ගරු කථානායක තුමනි, ඔබේ බලාපොරොත්තුව මේ පාර්ලිමේන්තුව රූකඩ සභාවක් කරන්නද ? - සජිත්

ගරු කථානායක තුමනි, ඔබේ බලාපොරොත්තුව මේ පාර්ලිමේන්තුව රූකඩ සභාවක් කරන්නද ? - සජිත්

22 September 2020 07:04 pm

දැනට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් මෙරට උත්තරීතර පාර්ලිමේන්තුව රූකඩ සභාවක් බවට පත්වෙනු ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

අද (22) පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා සිදුකළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ. 

"අද දවසේ, රටේ මූල්‍ය පාලනය පිළිබඳ කතාබහ කෙරෙන මේ මොහොතේ, විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය කෙළසමින්, මේ රටේ ජනතා පරමාධිපත්‍ය, ජනතා ස්වෛරීත්වය ඒවගේම මේ පාර්ලිමේන්තුවේ ස්වෛරීත්වය කෙළසමින් 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීම ගැන සමගි ජන බලවේගයේ අපි සියලු දෙනාත් විපක්ෂයේ සියලු දෙනාත් අපේ දැඩි කණගාටුව පළ කරනවා. විශේෂයෙන්ම මේ 20 වන සංශෝධනය හරහා ජනතා පරමාධිපත්‍ය සහ ජනතා අයිතීන් කෙළසන ප්‍රතිපාදන රැසක් ඉදිරිපත් වන මේ මොහොතේ අර 17ක් ගැන කිව්වා 20ක් ගැන කිව්වා, තමන් මේ ලොවට වදාපු අම්මලා තාත්තලාට අවමාන කරන කිසිම මහජන නියෝජියෙක් සමගි ජන බලවේගයේ නැහැ. තමන්ගෙ ආත්මය සිල්ලරේට වරදානවලට වරප්‍රසාදවලට ඇමතිකම්වලට මුදලට පාවාදෙන කිසිම පුද්ගලයෙක් අපේ සමගි ජන බලවේගයේ නැහැ. 

මේ 20 වන සංශෝධනය තුළ විගණකාධිපතිවරයාත් විගණකාධිපති දෙපාර්තමේන්තුවත් ඒ විගණන ක්‍රමවේදයත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙන්නෙ. විගණකාධිපතිවරයාට, ඒ දෙපාර්තමේන්තුවට ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, රජයේ වැඩි කොටස් තිබෙන සමාගම් විගණනය කරන්න බැහැ. ඒකට විරුද්ධවයි අපි ජනතාව වෙනුවෙන් හඬක් නඟන්නේ. එපමණක් නෙවෙයි ප්‍රසම්පාදන ක්‍රමවේදය සම්පූර්ණයෙන් හකුළලා තිබෙනවා. එතනින් මොකද්ද වෙන්නෙ ? අන්සොලිසිටඩ් ප්‍රපෝසල්ස් වැඩසටහන ක්‍රියාත්මක කරලා ටෙන්ඩර් පටිපාටි සම්පූර්ණයෙන්ම කෙළසලා ටෙන්ඩර් ක්‍රමවේදය ප්‍රසම්පාදන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම හකුළා දමලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයටත් මරු පහරක් එල්ල කරන තත්වයක් මේ 20න් නිර්මාණය වෙලා තිබෙන්නෙ. 

එපමණක් නෙවෙයි මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් බවට පත්වුණායින් පස්සේ එක ජීවිතයක් අහිමිවෙලා නෑ මේ පවත්වපු මැතිවරණ තුළ. මැතිවරණ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වෙලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද කෙළෙසිලා නැහැ. එවන් මැතිවරණ කොමිසමක ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම කෙළසලා තියෙනවා පමණක් නෙවෙයි, යහපත් පාලනයක් උදෙසා නිර්මාණය කරලා තියෙන අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා සම්පූර්ණයෙන් විනාශ කිරීම මේ 20න් වෙනවා. දැන් මොකද්ද ව්‍යවස්ථා සභාවට කරන්න හදන්නෙ ? ව්‍යවස්ථා සභාව හකුළාගෙන රූකඩ පාර්ලිමේන්තු සභාවක් හදන්න මේ 20න් යෝජනා වෙලා තිබෙනවා. පොලිස් කොමිසමට තිබෙන බලතල සම්පුර්ණයෙන්ම ඉවත් කරලා තිබෙනවා. ප්‍රධාන තනතුරුවලට පත්වීම් ලබාදීමේදී එක පුද්ගලයෙක් තනියම ඒවා තීන්දු කරනවා වෙනුවට සමූහයක් ඒ තීන්දු තීරණවලට ප්‍රවේශවීම තුළ ප්‍රජාතන්ත්‍රවාදයට අවස්ථාව ලබාදීලා තිබුණා, තනි බලයක් ලබාදීම අපි 19න් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒවගේම මුක්තිය ලබාදීම තුළ අධිකරණයට වගකීම ඉවත් කරලා තිබෙනවා. 

ගරු කථානායකතුමනි, ඔබතුමාත් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වෙලා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙලා රාජාලියා පක්ෂයේ සාමාජිකයෙක් වෙලා ඔබතුමාත් සටන් කළා නේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ? ඔබතුමා විතරක් නෙවෙයි අපේ ගරු අග්‍රාමාත්‍යතුමාත් එදා පාදයාත්‍රා ගියා ජනාධිපතිවරයාට වැඩියෙන් බලයක් ලබාදුන්නායි කියලා. ගරු කථානායකතුමනි, ඔබතුමාට මතකද ඔබතුමා ගරු කරපු කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා කොන්සිටිටුෂන් ෆොර් ඩික්ටේටර්ෂිප් කියන ආටිකල් එක හරහා මේ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව කටයුතු කරපු ආකාරය ? ඔබතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් අමතකද ? ආචාර්ය එන්. එම්. පෙරේරා මැතිතුමා "ද මිඩ්ල් පාත්" කියලා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා මේ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව. 

මම එකක් පැහැදිලිවම කියනවා, අපේ යෝජනාව ජනාධිපතිවරයා පඹයෙක් කිරීමටවත් අගමැතිවරයා පඹයෙක් කිරීමටවත් නොවෙයි. අපි පිළිගන්නවා ජනාධිපතිවරයා ජනතාවගෙන් පත්වුණු පුද්ගලයෙක්. අගමැතිවරයාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ පත්වෙන පුද්ගලයෙක්. මේ කිසිම කෙනෙක් පඹයෙක් කරනවාට අපි විරුද්ධයි. අපි මොකද්ද කියන්නෙ ? දෙගොල්ලොන්ටම සාධාරණ බලයක් දීලා සංවරණ සහ තුලන ක්‍රමයක් ගේන්න කියලායි. අන්න ඒකයි රටේ අවශ්‍යතාවය. මොනම හේතුවකටවත් අපි රාජ්‍යත්වය කෙළසන්නට, රාජ්‍ය බලය නැති භංග කරන්නට අපි කටයුතු කරන්නෙ නෑ. එහෙම හිතපු අය ඉන්න ඇති, දැන් එහෙම ඇත්තො සමගි ජන බලවේගයේ නැහැ. මේ සමගි ජන බලවේගයේ තිබෙන්නෙ සැබෑ යතාර්ථවාදී ප්‍රගතිශීලී දේශප්‍රේමීත්වයක්. 

දැන් මට පොඩ්ඩක් කියන්න මේ ද්විත්ව පුරවැසි කතාව ... කොහොමද එක කකුලක් එක රටක තියාගෙන අනිත් කකුල අනිත් රටේ තියාගෙන මේ රටේ උත්තරීතර සභාවෙ මේ ව්‍යවස්ථාදයකයෙ නීතිරීති නිර්මාණය කරන සභාවෙ මූල්‍ය බලය හසුරුවන සභාවෙ කොහොමද අසුන් ගන්නෙ ? එහෙම පුළුවන්ද ? ඒක සාධාරණද ? මෙන්න මේවා තමයි අපට තියෙන විරෝධතා. 

ඔබතුමා අහලා තියෙනවා මොන්ටි ස්කුයී ගැන. සෙපරේෂන් ඔෆ් පවර්ස්. බලය බෙදීයාම. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය අතර බලය බෙදාදීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තමයි මුළු ලෝකයම පිළිගත්ත ක්‍රමවේදය. එක තැනක බලය කේන්ද්‍රගත වෙන තත්වයක් නිර්මාණය වෙනකොට කවුරු අකමැති වුණත් කැමති වුණත් නිරායාසයෙන්ම සිදුවන්නේ කුමක්ද ? ලෝඩ් හේල්සන් ප්‍රකාශ කරපු ඉලෙක්ටිව් ඩික්ටේටර්ෂිප් එකක් නිර්මාණය වීමේ අවකාශ තිබෙනවා. ඒ නිසා තමයි මේ 20ට අපි විරුද්ධ. 

