හෝ අඛණ්ඩව බුද්ධි රැස්වීම් පවත්වා නැති බවද මෙහිදී හෙළිවිය. 

මීට අමරව 2018 සහ 2019 යන වර්ෂවල අඛණ්ඩව බුද්ධි රැස්වීම පැවැත්වූ එකදු මාසයක් හෝ එම ලේඛණයේ අන්තර්ගත නොවූ අතර 2018 වසරේ පමණක් අප්‍රේල්, ජුනි, අගෝස්තු, සැප්තැම්බර් සහ නොවැම්බර් යන මාසවල එක් දිනක හෝ බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම පවත්වා නැතැයි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ජනාධිපති කොමිසමේ ප්‍රකාශ කළාය. 

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය: දැන් පේනවද හිටපු ජනාධිපතිතුමනි, එහෙමනම් ආරක්ෂක කවුන්සලයේ ඔබට දැන්වුවට බුද්ධි රැස්වීම පැවත්වෙනවා කියලා ඒක අසත්‍යයක් නේද ? 

සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි. මේකෙන් පෙනී යනවා මම ආරක්ෂක ලේකම්වරු අයින්කිරීම නිවැරදි කියලා. සතිපතා බුද්ධි රැස්වීම නොපැවැත්වීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කළයුතු මූලිකම දෙය පැහැර හැරීමක් ලෙස තමයි හැඟෙන්නෙ. මටත් බොරුව තමයි කරලා තියෙන්නෙ. 

ඒ කාලේ NGO වලට අවශ්‍ය දේවල් තමයි වුණේ

එමෙන්ම මෙහිදී නීතිය හා සාමය ඇමති ධූරය දැරූ සාගල රත්නායක මහතා එම ධූරයෙන් ඉවත්ව ඊට අගමැතිවරයා පත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු විය. 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් බලය අගමැතිවරයා අතට පත්වීම නිසා එලෙස සාගල රත්නායක මහතා ඉවත්වී එය රනිල් වික්‍රමසිංහ මහතා අතට පත් වූ බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන ලදී. 

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය:හොදයි ඔබතුමාට කියන්න පුලුවන්ද ඇයි එවකට නීතිය හා සාමය ඇමති ධූරයෙන් සාගල රත්නායක මහත්මයා ඉවත්වෙලා රනිල් වික්‍රමසිංහ මහතා පත්වුණේ කියලා ? 

සාක්ෂිකරු: ඒ වෙද්දි 19 සංශෝධනය වෙලා අවසන් නිසා අගමැතිට අවශ්‍ය අමාත්‍යාංශ පවරගන්න පුලුවන්. ඒ අනුව කළ ඉල්ලීමක් මත තමයි රනිල් වික්‍රමසිංහ මහත්තය නීතිය හා සාමය අමාත්‍යවරයා වුණේ. 

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය:ඔබතුමා සාගල රත්නායක මහතා ඇමති ධූරය දරන අවස්ථාවේ එතුමාව හා CID නිලධාරින් පිරිසක් කැඳවලා  ආරක්ෂක අංශවල නිලධාරින් අත්අඩංගුවට ගැනීම් හා ඔවුන්ව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ තැබීම් ගැන විමසීම් කළාද?

සාක්ෂිකරු:මේ රටේ කවුරුත් දන්නවා 2015 සිට 19 බලතල ලැබීමත් සමඟ ද්වී පාර්ශවීය ආණ්ඩුවේ ඇතිවුණ ගැටුම් ගැන. ඒවට හේතු ගණනාවක් බලපෑවා. ඔය සාගල ඇමතිතුමා හා CID නිලධාරින් ගෙන්වලා මම හොදටම දොස් කිව්වා හමුදා නිලධාරින් අතඩංගුවට ගැනීම ගැන. එවකට සලේ මහත්තයාව හිරේ දාන්න රාජ්‍ය නොවන සංවිධාන (NGO) එක්ක දේශපාලකයො කටයුතු සකස් කරලා තිබුණේ. ඒ නිසා තමයි මමයි හිටපු යුධ හමුදාපති කෙනෙකුයි එකතු වෙලා සලේට LTTE බලපෑම් තියෙනවා කියලා මැලේසියාවට යැව්වේ. නැත්නම් දානවා හිරේ. යුධ, ගුවන්, නාවික නිලධාරින්ව උසාවි අරන් ගියා. තව නිලධාරින් ගොඩක් රිමාන්ඩ් කළා. මම දැනගෙන හිටියේ නැහැ හිටපු ආරක්ෂක ලේකම්ව සහ හමුදා නිලධාරින්ගෙන් ප්‍රකාශ ගන්න අරන් ගියා කියල. පස්සෙ දවසේ මම පදනම් ආයතනයේ තිබුණ රැස්වීමකදී දැඩි  ප්‍රකාශයක් කළා ඒ ගැන. එතකොට අර අල්ලස් හෝ දූෂණ එකේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ගැන මම කිව්වා එයා දවල්ට අල්ලස් එකේ වැඩ කරනවා හවසට අරලිය ගහ මන්දිරේ දේශපාලනය කරනවා කියලා. දවස් දෙකකට පස්සෙ එයා යන්න ගියා තනතුරෙන්. ඒ වෙලාවෙ රජය පැත්තෙන් යුධ නිලධාරින් බේරගන්න හිටියේ මම විතරයි. ඒකයි සාගල රත්නායකවයි CID නිලධාරින් ගෙන්නල මම තදින් ඇහුවේ මොකක්ද මේ කරන්නෙ කියලා. ඕවා දිගින් දිගට ගිහින් මහ බැංකු බැදුම්කරේ වගේ දේවල් වුණා. ඒ වගේම පන්සලක පෙරහැරක් යන්න බැරි තත්ත්වයක් ඇතිවුණා. සත්ත්ව හිංසනය කියලා රජයට ඒ අලින්ව අරගෙන වෙන වෙන දේවල්වලට පාවිච්චි කළා. මහනුවර පෙරහැර පවා නවත්තන්න ගියා අලි නැතුව. ඒ වගේ මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට ලොකු බලපෑමක් මේ අය කළා. ඒවගේ කාරණා රැසක පිපිරීම තමයි රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ඉවත් කරලා මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති කළේ. ඊට පස්සේ පාස්කු ප්‍රහාරය ඇතිවුණාම ලොකු ජනමතයක් ඇති වුණා මද්‍රසා, අන්තවාදය, පිටරට දේශකයන් ගැන. ඒ වෙලාවෙ පාර්ලිමේන්තුව තුළ අලුතින් නීති හඳන්න එකඟ වුණා. නමුත් පසුවට ඒවා ක්‍රියාත්මක නොකර ඔක්කොම යට ගියා. මේවා තමයි මේ ඔක්කෝටම බලපෑවේ ස්වාමීනි.  

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය:ඔබ කිව්වනේ සාගල ඇමතිවරයා සහ නිලධාරින් ගෙන්නලා දොස් පැවරුවා කියලා. ඕනෑම කෙනෙක් නීතියට යටත්නෙ. නීතියට පිටින් කාටවත් යන්න බැ. අනික CID එක කළේ යුධ අපරාධ සම්බන්ධ නඩු විමර්ශන නෙවෙයි නේද ?

සාක්ෂිකරු:නැහැ නැහැ අපිට යුධ අපරාධ චෝදනා තිබුණේ නැහැ 

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය:ඒ කියන්නේ එම නිලධාරින් සාමාන්‍ය පොලිස් බලතල පාවිච්චි කරලා නේද එම පරීක්ෂණ කරගෙන ගියේ?

සාක්ෂිකරු:CID එක ස්වාධීනව නෙවෙයි පරීක්ෂණ කළේ. මට තොරතුරු ලැබුණා ඒ පරීක්ෂණවලට NGO හා ඇතැම් දේශපාලන කණ්ඩායම් බලපෑම් කරනවා කියලා. මම ඒකයි මැදිහත් වුණේ ඒ අයට හසුරවන්න නොදී. මං මේ දේවල් ගැන කතාකරපු ගමන් NGO ප්‍රවෘත්ති සාකච්ඡා තියල නිවේදන දානවා නැත්නම් උද්ඝෝෂණ කරනවා. 

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය:ඔබ දොස් පැවරුවාට එම CID විමර්ශකයන් තමන් කරන කටයුතු ගැන නිරන්තරයෙන් ගරු මහේස්ත්‍රාත්තුමාට කරුණු දක්වන බව ඔබ දන්නවාද ? 

සාක්ෂිකරු: මම ඒ ගැන නම් දැනගෙන හිටියේ නැහැ. මම දොස් කිව්වෙ නම් NGO කාරයෝ මේකට සම්බන්ධ වුණ නිසා මිසක් මේ අපක්ෂපාත පරීක්ෂණවලට නෙවෙයි.

ඔබ උපදෙස් හා නියෝග දුන්න නම් කොහොමද ස්ථාන 08කදී අප්‍රේල් 21 පිපිරීම් මාලාවක් වෙන්නේ?

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය:ඔබතුමා මීට පෙර දවසේ කිව්වා රටේම ඉන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් කැඳවලා මාසිකව රැස්වීමක් පැවැත්වුවා කියලා. මේකෙදී මේ අන්තවාදය ගැන කතා වුණේ නැත්ද ?

සාක්ෂිකරු:ඔය කාලය වෙද්දි මුස්ලිම් අන්තවාදය විතරක් නෙවෙයි, සිංහල බෞද්ධ අන්තවාදය වගේම හින්දු අන්තවාදය ගැනත් කතා වුණා. කතෝලික මූලධර්මවාදය ගැනත් අවධානයෙන් හිටියේ. ඒවට අවශ්‍ය පියවර ගන්න මං හැමවිටම උපදෙස් දුන්නා. 

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය:ඉස්ලාම් අන්තවාදය ගැන ඔබට මොනවාද දැනුම්වත් කළේ ?

සාක්ෂිකරු:රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මෙන්ම යුධ හමුදා බුද්ධි අංශයත් හමුදාපතිත් ඒ ගැන දැනුම්වත් කළා. මේකට හමුදාව යෙදීමට වඩා ප්‍රාදේශීයව පොලිස් මට්ටමෙන් අන්තවාදය හිස ඔසවන්න දෙන්නෙ නැතුව අවශ්‍ය පියවර ගන්න උපදෙස් දුන්නා. ආරක්ෂක මණ්ඩලයට මේ ලැබෙන තොරතුරු මම කැබිනට් එකෙත් කතා කළා. මොකද මුස්ලිම් ඇමතිවරු විශාල ප්‍රමාණයක් හිටිය නිසා. ඒ අයට තදින්ම දැනුම්දුන්නා මේ ගැන ආගමික නායකයන් හා ප්‍රධානීන් සමග කතාකරලා වහාම පියවර ගන්න කියලා. ඒ වගේම සෙසු මන්ත්‍රීවරුන් සහභාගී වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙත් මම කියලා තියෙනවා. මම ආරක්ෂක ඇමති නිසා අන්තවාදය හෝ ත්‍රස්තවාදය ව්‍යාප්ත වෙනවා දකින්න මම කැමති වුණේ නැහැ රටට ආදරය කරන කෙනෙක් විදියට.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය:ඔබ රටේ ප්‍රධානියා විදියට ආගමික අන්තවාදය ගැන හොයන්න විවිධ පාර්ශවවලට උපදෙස් දීලා තිබුණානම් හිටපු ජනාධිපතිතුමනි 2019 අප්‍රේල් 21 එක ස්ථානයක නෙවෙයිනේ  ලංකාවේ ස්ථාන අටක බෝම්බ පුපුරලා අහිංසක ජීවිත සිය ගාණක් නැතිවුණේ කොහොමද ?

සාක්ෂිකරු: මං ඒ දුන්න උපදෙස් පිළිපදින ඇතැම් නිලධාරින් හිටියා. ද්වීපාර්ශවික ආණ්ඩුවක් වුණ නිසා මං ඇමතිවරයෙක්ට ලියුමක් දීලා තිබුණත් මගේ උපදෙස් පිළිපදින්න එපා කියලා අනිත් පැත්තේ නායකයා කියලා තිබුණේ. 2018 ඔක්තෝබරයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අරන් ඇවිත් අගමැති වුණාට පස්සේ මම කියන දෙයක් කරන මට්ටමක ඇමතිවරු හිටියේ නැහැ. ඇත්තටම ඒකයි වෙලා තිබුණේ.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය:කවුද ඒ අනිත් නායකයා ?

සාක්ෂිකරු: වෙන කවුද ඉතින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ. 

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය:මොන අවස්ථාවකදීද එය දැනගත්තේ?

සාක්ෂිකරු: වැඩකරද්දී මට පැහැදිලි වුණා ස්වාමීනි. ඒ කාලේ එතුමා ආර්ථික කමිටුවක් ක්‍රියාත්මක කළා. මගේ යටතේ තමයි ජාතික ආර්ථික සභාව තිබුණේ. ජාතික ආර්ථික සභාවෙන් එන කිසිම නිර්දේශයක් පිළිපදින්න එපා කියල රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකුවටයි මුදල් අමාත්‍යාංශයටයි උපදෙස් දීලා තිබුණේ.

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය:ඒ කියන්නේ ඔතන තිබුණේ වාමාංශික හා දක්ෂිණාංශික දේශපාලන අර්බුදය ද ?

සාක්ෂිකරු:ඊටත් වඩා දූෂිත දේශපාලන ක්‍රමය තමයි ගැටලු ඇතිකළේ.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ මුස්ලිම් අන්තවාදී සංවිධාන පාලනය කළ යුතු බවත්  හලාල් ෂරියා වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයෙන් උපදෙස් දුන්නේද යන්නයි. 

ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ''සිංහල මුස්ලිම් අන්තවාදී සංවිධාන කටයුතු කිරීමේදී විදේශ තානාපති කාර්යාල‍, ජාත්‍යන්තර සංවිධාන මුස්ලිම් නීතිඥ සංවිධාන ප්‍රකාශ නිකුත් කරනවා. NGO ඒ වෙනුවෙන් පෙනී සිටිමින් කටයුතු කළ ආකාරයන් රාශියක් තිබෙනවා. අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න කොට NGO මුදල් දෙනවා. රජයක් ලෙස බරපතල අසීරු සංකීර්ණ තත්ත්වයකට අපි මුහුණ දුන්නා. ආගමික අන්තවාදයන් පිටුපස ජාත්‍යන්තර සංවිධාන තිබුණා. ළදරු මාතෘ වැඩිහිටි සුබසාධනයන් කියා ලියාපදිංචි වී ජාතිවාදී, අන්තවාදී දේ සිදු කිරීමට NGO කටයුතු කළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:බෞද්ධ අන්තවාදී සංවිධාන ගැන තීරණ ගැනීමේදී එවැනි බලපෑම් සිදුවුණාද?

සාක්ෂිකරු:යම් පාලනයක් ඇති කරගන්න අපට හැකි වුණා. ත්‍රෛයි නිකායික මහානායක ස්වාමීන් වහන්සේලා මඟින් සහ කෑ ගසන විරෝධතා කරන භික්ෂූන් වහන්සේලා හමුවී කථා කළා. මට බැරිනම් ඒ අය සමඟ සමීප අය හරහා කථා කළා. සිංහල බෞද්ධ අන්තවාදය පාලනය කර ගන්න හැකි වුණා. මුස්ලිම් අන්තවාදය පාලනය කරන්න නොහැකි වුණා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: ඇයි ඒ?

සාක්ෂිකරු:ආරක්ෂක තත්ත්වය, නායකයන් ගෙන්වා කරුණු පැහැදිලි කළා. නමුත් ඒ සංවිධානවල අය හමුවෙන්න හැකියාවක් තිබුණේ නැහැ. මම හමුවුණා නම් ඒ අය මාව විවිධ දේවල්වලට භාවිතා කරාවි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: ඔබේ කාලයේ මුස්ලිම් අන්තවාදය පාලනය කරන්න අසමත් වුණා නේද?

සාක්ෂිකරු:ඔව් මුස්ලිම් නායකයන් රජය නියෝජනය කිරීමත් ලබාදුන් උපදෙස් මුස්ලිම් නායකයන් ඔවුන්ට ලබා නොදීමත් ඊට හේතු වුණා. ඒ නිසා තමයි ආණ්ඩුවත් මාරු කරන්න වුණේ.  

සුරේෂ් සලේට එරෙහි වුණෙත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ 

ඒ වන විට ද්විපාර්ශ්වික ආණ්ඩුවක් ලෙස ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබුණු අතර ඒ බව මෙම කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා විසින්ම පිළිගන්නා ලදී. 

එම තත්ත්වය රටේ ජාතික ආරක්ෂාවට බලපාන බව මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සිය සාක්ෂිය මෙහෙයවමින් සාක්ෂිකරු වන හිටපු ජනාධිපතිවරයාගෙන් විමසන ලදුව ඊට පිළිතුරු දෙමින් හෙතෙම සඳහන් කළේ ඒවා දේශපාලන ගැටුම් වුවද එමඟින් ත්‍රිවිධ හමුදාවට,පොලීසියට හෝ බුද්ධි අංශයට බලපෑමක් ඇති නොකළ බවයි. 
 
සිරිසේන මහතාගේ විශ්වාසය එය වුවද එම තත්ත්වය ජාතික ආරක්ෂාවට බලපෑමක් එල්ල කර තිබෙන බව මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබා දී ඇති රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව පැහැදිලිවන බවයි පෙරළා රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළේ. 
 
සාක්ෂිකරු: මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ආරක්ෂක මණ්ඩලයේදී අදහස් ප්‍රකාශ කරන්න කිසිම බාධාවක් තිබුණෙ නැහැ. නිලධාරීන් නිදහසේ කරුණු ඉදිරිපත් කළා. මම උපදෙස් නියෝග දුන්නා.

මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් කොමිසම ප්‍රශ්න කළේ හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආරක්ෂක මණ්ඩලයේ කරුණු දක්වන විට යම් අයෙකු අකමැත්තක් දැක්වූවාද යන්නයි. 

මෙහිදී හිටපු ජනධිපතිවරයා සක්ෂි දෙමින් කියා සිටියේ හිටපු අගමැතිවරයා අන්තවාදය ගැන කතාකිරීම ගැන කැමැත්තක් නොදැක්වූ බවයි. 

''ඔව් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අන්තවාදය කතා කරනවාට කැමති වුණේ නැහැ. මුස්ලිම් ජනතාව නොසන්සුන් වෙයි කියල. ඔහුව මාරු කරන්න කියල හිටපු අගමැතිවරයා සහ තවත් ඇමැතිවරයෙක් කිව්වා.

