සහරාන් අත්අඩංගුවට ගන්න බැරි වුණේ දේශපාලන බලපෑම් නිසා - හිටපු ආරක්ෂක ලේකම්ගේ ආන්දෝලනාත්මක සාක්ෂිය

සහරාන් අත්අඩංගුවට ගන්න බැරි වුණේ දේශපාලන බලපෑම් නිසා - හිටපු ආරක්ෂක ලේකම්ගේ ආන්දෝලනාත්මක සාක්ෂිය

20 September 2020 09:53 am

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිටුපස දේශපාලන බලපෑම් පැවති බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (19) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සිව් වන දිනට සාක්ෂි ලබා දෙමින් පැවසුවේය.

විශේෂයෙන් නැගෙනහිර ප්‍රදේශයේ දේශපාලඥයින් හැසිරුණ අකාරය හේතුවෙන් පොලීසියට කටයුතු කිරීමේදී විවිධ බාධා එල්ල වූ බවයි ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට නොහැකි වීම,අත්අඩංගුවට පත්වන තැනැත්තන් පොලීසියට පැමිණ පැහැරගෙන යාම යනාදී දේවල් සිදු වූ අතර එය ආරක්ෂක අමාත්‍යාංශයට හෝ නිලධාරීන්ට වැළැක්විය හැකි තත්ත්වයක් නොවුණ බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය සාක්ෂියේදී සඳහන් කළේ.

එය ජනාධිපතිතුමා,අගමැතිතුමා මට්ටමින් විසඳාගත යුතුව පැවති බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

විශේෂයෙන් නැගෙනහිර පළාත තුළ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලීසියට බාධා පැවති බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ.

ඒ අනුව සාක්ෂි මෙහෙයවනු ලැබූ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සක්ෂිකරුට ප්‍රශ්නයක් යොමුකරමින් පැවසුවේ සහරාන්ව අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ දේශපාලන බලපෑම් නිසාද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ මම යම්තාක් දුරකට එහෙම හිතනවා යනුවෙනි. ඒ වන විට සහාරාන් හෂීම් දේශපාලන පක්ෂයකින් මැතිවරණයකට පවා ඉදිරිපත්ව සිටි බව ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කරන ලදී.

මුස්ලිම් රැඩිකල් තරුණයින්ගේ ප්‍රශ්න ජනාධිපතිට කියද්දී ඔහු කිව්වේ ''මුස්ලිම් දේශපාලකයන් තරහ කරගන්න බැහැ ඔන්න ඕක හෙමිහිට බලමු'' කියල, යනුවෙන් ඔහු සාක්ෂි ලබා දුන්නේය.  

මේ අතර මුස්ලිම් තරුණයින් රැඩිකල් වීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබා දී තිබෙන වාර්තා  සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේදී අවධානය යොමුකරන විට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය පිළිබඳව  රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් නොදැක් වූ බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ මුස්ලිම් දේශපාලඥයින් සමඟ අර්බුදයකට යාමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් නොතිබුණු බවයි.

2019 මාර්තු 19 වැනිදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන පිරිස්  සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම පිළිබඳවද  අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළාය. එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ එම කාරණය සම්බන්ධයෙන්ද අවධානයට ලක් වූ බවයි.  

ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබා දී තිබෙන තොරතුරු සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී විසින් අවධානය යොමුකර තිබෙන අතර විශේෂයෙන් නැගෙනහිර පළාත තුළ අරාබිකරණය වැඩි වීමත් සමඟ එලෙස පුහුණුව ලබා පැමිණෙන අයගෙන් රටේ සංහිඳියාවට බාධාවක් ඇති බව පිළිබඳව වැටහීමක් පැවති බව හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන ලදී. ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී තිබේ.

