ආනවිලුන්දාව ඩෝසර් කිරීම : අපි වාර්තා දීලා තියෙනවා, පොලිසිය අත්අඩංගුවට නොගෙන මඟහරිනවා - CEA

ආනවිලුන්දාව ඩෝසර් කිරීම : අපි වාර්තා දීලා තියෙනවා, පොලිසිය අත්අඩංගුවට නොගෙන මඟහරිනවා - CEA

22 September 2020 08:01 am

ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීම සම්බන්ධ සැකකරුවකු වන හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත් අඩංගුවට ගැනීමට අදාළව තම පාර්ශ්වයෙන් උපරිම සහයෝගය ලබාදී ඇතත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඔහුව අත් අඩංගුවට නොගෙන මඟහරිමින් සිටින බවට මධ්‍යම පරිසර අධිකාරිය චෝදනා කරයි.

"ආනවිළුන්දාව රක්ෂිතයේ තෙත් බිම් ව්‍යාපෘතියට අදාළව එවෙලේ හඳුනාගත් වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට පොලීසිය ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි අධිකරණයට ඉදිරිපත්කළ සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව තවමත් අත්අඩංගුවට ගත යුතු හිටපු සභාපතිගෙන් ප්‍රකාශ ලබාගැනීම තවමත් මඟහැරලා තියෙනවා පොලිසිය.

අපි පොලිසියෙන් ඉල්ලීමක් කළා පුළුවන් තරම් ඉක්මනට උපදෙස් දුන්නැයි කියන සභාපතිවරයාගෙනුත් ප්‍රකාශයක් අරගෙන රජයටත් දෙපාර්තමේන්තුවටත් ආරක්ෂක අමාත්‍යාංශයටත් දැනුම් දෙන්න කියලා. අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙනවා, හැබැයි ක්‍රියාත්මක වෙන්නෙ දැනට ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච සැකකරුවන් එක්ක විතරයි. අනෙක් අය තාම අත් අඩංගුවට අරගෙන නෑ. 

අපේ පැත්තෙන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වාර්තාව, අධිකරණයට යාම සඳහා වූ සහයෝගය, ඒ දෙපාර්තමේන්තුවට අදාළ සියලුම තොරතුරු අපි ලබාදීලා තියෙනවා. අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙනවා" යනුවෙනුයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ මහතා සඳහන් කළේ. 

මීට සම්බන්ධ සැකකරු ප්‍රබල අමාත්‍යවරයකුගේ සහෝදරයකුය යන්න සත්‍යයක්දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ එය සත්‍යයක්දැයි තමන් නොදන්නා බවත් එය සොයාගත යුතුව ඇත්තේ පොලිසිය විසින් බවත්ය. එහෙත් පොලිසිය එය තවමත් ඉටු කර නොමැති බවත් හුදෙක් තමන් ඊට සම්බන්ධ නොමැති බවට අදාළ අමාත්‍යවරයා කළ ප්‍රකාශයෙන් මෙරට ජනතාව සෑහීමකට පත් නොවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. 

සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (21) මධ්‍යම පරිසර අධිකාරිය විසින් කැඳවා තිබුණු මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN