පාස්කු කොමිසම: මම මගේ වැඩේ කළා පොලිස්පති ඔහුගේ වැඩේ කළා - පාස්කු ප්‍රහාරයේ වගකීම නිලන්ත භාරගත යුතුයි

පාස්කු කොමිසම: මම මගේ වැඩේ කළා පොලිස්පති ඔහුගේ වැඩේ කළා - පාස්කු ප්‍රහාරයේ වගකීම නිලන්ත භාරගත යුතුයි

22 September 2020 08:50 am

නිසි බුද්ධි තොරතුරු ඉදිරිපත් නොකර ලැබී තිබුණු තොරතුරු සදහා නිර්දේශ ඉදිරිපත් නොකර තොරතුරට අදාළව ඉහළ නිලධාරීන් සමග ප්‍රහාරයක් ඇති විය හැකිවන බවට සාකච්ඡා නොකොර හුදෙක් බුද්ධි තොරතුරු සම්බන්ධ වාර්තා පමණක් යොමු කර නිහඩවම සිටි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු කොමිසම හමුවේ අද (21) සාක්ෂි දෙමින් අවධාරණය කළේය. 

එලෙස බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් නිවැරදිව වාර්තා නොකර ප්‍රහාරයේ වගකීම ආරක්ෂක ලේකම්වන පරිපාලන නිලධාරියා භාරගත යුතු නැති අතර එලෙස  කිරීමත් අසාධාරණ බවයි හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ. 

''රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා මහන්සි වී තොරතුරු සොයා ගෙන තිබුණු නමුත් ඒවා නිසි බුද්ධි තොරතුරු නම් සාකච්ජා කර තීරණයක් ගැනීම සඳහා දැනුම් දීම කළ යුතු වෙනවා. එවිටයි අදාළ තීරණ ගන්නා නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන්නේ. වාර්තා එවලා නිහඬව ඉඳල දැන් ඒ වාර්තා ගැන කතාකරලා හරියන්නේ නැහැ. අපි අනුගමනය කරන්නෙත් ඇමරිකාවේ බුද්ධි සේවාව අනුගමනය කරන ක්‍රමවේදය. ඇමරිකාවේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සෘජුවම වගකියන්නේ ජනාධිපතිට. සෘජුවම ජනාධිපතිට තමයි බුද්ධි තොරතුරු කියන්නේ. වාර්තා යවල නිකන් ඉන්නේ නැහැ. ජනාධිපතිවරයා ළඟට ගිහින් තේරෙන විදිහට හැමදේම පැහැදිලි කරලා දෙනවා. මොකද ඒ විෂය දන්නේ ඔවුන්. විෂය ගැන නොදන්නා කෙනාට වාර්තාවක් බලලා තීරණ ගන්න බැහැ. ලිපි විතරක් එවල වැඩක් නැහැ. ඒක තැපැල් ස්ථානාධිපතිවරයෙක්ගේ කාර්ය. රාජ්‍ය බුද්ධි සේවය වුනහම තොරතුරු ඉදිරිපත් කරලා විශ්ලේෂණය කරලා නිර්දේශ දෙන්න ඕනේ. ''

හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වරද කාගේද යන්න කොමිසම විසින් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනි. 

තමන් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ මාස පහමාරක පමණ කාලය තුළ විශ්ලේෂණය කළ හෝ නොකළ බුද්ධි තොරතුරු ජනාධිපතිවරයාට ලබා දී තිබුණේ රාජ්‍ය බුද්ධි සේවය විසින් බව හේමසිරි මහතා අද දිනයේදීත් සාක්ෂි ලබා  දෙමින් සඳහන් කරන ලදී. 

''ජනාධිපතිතුමා කියලා තිබුණේ ඔයාට තව වැඩ තියෙනවානේ ඒවා කරගන්න'' කියල. එතැන් පටන් ඒ කාර්ය සම්පූර්ණයෙන් කළේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා, මම ඒ වෙද්දී විශ්වාස කළා මේ සම්බන්ධය නිසාම රාජ්‍ය බුද්ධි සේවය විසින් ජනාධිපතිවරයාව දැනුවත් කරන්නට ඇති'' බවද හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 

අප්‍රේල් 08 වැනිදා ලද තොරතුර සම්බන්ධයෙන් ගණන් නොගෙන සිටියානේදැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරල්වරිය හේමසිරි ප්‍රනාන්දු  මහතාගෙන් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ,''මම තමයි ගණන් ගත්තේ. ඒ නිසා තමයි මම ඊළඟ පියවර විදිහට පොලිස්පතිවරයාව දැනුවත් කළේ. විශේෂයෙන් මේ බුද්ධි කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය සහ ජාතික බුද්ධි සේවය කටයුතු කරන්නේ. ඔවුන් තමයි මේ ගැන කතා කළ යුත්තේ. 18 වෙනිදාවත් මට නිලන්ත මේ ගැන කිව්වේ නැහැ. මට කියල තිබුණා නම් මම ජනාධිපතිවරයාට කොහොම හරි කතාකරලා ආරක්ෂක මණ්ඩලය කැඳවනවා. ප්‍රහාරය ගැන මට කිසිම ආකාරයක චිත්‍රයක් දීලා තිබුණේ නැහැ.'' යනුවෙනි. 