නෛතික රාමුව ප්‍රමාණවත් වුවත් දේශපාලන ප්‍රශ්න තිබුණා

මෙලෙස ඉස්ලාම් අන්තවාදී සංවිධානවලින් පුහුණුව ලබා පැමිණෙන අය සම්බන්ධයෙන් ක්‍රියාත්මක  අවශ්‍ය නෛතික රාමුව ප්‍රමාණවත් වුවත් ඒ සඳහා දේශපාලන ප්‍රශ්න පැවති බව හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවේය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: මොනවද ඒ ප්‍රශ්න?

සාක්ෂිකරු : ජනාධිපතිතුමා එක්ක මම පෞද්ගලිකව කතා කළා ස්වාමීනි IS පුහුණුව ලබා පැමිණෙන අය සහ දේශකයන් ගැන. සමහර අයට වීසා අරන් තියෙන්නෙත් මෙහෙන්.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: ජනාධිපතිවරයා මොනවගේ ප්‍රතිචාරයක්ද ඔබට දැක්වූයේ?

සාක්ෂිකරු:මුස්ලිම් දේශපාලකයන් තරහ කරගන්න බැහැ ඔන්න ඕක හෙමිහිට බලමු කියල තමයි කිව්වේ.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: ඇයි කියලා ඇහුවේ නැද්ද?

සාක්ෂිකරු: විධායක ජනාධිපතිතුමාගෙන් මට ඔයිට වඩා අහන්න බැහැ.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:මේ වගේ කාරණයකට ඉබිගමනින් නෙවෙයි ඉතා ඉක්මණින් පියවර ගන්න ඕනේ කියල ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළේ නැද්ද?

සාක්ෂිකරු: අපි මේ වගේ දෙයක්  ආවම ආරක්ෂක මණ්ඩලයේ කතා කරනවා. මට පුද්ගලිකව කතා කරන්න බැහැ. කණ්ඩායමක් විසින් අපිව විරසක කරලා තිබුණේ.

රජයේ අතිරේක සොලිසිටර් ජනරලවරිය : අපි කියන්නේ කවුද හේමසිරි ප්‍රනාන්දු මහත්මයා?

සාක්ෂිකරු: ජනාධිපතිතුමා සහ මා අතර. ජනාධිපතිතුමා මා එක්ක තරහ වුණා. මම කොහොමත් හිටියේ ඉවත් වෙන්න. සහරාන්ට නිසා ඒක ඉක්මන් වුණා.

මෙහිදී කොමිසම විසින් සක්ෂිකරුගෙන් විමසා සිටියේ එම විරසක වීමට හේතුව කුමක්ද යන්නයි.

ඊට පිළිතුරු දුන්  හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ දෙශාපලකයන් පස් දෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් වැරදි දේවල් ජනාධිපතිවරයාට පවසා ඇති බවයි. මේ වන විට තමන්ට ජීවිත තර්ජනයක් පවතින බවද ඔහු  සඳහන් කළේය. 

එම විරසක වීමට හේතුව විවෘත කොමිසමේ ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ සාක්ෂිකරු ලිඛිත සටහනක් කොමිසම වෙත භාරදුන්නේය.

අන්තවාදී පුහුණුව ලබා එන්නන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නෛතික රාමුව සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න කිරීම ඇරඹුණු අතර නෛතික රාමුව ප්‍රමාණවත්භාවය සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් පැවසුවේ එවැනි තැනැත්තන් අත්අඩංගුවට ගැනීම කෙසේවෙතත් ප්‍රශ්න කිරීමට හැකි බවයි. රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරු අනුව එලෙස ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම නැතුව මේවා පාලනය කරන්න බැහැ. ත්‍රිවිධ හමුදාවත් මේ ගැන කතා කළා.

ඒ සම්බන්ධයෙන් එනම් නෛතික විශ්ලේෂණයක් කර අවශ්‍ය රෙකමදාරු ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පොලිස්පතිවරයා තමන්ට කතා කළාද යන්න මතකයක් නොමැති නමුත් ලිඛිත වාර්තාවක් එවා තිබුණු බව ද හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේය.