ගරු කථානායකතුමනි, මේ උතතරීතර සභාවේ ප්‍රධානියා හැටියට ඔබතුමාගේ බලාපොරොත්තුව මොකද්ද, මේක රූකඩ සභාවක් කරන්නද ? මේ 20 හරහා මේ පාර්ලිමේන්තුව රූකඩ සභාවක් බවට පත්වෙනවා. ඔබතුමා කැමතිද මේ ක්‍රමවේදය තුළ කාගෙ හරි හෝ කවුරු හරි කණ්ඩායමක හෝ රූකඩයක් බවට පත්වෙන්න ? මම කියන්න කැමතියි මේ 19 වැනි සංශෝධනය තුළ තිබෙන්නා වූ යහපත් ආණ්ඩු කරණයක් වෙනුවෙන් නිර්මාණය වූ සෑම ප්‍රතිපාදනයක්ම අපි රැකගන්නට ඕනෙ. අපි පිළිගන්නවා ඒවයෙ අඩුපාඩුකම් තියෙනවා කියලා. නමුත් අපි තවදුරටත් ස්වාධීනත්වයයි ශක්තිමත් කරන්න ඕනෙ. අපි තවදුරටත් මානව, මූල්‍ය, භෞතික සම්පත් ලබාදීලා ඒ බිහිකරපු ආයතන ශක්තිමත් කරන්නට ඕනෙ. 

සමගි ජන බලවේගයේ අපේ අදහස තමයි මේ 19 ශක්තිමත් කරමින් ජාතික ආරක්ෂක කවුන්සිලයක් මේ රටේ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා නිර්මාණය කරලා ජාතික ආරක්ෂාවට මුල්තැන දෙන සංශෝධනයක් බවට මෙය පත්කරමින් 19 තිබෙන සියලුම ප්‍රජාතන්ත්‍රවාදය සුරකින වැදගත් ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්නට ඕනෙ. 

දැන් මොකද්ද මේ සිද්ධ වෙන්නෙ ? මේ සිද්ධ වෙන්නෙ බල අරගලයක්. මේ බල අරගලයේ උත්සාහය තමයි බල කේන්ද්‍රයන් දුර්වල කිරීම. තවත් බල කේන්ද්‍රයක් ශක්තිමත් කිරීම. එහෙම පුද්ගලිකත්වය පදනම් කරගෙන ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නට එපා. මම පැහැදිලිවම කියනවා රටේ ජනාධිපතිවරයාට බලයක් තියෙන්නට ඕනෙ. රටේ අගමැතිවරයාට බලයක් තිබෙන්නට ඕනෙ. මේ බලය තුළ සංවරණ සහ තුලන තිබෙන්නට ඕනෙ. අපට අවශ්‍ය නෑ පඹ ජනාධිපතිවරයෙක්. අපට අවශ්‍ය නෑ පියන් අගමැතිවරයෙක්. බලතල සහිතව ඒ අයට බලය ලබාදීලා ඒ සුදුසු සංවරණ සහ තුලන ක්‍රියාත්මක කරන්න. ඒක තමයි යුගයේ අවශ්‍යතාවය. රටේ අවශ්‍යතාවය. ඒක තමයි රටේ ජනතාව පිළිගන්නෙ. 

හැබැයි මේ 20න් සිදුවන්නේ 19න් නිර්මාණය කරපු ඒ යහපත් ප්‍රතිපාදන සියල්ලක්ම අතුගාලා දානවා. ඒක රටට අහිතකරයි. ඒක රටට මහා බරපතළ පාඩුවක්. මම දකිනවා මේ 20 වැනි සංශෝධනය දේශද්‍රෝහී සංශෝධනයක්. මේක රට ගැන, ජනතාව ගැන හිතලා නෙවෙයි හදලා තිබෙන්නෙ. 

අපේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ප්‍රකාශ කළා මේ 20 වැනි සංශෝධනයට සංශෝධන ගෙන එන්නට පුළුවන්, ඒවා ගැන සාකච්ඡා කරමුයි කියලා. නමුත් කණගාටුවෙන් හෝ එතුමාට මතක් කරන්නට ඕනෙ එතුමා පාර්ලිමේන්තුවෙ ස්ථාවර නියෝග අනුව නෙවෙයි, ඒවා ගැන අවබෝධයක් ඇතිව නෙවෙයි කතා කළේ. 61, 62 වෙනි ස්ථාවර නියෝගවලින් මොකද්ද කියන්නෙ ? ඒ දෙකෙන් කියනවා කමිටු අවස්ථාවේදී බරපතළ සංශෝධන ඇතිකරමින් ඒ මූලික රාමුවට වෙනස්කම් ඇති කරන්නට බැරිය කියලා. 