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් කතා නොකළ නිසාද ඔබට ඒ ගැන කතා නොකළේ ?

සාක්ෂිකරු:ඔව් 

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: අප්‍රේල් 09 වැනිදා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම පැවැත්වුවත්  සති පතා  පවත්වෙන මෙම රැස්වීම අප්‍රෙල් 16 පැවැත්නොවුණේ ඇයි?

සාක්ෂිකරු: අවුරුදු නිවාඩුවත් දීල තිබුණා. එහෙ මෙහෙ යන්න තියෙනවා කියල රැස්වීම නොපවත්වමු කියලා කට්ටිය කිව්වා. සමහර වෙලාවට ඔය රැස්වීම විනාඩි පහෙන් අවසන් වෙලා තියෙනවා. සමහර දවස්වලට සාකච්ජා කරන්න තොරතුරු ඇවිත් නැහැ.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: මෙම කොමිසමේ දැනට සාක්ෂි දී තිබෙන ආරක්ෂක ලේකම්වරුන්වන බී.එම්.යූ.ඩී.බස්නායක සහ කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් සාක්ෂි දීලා නැහැ  එම රැස්වීම විනාඩි පහෙන් අවසන වෙන බව. ඔබ තමා එහෙම දෙයක් කියන්නේ?

සාක්ෂිකරු:මම කියපු දේ මම අනුමත කරනවා. 

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:  එය එසේ නම් ඔබේ පරිපාලනයේ අඩුවක් නේද?

සාක්ෂිකරු: පරිපාලනයේ අඩුවක් නෙවෙයි තොරතුරු නොලැබීමේ ප්‍රශ්නයක් තියෙන්නේ. 

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: මා යෝජනා කරනවා සැලසුම් සහගතව වැඩකරලා නැහැ  එය දුර්වලතාවක් බව?

සාක්ෂිකරු:ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ හානිය අවම කරගැනීමට නොහැකි වුණේ විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් තොරතුරු සිද්ධිය වන තෙක් කාලය තුළ කිසිවක් නොලැබීම. මේ වගේ දෙයක් වෙද්දී සම්පූර්ණයෙන් රඳා පවතින්නේ රාජ්‍ය බුද්ධි සේවය මත. 

සහරාන් ගැන පරීක්ෂණවල තනි අයිතිය තිබුණේ රාජ්‍ය බුද්ධින් සේවයට 

එමෙන්ම බුද්ධි අංශ අතර පැවති ප්‍රශ්න නිසා සහරාන් ගැන පරීක්ෂණවල තනි අයිතිය නැතිනම් 75%පමණ අත්පත්කරගෙන තිබුණේ රාජ්‍ය බුද්ධි සේවය වන අතර එයට ජනාධිපතිගේ ලිඛිත අවසරයද  ගෙන තිබේ. 

''රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේ කොමිසමේදීම පිළිගත්තා 04 වැනිදා ලද  තොරතුර මා වෙත එව්වේ නැත්තේ එය සනාථ නොවුණ නිසා කියල. නමුත් බෝම්බ පිපිරුණාට පස්සේ ලේකම් ගැන කතාකරනවා'' 

''මෙය හරිම ආසාධාරණ තත්ත්වයක්'' යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේය. 

2018 වසරේ අප්‍රේල් හෝ ඒ ආසන්න දිනක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනධිපතිවරයා මුණගැසුන අවස්ථාවක ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට පවසා ඇත්තේ ''ජාතික තවුහිද් ජමාත් සංවිධානය හා සහරාන් ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් නිලන්ත බලාගනී. ඔයාලා විවෘත පරීක්ෂණ නවත්වන්න.'' යනුවෙන් බව හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවේය. 

ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නාලක ද සිල්වා මහතාට දන්වා  ඇත්තේ එම පරීක්ෂණ නවතා දමන ලෙසයි. තමන් විශ්‍රාම යෑමෙන් පසු මෙය දැනගත් බවත් දැනගත් අතර ඒ අනුව නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ අභූත චෝදනා නගමින් බවත් ප්‍රනාන්දු මහතා කියා සිටියේය. 

ඉස්ලාම් අන්තවාදීන් ප්‍රචණ්ඩත්වයෙන් ත්‍රස්තවාදයට යන බවට මුලින්ම අවබෝධ කරගෙන තිබුණේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වන අතර ඒ අනුව ඔවුන් විවෘත විමර්ශන ක්‍රියාත්මක කරමින් පැවති මොහොතක නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමත් සමඟ එම කටයුතු සියල්ල ඇණහිටි බවත් හෙතම පැවසුවේය. 

මෙම තත්ත්වය මත පාස්කු ප්‍රහාරය වළක්වා ගත නොහැකි අවාසනාවන්ත තත්වයක් බවත් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මේ හේතුවෙන් බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය. 

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ කටයුතු එලෙස අඩාල නොවුණා නම් සහරාන් හෂීම් 2018 වසරේදී අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවත් ඔහු පෙන්වා දුණි. 

මෙහිදී කොමිසම විසින් තවදුරටත් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ අදාළ බුද්ධි තොරතුරැ සෙසු අය සමඟ බෙදා ගැනීම වැළකී සිටියේ ඇයිද යන්න සොයා බැලුවාද යන්නයි. 

තම තමන්ට ක්‍රෙඩිට් එක ගන්න බුද්ධි අංශ අතර තරඟයක් තිබුණා 

කොමිසම: නිලන්ත ඔහුට ලැබුණු තොරතුර ගැන කතා කිරීමෙන් වැළකී සිටියේ ඇයි කියල බැලුවාද ?

සාක්ෂිකරු: මෙහෙමයි ස්වාමීනි,එක එක බුද්ධි අංශ අතර තරඟයක් තිබුණේ. තමන්ට ක්‍රෙඩිට් එක ගන්න. මෙතන Ego ප්‍රශ්නත් තිබුණා. ඒ හැමදේම ඉවසගෙන හිටපු කෙනා තමයි ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහත්මයා. දවසක් ඔහු මා හමුවී පැවසුවා මට දැන් යන්න දෙන්න සර් දන්නවනේ මෙතන තියන ප්‍රශ්න කියල. මම ඒ වෙලාවේ කිව්වේ තව මාස දෙකක ඉන්න අපි බලමු මොකද කරන්නේ කියල. ඒ වෙලාවේ ඔහු කිව්වේ සර්ට මේවා විසඳන්න බැහැ මට  යන්න දෙන්න කියලයි ඔහු කිව්වේ. කොහොමත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය සතුව තොරතුරු සනාථ වෙලා තිබුණේ නැහැ. හැබැයි ප්‍රහාරයෙන් පසු සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න හැකි වුණා. ඒ කියන්නේ SIS  ළඟ තොරතුරු තිබුණා. ප්‍රශ්නය වුණේ තොරතුරු ළඟ තියාගෙන අත්‍යවශ්‍ය විශ්ලේෂණයක් නොවුණ එක. කරුණු වාර්තා කරලා විතරක්  වැඩක් නැහැ. සිදුවීම් ක්ෂණිකව සම්බන්ධ කරන්න තිබුණා.''

''එසේ සිදුවීම් එකිනෙකට සම්බන්ධ බවට හඳුනා ගත්තා නම් සර් මේක ලෙඩක් කියල නිලන්තට කියන්න වෙනවා. අපි මේක සාකච්ජා කරමු කියල නිලන්ත කියන්න ඕනේ.'' 20 වෙනිදා වෙනතුරු මට කිසිම වාර්තාවක් නොලැබුණ බවයි හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ. 

රාජ්‍ය බුද්ධි සේවය හරහා සෘජුවම තොරතුරු ජනාධිපතිවරයා වෙත ලබා දුන් බව අද දිනයේද හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ අවධාරණය කළ අතර ඔහු පැවසුවේ ජනාධිපතිවරයා සහ නිලන්ත ජයවර්ධන අතර පැවතියේ පිය පුතු සම්බන්ධයටත් එහා ගිය සම්බන්ධයක් බවයි. 

හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ නිවැරදි විශ්ලේෂණාත්මකව තොරතුරු ඉදිරිපත් නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට ක්‍රියාත්මක විය නොහැකි බවයි. එහෙත් ලේකම්වරයෙකු ලෙස සිය වගකිම් නිසි පරිදි ඉටුකළ බවද ඔහු සඳහන් කරන ලදී. 

මට දැනගන්න ඕනේ මා මේ ප්‍රහරයාට වගකිවයුතු බවට පූර්ව නිගමනයකට ඇවිල්ලාද මගෙන් මේ සාක්ෂි විමසන්නේ 

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවේ "ඒක ඔබතුමා කියන දේනේ. නමුත් පෙරහැර හොඳට පේන්නේ පෙරහැරේ යන අයට නෙමේ බලාගෙන ඉන්න අයටනේ හේමසිරි ප්‍රනාන්දු මහත්මයා " යනුවෙනි. 

ඊට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ. “ස්වාමිනි, මට දැනගන්න ඕනේ මේ ප්‍රහාරයට මා වගකිවයුතුයි කියලා කොමිසම පූර්ව නිගමනයකට ඇවිල්ලාද මගෙන් මේ සාක්ෂි විමසීම සිදුකරන්නේ. මට හැගෙන්නේ එහෙමයි. මම අනිත් අයගේ සාක්ෂි විමසීම් බලන් හිටියා. ඒවා මෙලෙස සිදු වුණේ නැහැ.'' යනුවෙනි.   

එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා කරුණු දක්වමින් පැවසුවේ,කොමිසම කිසිදු සාක්ෂිකරුවෙකු සම්බන්ධයෙන් එවැනි පූර්ව නිගමනයකට පැමිණ නැති අතර නීතිඥ නියෝජනයකට ඉඩදෙමින් හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දී ඇත්තේ ඒ නිසයි. සියලුම සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව එම සාක්ෂි අනුව තමයි කොමිසම නිගමනවලට පැමිණෙන්නේ යන්නෙනි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය තවදුරටත් ප්‍රශ්න කරමින් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසුවේ අප්‍රේල් 21 හි ඊට පෙර ප්‍රහාරයක් එල්ල විය හකි බවට 20 වැනිදා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා විසින් ඔබව දැනුවත් කළේද යන්නයි. 

''මට 20 වැනිදා Whatsapp පණිවිඩයක් එවලා තිබෙනවා. මගේ වයසේ හැටියට මම Whatsapp, Facebook වගේ ඒවා බලන්නේ නැහැ. ඒ තොරතුර ඔය  තරම් වැදහත් තොරතුරක් නම් පණිවිඩකරුවෙක් හරහා මට දැනුම්දෙන්න තිබුණා. නිලන්තගේ නිවාස හා මගේ නිවාස අතර තියෙන්නේ කිලෝමීටර 2ක් වගේ දුරක්. මට නිලන්ත 20 කෝල් එකක් අරන් කිව්වා සර් මම Whatsapp පණිවිඩයක් එව්වා බැලුවද කියල. මම ඉතින් කිව්වා ඔය දන්නවනේ මම Whatsapp බලන්නේ නැහැ කියල. නමුත් මම නිලන්තගේ කෝල් එකෙන් පස්සේ ඒ පණිවිඩය බැලුවා. බලලා මම කතා කරා නිලන්තට. මොකද නිලන්ත දැන් කරන්න ඕනේ කියල මම ඇහුව. සර් මම පොලිස්පතිතුමාටත් කියල තියෙන්නේ. සර්ත් කියන්න කියල තමයි නිලන්ත මට කිව්වේ. ඊට පස්සේ මම පොලිස්පතිතුමාට කතා කරලා ඇහුවා පූජිත් නිලන්ත පණිවිඩයක් දුන්නද කියලා. ඔව් සර් මම දැන් මගේ පහළ නිලධාරීන්ට කෝල් කරන ගමන් ඉන්නේ. අන්තිම මොහොතේ මට කරන්න පුළුවන් මෙච්චරයි සර් කියලා මට පූජිත් කිව්වා.'' හේමසිරි ප්‍රනාන්දු මහතා ඊට පිළිතුරු දුන්නේය. 

ආරක්ෂක ලේකම් ලෙස තමන් තමන්ගේ කාර්ය කළ අතර පොලිස්පති ඔහුගේ රාජකාරියද කර තිබෙන බව මෙහිදී හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේය. 

''මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එය ඇඟලාගත් පසු එය පුපුරවා ගැනීම ඉතාම අපහසුයි. ඉලක්කය අහිමි වුණත් කොතැනක හරි ජනතාව ඉන්න තැනක ඒක පුපුරගන්නවා. සහාරන්ව අල්ලන්න තිබුණේ අවුරුද්දකට කලින්. TID ය සහරාන්ගේ පසේ යමින් හිටියේ. ඒත් නාලක ද සිල්වා අත්අඩංගුවට අරගෙන ඒ වැඩේ නතර කළා. ඒ ගැන වැඩිවිස්තර පොලිස්පතිතුමාගෙන් දැනගන්න පුළුවන් වෙයි. මට සහාරන්ව අල්ලන්න බැහැ. මම ඉන්නේ බුද්ධි අංශ වැඩේ කරන්නේ නෙවෙයි. මම පරිපාලන නිලධාරියා බුද්ධි තොරතුරු සම්බන්ධයෙනුත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට මට උපදෙස් දෙන්න බැහැ. ඔහුට සෘජුව උපදෙස් දීමේ හැකියාව තිබුණේ  ජනාධිපතිවරයාට පමණයි.'' යනුවෙන්ද හිටපු ආරක්ෂක ලේකම්වරයා සාක්ෂි ලබා දෙමින් පැවසුවේය. 