කොමිසම:ආරක්ෂක මණ්ඩලයට සමහරුන්ට තහනම් කළා නේද?

සාක්ෂිකරු: සමහර අයගේ හැසිරීම් නිසා එන්න එපා කිව්වා. පොලිස්පති පූජිතගේ හැසිරීම හේතුවෙන් එන්න එපා කිව්වා. ආරක්ෂක මණ්ඩලයට ඇවිත් කෙරවලට වෙලා  ෆෝන් දෙක තියාගෙන ඔබ ඔබ ඉන්නවා. තීන්දු ගන්නෙ මොනවද කියල දන්නෙ නැහැ. මහනුවර පෙරහැරේ නැටුවා. වේදිකාවල සින්දු කිව්වා. පැය දෙක තුන කථා කළා. පොලිස්පතිවරයා ලෙස අර්බුද රැසක් මැව්වා. ඒ නිසා තමයි මම ඔහුට ආරක්ෂක මණ්ඩලයට එන්න එපා කියල දැනුම් දුන්නේ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ SDIG රවී සෙනෙවිරත්න ගෙන්වා ගත්තා. එයාට පුළුවන් පොලිස්පතිවරයා දැනුවත් කරන්න. මට කෝල් දෙන්න එපා හමුවෙන්න එපා කියල මම කිව්වා කියල පූජිත කියල තිබුණෙ සම්පූර්ණ බොරුවක්. පූජිත් ජයසුන්දර මහත්මයා ඔහුගේ නිල කාලය තුළ බොහෝ විවේචනයට ලක්වුණා. ආරක්ෂක මණ්ඩලයේ ෆෝන් ඔබ ඔබ ඉන්න එකගැළපෙන්නේ නැහැ කියල මං පෞද්ගලිකවත් කිව්වා. පොලිස්පති ලෙස ආරක්ෂක මණ්ඩලයේ හරියට ඉදිරිපත් කිරීමක්වත් කළේ නැහැ. මහනුවර පෙරහැරේ නැටුවා. දවස් දෙකකට විතර පස්සේ මාව හමුවෙන්න ආව වෙලාවේ මම ඇහුවා ඇයි මහනුවර දියවඩන නිළමේ කිව්වද පෙරහැරේ නැට්ටුවෝ නැහැ කියලා ගිහින් නටුවේ. මාතර පැත්තේ ඉස්කොලෙක් උත්සවයකට ගිහින් එතන ප්‍රශ්නයක්  වෙලා තිබුණා. ළමයි ඉදිරියේ ගුරුවරු නැගිටවලා එක එක ප්‍රශ්න අහලා. රංජිත් මද්දුම බණ්ඩාර ඇමති හිටපු කාලේ විනය පරික්ෂණයකුත් කළා. ඒකට මොනවා වුණාද කියලා දන්නේ නැහැ. STF එක සහ නාවික හමුදාව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ඇල්ලුවා. ඒ ඔත්තුකරුවන්ට සල්ලි දෙන්න ඕනේ. පූජිත්ගෙන් සල්ලි ඉල්ලුවහම සල්ලි දෙන්නේ නැහැ කියල මට STF එකෙන් පැමිණිලි එනවා. සිදුවීම් එක දිගට ආවේ. 

එක දිගට මෙහෙම වැරදි වෙද්දී මං අගමැතිතුමාව ගෙදරට ගෙනැල්ලා කතා කරන්න ඕනේ කියල හිතුවා. ඒ අනුව මම අගමැතිතුමාවත් එක්ක මංගල,තලතා, මලික් ඔය කියන ඇමතිවරු 05ක් ගෙනල්ලා සාකච්ජා කළා. දීර්ඝ වශයෙන් ඒ අය එක්ක කතා කරලා මම කිව්වා අපි පූජිත්ව මෙතනට ගෙන්වමු කියලා. ඒ අනුව මම කෝල් එකක් දීලා ඒ වෙලාවේ මගේ ගෙදරට ගෙන්න ගත්තා. එහෙම ගෙන්න ගෙන අඩුපාඩු දුර්වලතා තියෙනවා තරහට නෙවෙයි මේවා කියන්නේ හදාගන්න කියල කිව්වා. 