මට ආපු තොරතුර අල්මාරියේ දාලා මම අවුරුදු නිවාඩුවට ගියා නම් අන්න ඒක වැරදි - මම එහෙම කරලා නැහැ - අදාළ යොමුකිරිම කළා 

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: සහරාන්ගේ අනුගාමිකයින් කොතරම් දුරට අභිප්‍රේරණය වෙලාද කියලා ඔබ සොයා බැලුවාද?

සාක්ෂිකරු: ආරක්ෂක ලේකම් එය කරන්න ඕනේ කියල දෙයක් නැහැ ස්වාමීනි. ඊට අදාළ නිලධාරීන් ඉන්නවා. පොලීසිය,CID ය,SIS  වගේ.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: ඔබ තමයි විධායක නිලධාරියා,ඔබ තමයි අධීක්ෂණ නිලධාරියා,ඔබ තමයි ගැසට් පත්‍රයට අනුව අදාළ ආයතනවලට වගකිවයුත්තා. මෙම අවස්ථානුගත කරුණු යටතේ ඔවුන්ගෙන් කරුණු අරගෙන ඔබ දැනුවත් විය යුතුව තිබුණා නේද සහරාන් හෂිම්ගේ ක්‍රියාකාරකම්වලින් අනුගාමිකයින් අභිප්‍රේරණය වෙලාද කියලා ?

සාක්ෂිකරු: මට පිළිතුර විදිහට දෙන්න තියෙන්නේ ස්වාමීනි බැහැ කියලා. ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේ විශාල ආයතනයක්. එහි වැඩ වලින් බුද්ධි තොරතුරු කියන්නේ 10%කටත් අඩුයි. ඒ වෙනුවෙන්  පුහුණුවලත් නිලධාරීන් ඉන්නවා. ඒක ආරක්ෂක ලේකම්ට කරන්න බැහැ.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: ප්‍රනාන්දු මහත්මයා මම යෝජනා කරනවා ඔබට මම අහන ප්‍රශ්න මඟහැර යනවා කියලා?

 සාක්ෂිකරු: ප්‍රතික්ෂේප කරනවා ස්වාමීනි. මම හිතනවා මගේ රාජකාරීය මම හරියටම කළා කියල.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: නැවත මම යෝජනා කරනවා ඔබ මගේ ප්‍රශ්න මගහැර යනවා ?

සාක්ෂිකරු: මම ප්‍රතික්ෂේප කරනවා.මේ බුද්ධි තොරතුර හැර අනෙක් රාජකාරි මම හරියටම කරලා තියෙනවා. මේ කොමිසමට අවශ්‍ය නම් හිටපු ජනධිපති ලේකම්තුමාගෙන් වාර්තාවක් ගන්න පුළුවන් වෙයි.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:100ක් හරියට කරලා 1ක් වරද්දගත්තට පස්සේ ඒ හානිය ප්‍රතිපූරණය කරන්න පුලුවන්ද  හේමසිරි ප්‍රනාන්දු මහත්මයා?

සාක්ෂිකරු: මම මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම භාරගන්න සූදානම් නැහැ. මේ තොරතුරු ආවම ඒ ගැන වැදගත්කමක් තිබුණ නිසා තමයි ඒ ගැන ක්‍රියාකරන ආයතනය වන පොලීසියට යොමුකළේ. මට ලැබුණ තොරතුරු අල්මාරියට දාලා අවුරුදු නිවාඩුවට ගියානම් අන්න වැරදි. මගේ මාස පහමාරක කාලය තුළ  ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා මාව දැනුවත් කරලා නැහැ. මට වාර්තා ඇවිත් නැහැ. පාස්කු ප්‍රහාරයේ වගකීම මම  ප්‍රතික්ෂේප කරනවා.