අප්‍රේල් 20 වැනිදා ලැබුණු දෙවන Whatsapp පණිවිඩයෙන් ප්‍රහාරය එල්ල වෙන බවට නිශ්චිත වී තිබුණු අවස්ථාවේ පොලිස්පතිවරයා  සමඟ කතා කරන විට සෙසු සියලු දෙනා එකතු කර ඉදිරි පියවර ගැන කතා කිරීමට සාකච්ජාවක් පැවැත්වීමට  පියවර ගත්තේ නැද්ද යනුවෙන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් ප්‍රනාන්දු මහතා පැවසුවේ එලෙස පියවර නොගත් බවයි. 

සහරාන් හෝටල්වලට ඇවිල්ලා චෙකින් වෙලා ඉවරයි. නමුත් අපේ බුද්ධි අංශ දන්නේ නැහැ

තවදුරටත් එය පැහැදිලි කරමින්, ''නිවැරදි විශ්ලේෂණ වාර්තා මොනවත් නැහැ. ඒ නිසා තමයි මම SIS ගෙන ඇහුවේ මොනවද නිලන්ත මම කරන්න ඕනේ කියලා. සර් IGට කියන්න මමත් කියල තියෙන්නේ කියලා නිලන්ත කිව්වා. මම ඒ දෙය කළා. තව දේවල නිලන්ත කිව්ව නම් මං එය ක්‍රියාත්මක කරවනවා. මම සිවිල් පුද්ගලයෙක් ස්වාමීනි. මං මිලිටරි පර්සන් කෙනෙක් නෙවෙයි'' යනුවෙන් පවසන ලදී. 

අනතුර කෙතරම් ආසන්නද,බරපතලද ප්‍රතිවිපාකවල හානිය කියන දේ සම්බන්ධයෙන් ඒ වන විටත් අවබෝධයක් තිබුණා නේදැයි යන්න අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දුන්  හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, ''රාජ්‍ය බුද්ධි අංශයට එවපු තොරතුර එවන්නෙත් විදෙස් බුද්ධි අංශයකින්. ඒ වෙනකොට සහරාන් හෝටල්වලට ඇවිල්ලා චෙකින් වෙලා ඉවරයි. නමුත් අපේ බුද්ධි අංශ දන්නේ නැහැ. බෝම්බ කොළඹට ගෙනාවේ කොහොමද කියලවත් දන්නේ නැහැ. ඒ නිසා තමයි SIS ට කලින් මේ ගැන කතා කරන්න තිබුණේ.''

අවම වශයෙන් අප්‍රේල් 04 වැනිදා තොරතුර දුන් තැනින්මයි 20 වැනිදාත් තොරතුර ලැබුණේ කියන කාරණයවත්  නිලන්ත ජයවර්ධන මහතා තමන්ට පැවසූයේ නැති බව හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන ලදී. 

ප්‍රහාරයෙන් පසු ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන්ද තමන් ජනාධිපතිවරයා සම්බන්ධ කරගනිමින් විමසූ අතර එහිදී ජනාධිපතිවරයා පැවසූයේ ''මම රෑ එනවනේ ආවහම බලමු'' යනුවෙන් පැවසූ බවත් ඊට මොහොතකට පසු ප්‍රවෘත්ති මඟින් ඇඳිරි නීතිය පනවා ඇති බව දැනගත් පසු ඒ ගැන පොලිස්පතිට කතා කර විමසූ බවයි හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

''පූජිත් මට දැන් ප්‍රසිඩන්ට් කිව්වනේ එයා එන නිසා ඇඳිරි නීතිය දාන්න ඕන නැහැ. ආවහම බලමු කියල. නැහැ සර් මට දැන් ප්‍රසිඩන්ට් කතා කරලා කිව්වා ඇඳිරි නීතිය දාන්න කියාලා.''යනුවෙන් පොලිස්පතිවරයා තමන්ට පැවසූ බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා සාක්ෂි ලබා දෙමින් පැවසුවේය.