ඉතිං අපි යෝජනා කරන්නෙ මේ අද සභාගත කරපු 20 වහාම හකුළාගෙන සියලු දෙනාත් සමඟ සාකච්ඡා කරලා අපි හොඳ ව්‍යවස්ථා සංශෝධනයක් හදමු. 19 යහපත් ප්‍රතිපාදන සියල්ලක්ම ඇතුළු වුණු ස්වාධීනත්වය, ජනතා අයිතිය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍ය ගෙන එන අලුත් සංශෝධනයක් ගෙන එමු. අපි ඒකට පක්ෂයි. නමුත් මේ සංශෝධන හරහා මේක මේ ආන්ඩුවක් තුළ තිබෙන බල අරගලයක ප්‍රතිඵලයක් හැටියට රටක ව්‍යවස්ථාව සංශෝධනය වෙනවා නම් ඒක බොහොම බරපතළයි. 

ඒවගේම මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කිව්වා ගරු අගමැතිතුමාව රකිනවාලු. මම අහන්න කැමතියි ඔච්චර ගරු අගමැතිතුමාව රකිනවා නම් ගරු අගමැතිතුමා මේ 20 වැනි සංශෝධනය ගැන හදපු අර කමිටුවට මොකක්ද වුණේ ? කමිටු වාර්තාවට මොකද්ද වුණේ ? ඇයි ඒ කමිටු වාර්තාව මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නෙ නැත්තෙ ? ඒ කමිටු වාර්තාව සම්පුර්ණයෙන් හකුළාගෙන 20 එලෙසින්ම ගෙන එන්නට කටයුතු කිරීම බොහොම බරපතළ ප්‍රශ්නයක්. රටේ ජනතා පරමාධිපත්‍යයට එල්ල කරපු මරු පහරක් හැටියටයි මේ 20 වෙනි සංශෝධනය අපි පිළිගන්නෙ. 

හොඳට මතක තියාගන්න මේ විපක්ෂය සංසන්දනය කරන්න එපා අර හිටපු ඇත්තොත් එක්ක. මේක සම්පූර්ණයෙන්ම වෙනස්. අපි දේශහිතෛශී, ජාතිහිතෛශී, රට සුරකින, රටේ ජාතික ආරක්ෂාව සුරකින, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස් ආරක්ෂා කරන, මොනම ආකාරයකවත් ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, ආරක්ෂක අංශයට විණ නොකරන, මේ රටේ ජනතාව ආරක්ෂා කරන හැබැයි ඒවගේම සිංහල බෞද්ධකමට මුල්තැන ලබාදෙමින් ජාතිවාදය ජාතිභේදය බැහැර කරන ආගම්වාදය ආගම්භේදය බැහැර කරන, අන්තවාදය බැහැර කරන, ත්‍රස්තවාදයට විරුද්ධ වෙන අලුත් ගමනක් මේ සමගි ජනබලවේගයේ විපක්ෂයේ ගමන. ඒ නිසා මතක තියාගන්න මේ පරණ විදිහ නෙවෙයි. පරණ වැඩපිළිවෙල නෙවෙයි. මම කියනවා පැහැදිලිවම අපි යතාර්ථවාදී සැබෑ දේශප්‍රේමීත්වය ක්‍රියාත්මක කරනවා. අපි සත්‍යවාදය ජයග්‍රහණය කරවමු. මේ 19න් නිර්මාණය වුණු යහපත් ප්‍රතිපාදන රටක් හැටියට අපි ආරක්ෂා කරන්නට ඕනෙ. ඒවා ඉදිරියට ගෙන යන්නට ඕනෙ. ස්වාධීනත්වය තවදුරටත් වර්ධනය කරන්නට ඕනෙ. 19 අඩුපාඩු තිබුණයි කියලා ඒක විනාශ කරන එක නෙවෙයි රජයේ යුතුකමත් අපේ වගකීමත්. පැහැදිලිවම සජබ අපි ප්‍රගතිශීලීව දුරදක්නා නුවණකින් නුතනවාදීව ප්‍රජාතන්ත්‍රවාදීව මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මේ අත්තනෝමතික ආඥාදායක 20 වෙනි සංශෝධනය පරාජය කිරීම සඳහා අපේ ප්‍රජාතන්ත්‍රවාදී බලමුළු සියල්ලක්ම ශක්තිමත් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජන සම්මතවාදයෙන් ජනතා ශක්තිය තුළින් එක හඬින් නැඟී සිටිනවා කියමින් මම නිහඬ වෙනවා" 

RN