සහරාන් ත්‍රස්තවාදියෙක් බවට බුද්ධි අංශ වාර්තා කරලා තිබුණේ නැහැ - ඔවුන් කිවේ අන්තවාදී දේශකයෙක් බව 

පාස්කු ප්‍රාහරය එල්ල වෙන තුරුම සහරාන් හෂීම් ත්‍රස්තවාදියෙකු බවට බුද්ධි අංශ වාර්තා කර නොතිබුණු අතර එම වාර්තා වල තිබුණේ සහරාන් අන්තවාදී දේශයෙකු බව යන්න හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේය. 

අප්‍රේල් 09 වැනිදා පැවති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස නිලන්ත ජයවර්ධන මහතා ඔහුට අප්‍රේල්  04 සහ 05 වැනිදා ලැබී තිබුණු තොරතුර සෙසු බුද්ධි අංශ සමඟ බෙදා ගැනීමේ කැමැත්තක් නොදැක්වූ අතර එම තොරතුර සම්බන්ධයෙන් තවදුරටත් සොයමින් පවතින බවද තමන්ගේ විමසීමට අනුව ඔහු  පැවසුවේ ඉතාම සෙමින් බව ද ප්‍රනාන්දු මහතා පැවසුවේය. 

ඒ අනුව එදා එම තොරතුර සෙසු  බුද්ධි පාර්ශවත් දැනගත්තා නම් තත්ත්වය මීට වෙනස් වීමට ඉඩ තිබුණා නේද යන්න දැන් ඔබට සිතෙන්නේ නැද්ද යන්න මෙහිදී කොමිසම විසින් හේමසිරි ප්‍රනාන්දු මහතාට ප්‍රශනයක් යොමු කරන ලදී.

''ඔව් මම එහෙම හිතනවා. නමුත් ඒ තොරතුර රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණ තොරතුරක්. විදෙස් බුධි සේවාවකින් එය දෙන්නේ. ඔවුන් මොනවා කිව්වද කියල අපි දන්නේ නැහැ. මම තොරතුර ආපු රටවත් දන්නේ නැහැ. එහෙම කියලා තිබුණා නම් එදා ඉන්දීය ආරක්ෂක ලේකම්තුමාත් හිටියේ ලංකාවේ. ඔහු සමඟ දවසම මම මීටින්වල හිටියා. මේ තොරතුර ආවේ ඉන්දියාවෙන් කියලා දැනගෙන හිටිය නම් ආරක්ෂක ලේකම්තුමාගේ කනට කරලා හරි ඒ ගැන මට අහන්න තිබුණා. 

අන්තවාදීන් ප්‍රචණ්ඩත්වයෙන් ත්‍රස්තවාදයට යන බවට මුලින්ම දැනුණේ TID යට 

තමන් වෙත ලද බුද්ධි වාර්තා බලන විට අන්තවාදීන් ත්‍රස්තවාදයට යන බව හැඟුණේ නැද්ද යන්න මෙහිදී කොමිසම විසින් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන්   ප්‍රශ්න කරන ලදී.

ඊට පිළිතුරු දුන්  හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ,''ස්වාමීනි අන්තවාදීන් ප්‍රචණ්ඩත්වය කරා යන බවට තොරතුරු ආවා. නමුත් ත්‍රස්තවාදයට යන බවට තොරතුරු අපිට ලැබිලා තිබුණේ නැහැ. ත්‍රස්ත විමර්ශන අංශයට තමයි මුලින්ම අදහස් ආවේ මේ අන්තවාදීන් අන්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් ත්‍රස්තවාදයට යන බවට.'' යනුවෙනි. 

සබැඳි පුවත්: නිලධාරීන් අමාරුවේ දමා ජාතික ආරක්ෂාව අර්බුදයට යැව්වේ හිටපු ජනාධිපති මෛත්‍රීද? හිටපු ආරක්ෂක ලේකම් එකින් එක කියයි

                  පාස්කු කොමිසම:රාජ්‍ය බුද්ධි සේවාව කළේ දේශපාලන ඔත්තු බලපු එක - හේමසිරි ප්‍රනාන්දු සාක්ෂි දෙමින් කියයි