උත්සවවලට ගියහම පැය එකහමාර දෙක කතා කරනවා. පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කතා කරලා කියනවා අනේ සර් පොලීසියම ඉවරයි මෙයාගේ වැඩවලින් කියල. මේ වගේ ප්‍රශ්න රැසක් වුණා. අයින් කරන්නත් බැහැ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා. අර ගෙදරට ගෙනල්ලා උපදෙස් දුන්න වෙලාවේ පොරොන්දු වුණා නැවත එහෙම නොවෙන බවට. දවසක් පොළොන්නරුවේ උත්සවයකට ගිහින් හිටියා. මගේ පිටිපස්සේ හිටියේ. එතන සින්දු කියන ඒවත් තිබුණා. පූජිත් මට පිටිපස්සේ ඉදන් කිව්වා සර් මම සිංදුවක් කියන්න ද කියල. මම ඉතින් කිව්වා කියන්න කියලා. ඔන්න සින්දු කියන්න ගියා. එකක් කිව්වා. දෙකත් කිව්වා. මම හිතුවා ඉතින් ප්‍රසිද්ධ ගයකයොත් සින්දු තුනක් කියල ස්ටේජ් එකෙන් බහිනවනේ. මෙන්න හයවෙනි සින්දුවත් කියනවා. මට පුදුම තරහක් ආවේ. මං නැගිටලා ගිහින් වාහනේට ගියා. මම යනවා දැකලා ඔන්න වාහනේ ළගට ආවා. සැලියුට් එකක් ගහල සිංදුව හොඳද සර් කියල ඇහුවා. මම කිව්වා හොඳ හින්ද තමයි මෙතනට ආවේ කියලා. 

මොන ප්‍රශ්නේ ආවත් හැබැයි එකට වැඩ කළා. එහෙම වැඩ කරන්න බැරි වුණා කියන එක නම් බොරු. කොළඹ කොහේ හරි උත්සවයක් නම් මම වාහනේ දොර අරිනකොට පූජිත් එතන. සමහර වෙලාවට මගේ PSOට කියනවා පූජිත් මහත්තයට ටිකක් එඅහට වෙලා ඉන්න කියන්න මට  වාහනේ දොර ඇරගන්න ඕනේ කියල. පාස්කු ප්‍රහාරය වෙනකම් හොඳට හිටියා. ආරක්ෂක ලේකම් වුණත් එහම තමයි. 

විවෘත පරීක්ෂණ නවත්වන්න කියල මම කිව්වේ නැහැ 

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක නාලක සිල්වා සහ පොලිස්පතිවරයා හමුවුණාම සහරාන් ගැන විවෘත විමර්ශන කරන්න එපා කියල ඔබ කිව්වද?

සාක්ෂිකරු:මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: ඉස්ලාම් රාජ්‍යයක් (කිලාෆයක්) වීමට ඉඩ නොදී මුදාගන්නට නොහැකි වීම කොහොමද පැහැදිලි කරන්නේ?

සාක්ෂිකරු: මම මගේ උත්සහය ගත්තා. පොලිස්පති, ත්‍රිවිධ හමුදාපතිවරු, නිලධාරීන්, දේශපාලන නායකයන් මුස්ලිම් අන්තවාදය IS  මතවාද මර්දනය කරන්න ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගත්තා. නමුත් ප්‍රාදේශීය තත්ත්වයන් පාලනය කිරීමට ප්‍රාදේශීය නිලධාරීන් සමත් වුණේ නැහැ. පොලිස් බුද්ධි අංශ වලට මේ කාරණය පැවරෙනවා. සහරාන් අල්ලන්න වරෙන්තුවක් තිබුණ නම් ඒ අය අත්අඩංගුවට ගන්න ඕන. ජනාධිපතිවරයාට අයිති දෙයක් නොවේ. වරෙන්තු තියෙන අය ගැන ආරක්ෂක මණ්ඩලයේ කතා කරලා වැඩක් නැහැ. 2018 දේශපාලන වෙනසෙන් පස්සේ  මට පොලීසිය භාර වෙලා මාස 4යි. අනෙක් බලවේග උපදෙස් නොපිළිපැදීම දේශපාලනය මුරණ්ඩු ලෙස කටයුතු කිරීම අන්තවාදය සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම නිසයි ආණ්ඩු වෙනසකට මුල් වුණේ. ආණ්ඩුව විසුරුවන්න ව්‍යවස්ථාවෙන් බලයක් තිබුණෙ නැහැ. අවුරුදු හතරකට ආසන්න කාලයක් නීතිය හා සාමය මගේ ළඟ නොවෙයි තිබුණෙ.  මම දෙන උපදෙස් ඒ අය ඒ කාලෙ ඇහුවෙත් නැහැ. මම කාදිනල්තුමා, හින්දු, ඉස්ලාම් පූජකවරුන්, මුස්ලිම් ඇමැතිවරුන්, මුස්ලිම් නායකයින් සමඟ සාකච්ඡා කළා. මුස්ලිම් ඇමැතිවරු හිටියෙ මගෙ පැත්තෙ නොවේ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: 2018 ආණ්ඩු වෙනස මේ තත්ත්වය තීව්‍ර කළාද?

සාක්ෂිකරු:සහරාන්ට වරෙන්තු නිකුත් කළේ 2018 මුල. ඇයි මේව ක්‍රියාත්මක නොකළේ කියන ප්‍රශ්නය තියෙනවා. ඒක කළා නම් මේ මහා විනාශය නවත්වන්න තිබුණා. මාසික රැස්වීමේදී ඩීඅයිජීලට මට කියන්න තිබුණ ප්‍රශ්න තිබුණ කියල. සහරාන් සම්බන්ධයෙන් විවෘත පරීක්ෂණ කරන්න එපා කියල මම උපදෙස් දුන්න නම් ඒ බව ඩීඅයිජී ල දැනගන්න ඕන. පොලිස්පති එහෙම දැනුම් දීල නැහැ. ඇයි සහරාන්ව අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ? මම දුන්න උපදෙස් ක්‍රියාත්මක කළේ නැහැ.

උපදෙස් දුන්නා නම් වැරදුණේ කොතැනද ?

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: උපදෙස් දුන්න නම් වැරදුණේ කොතනද?

සාක්ෂිකරු:ප්‍රහාරයෙන් සති 4කට පසු සහරාන් ජාලය විනාශ කරන්න හැකි වුණා. මේ සංවිධාන නැඟෙනහිර පළාතේ ගොඩනැඟිල තියෙනවා. ඒ පළාත භාර පොලීසියේ නිලධාරීන් ප්‍රධාන ලෙස වගකියන්න ඕන. බුද්ධි අංශ හමුදා අංශ ආරක්ෂක ලේකම් පොලිස්පති සියලු නිලධාරීන් මෙයට වගකියන්න ඕන. අප්‍රේල් 21 ප්‍රහාරය ගැන තොරතුරු ලැබිල අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබුණෙ නැහැ. රටේ නීතිය අනුව ආරක්ෂක ලේකම් පොලිස්පති ක්‍රියාත්මක විය යුතුයි. ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට දැනුම් දෙන්න ඕන. පහසුකම් නැත්නම් ඉල්ලන්න ඕන. මේ අය අත්දැකීම් දැනුම් සම්භාරයක් තිබෙන පරිණත අය. මේ අය වගකීම් පැහැර හැර තිබෙනවා.

ඇයි නිලන්ත ජයවර්ධනගේ නම නොකියන්නේ?

මෙහිදී කොමිසම විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවේ ප්‍රහාරය සම්බන්ධයෙන් මුල් තොරතුර ලැබී තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට වන අතර ඔහුගේ නම සඳහන් නොකරන්නේ ඇයිද යන්නයි. 

එහිදී ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ නිලන්ත ජයවර්ධන හා ජාතික බුද්ධි ප්‍රධානී සිටින්නේ ආරක්ෂක ලේකම්වරයා යටතේ බවයි. 

අනතුරුව කොමිසම විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවේ තමන්ට තොරතුරු නොදීම  ගැන වගකීම ගත යුත්තේ කවුරුන්ද යන්නයි. 

මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස්, හේමසිරි ප්‍රනාන්දු, පූජිත ජයසුන්දර යන අය තමන්ව දැනුවත් නොකළ බවයි. 

කොමිසම: දැනුවත් කළා නම් මොකද කරන්නේ?

සාක්ෂිකරු: මුල් අවස්ථාවේ දැනුවත් කළා නම් ආරක්ෂක මණ්ඩලය කැඳවලා අවශ්‍ය නම් හදිසි නීතිය ගැසට් කරනවා. අත්අඩංගුවට ගැනීම් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. කාදිනල් හිමියන්ව දැනුවත් කරනවා. දේවස්ථාන, හෝටල් සඳහා ආරක්ෂාව දෙන්න කටයුතු කරනවා. අවශ්‍ය උපදෙස්, නියෝග ක්‍රියාත්මක කරවනවා ස්වාමීනි. 

ආරක්ෂක මණ්ඩල රැස්වීම හා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම නිසි පරිදි පැවැත් නොවුණද ඊට අමතරව මාසිකව පොලිස්පතිවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අතර හමුව මෙන්ම අවස්ථානුකූලව ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී,හමුදා බුද්ධි අංශ කැඳවා රටේ ආරක්ෂක තත්ත්වය මෙන්ම ඉදිරියට කළ යුතු දේවල් හා ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සාකච්ජා කරන බවද හිටපු ජනාධිපතිවරයා පැවසූ අතර ඒ සෑම අවස්ථාවකම විවෘතව සාකච්ජා කළ හැකි බවද හෙතෙම සන්දාන් කළේය. 

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: පොලීසියට පවත්වන රැස්වීමට ත්‍රිවිධ හමුදාපතිවරු එන්නේ නැහැ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එන්නේ නැහැ. විදේශ කටයුතු අමාත්‍යවරයා එන්නේ නැහැ. එම අමාත්‍යාංශයේ ලේකම් එන්නේ නැහැ. ජාතික බුද්ධි ප්‍රධානී එන්නේ නැහැ. මේ අනුව මේ රැස්වීම්වල සංයුතියේ වෙනස්කම් පවතිනවා. බුද්ධි අංශ මඟින් ඉදිරිපත් කරන වාර්තා සම්බන්ධයෙන් මෙන්ම ත්‍රිවිධ හමුදාවෙන් ලබා ගත හැකි කරුණු පොලීසිය මඟින් පවත්වන රැස්වීමෙන් ගන්න බැහැ නේද හිටපු ජනාධිපතිතුමනි? 

සාක්ෂිකරු: පොලීසියේ රැස්වීමට ත්‍රිවිධ හමුදාව කැදෙව්වේ නැති වුණාට ඔවුන් වෙන වෙනම කැඳවලා කතා කරනවා. වෙන වෙනම උපදෙස් දෙනවා. 

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: මේ සියලුම දෙනා එක තැනකට රැස්කරලා ඔවුන්ගේ තොරතුරුවලට සවන් දීලා සාකච්ජා කරන එක වඩා වැදගත් නේද? එහෙම අවශ්‍ය ආකාරයට ආරක්ෂක මණ්ඩල රැස්වීම නොපැවැත්වීම හා එම නිලධාරීන් මුණ නොගැසීම නිසා ජාතික ආරක්ෂාවට බාධා වෙලා තිබෙනවා නේද?

සාක්ෂිකරු: මම මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයටත් යනවා. එතනට ඔවුන් රැස්කරනවා. එහි පර්යේෂණ අංශයේ අය සමඟ පවා සාකච්ජා කරනවා. මේ අය සතියකට සැරයක් කොහොමත් මාව හමුවෙනවා. 

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:නමුත් හිටපු ජනාධිපතිතුමනි රාජ්‍ය නිලධාරින් සාක්ෂී දී තිබෙන්නේ නියමිත පරිදි ආරක්ෂක මණ්ඩලය නොපැවැත්වීමෙන් විශේෂයෙන් ඉස්මතු වූ අන්තවාදය ගැන සාධනීය ලෙස පියවර නොගත් බවයි? 

සාක්ෂිකරු: මට එය පිළිගන්න අමාරුයි. එය බොහොම අපක්ෂපාතීව කටයුතු කළ තැනක්. බොහොම නිදහසේ නිලධාරීන්ට කතා කරන්න පුළුවන්.  කවුරු හරි කියනවානම් කතා කරන්න අවස්ථාව තිබුණේ නැහැ කියල මම පුදුම වෙනවා ඒ ගැන. 

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: රාජ්‍ය නිලධාරීන් කියූ ලෙස ආරක්ෂක මණ්ඩලය නොපැවැත්වුණු නිසා එම ක්‍රියාමාර්ග නොගත් නිසා නේද අප්‍රේල් 21 ස්ථාන 08ක පිපිරීම් සිද්ධ වුණේ?

සාක්ෂිකරු: ඒ පිපිරිම ගැන තොරතුරු ලැබිලා තිබිලා තියෙනවා. ප්‍රහාරය වනතුරු දිගටම ලැබිලා. එතන ආරක්ෂක මණ්ඩලයේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ක්‍රියාමාර්ග නොගැනීම ගැන ප්‍රශ්නයක් තියෙන්නේ. නීතියට හසුකරගත් යුතු තැනැත්තන් ඊට පෙරම ගත යුතුව තිබුණා. ඒකට ආරක්ෂක කවුන්සිලයෙන් විමසන්න අවශ්‍ය නැහැ. මෙතන වෙලා තියෙන්නේ තොරතුරු ලැබුණට ඒවා නොසලකා හැරලා. තොරතුරු පොලිස්පතිට ලැබිලා, ආරක්ෂක ලේකම්ට ලැබිලා. ඔවුන් නොසලකා හැරලා. ඔවුන් අළුත් නිලධාරීන් නොවෙයි. පරිණත අය. පැහැදිලිවම ඔවුන් මෙතන වගකීම පහර හැරලා. 

කොමිසම: ඔබ ආරක්ෂක ලේකම් හා පොලිස්පතිගේ නම කියනවා. නමුත් මේ තොරතුර මුලින්ම ලැබිලා තියෙන්නේ කාටද?

සාක්ෂිකරු: නිලන්ත ජයවර්ධනට

අනතුරුව කොමිසම විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවේ තමන්ට තොරතුරු නොදීම ගැන වගකීම ගත යුත්තේ කවුරුන්ද යන්නයි. 

මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස්, හේමසිරි ප්‍රනාන්දු, පූජිත ජයසුන්දර යන අය තමන්ව දැනුවත් නොකළ බවයි.