නිලධාරීන් අමාරුවේ දමා ජාතික ආරක්ෂාව අර්බුදයට යැව්වේ හිටපු ජනාධිපති මෛත්‍රීද? හිටපු ආරක්ෂක ලේකම් එකින් එක කියයි

නිලධාරීන් අමාරුවේ දමා ජාතික ආරක්ෂාව අර්බුදයට යැව්වේ හිටපු ජනාධිපති මෛත්‍රීද? හිටපු ආරක්ෂක ලේකම් එකින් එක කියයි

18 September 2020 08:17 am

කිසිදු ආකාරයක ප්‍රහාරයක් සම්බන්ධයෙන් කුඩා හෝඩුවාවක් හෝ නොලැබුණු තත්ත්වයක විදෙස් බුද්ධි අංශයක් මඟින් රාජ්‍ය බුද්ධි සේවාවට ලැබී තිබුණ බුද්ධි තොරතුර ඉතා වැදගත් හෙයින් ඒ සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානියා මඟින් දැනගත් අවස්ථාවේ පසුවදා එනම් 2019 අප්‍රේල් 09 වැනිදා පැවති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා කතා කළ යුතු බවට තමන්ට හැඟී ගිය බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ දෙවන දිනට (17) සාක්ෂි දෙමින් පැවසුවේය.  

ඒ අනුව එම බුද්ධි තොරතුර සම්බන්ධයෙන් කතා කරන ලෙස එවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන මහතාව දැනුවත් කරන ලෙස තමන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස මහතා සමඟ පැවසූ බවයි හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ. 

එහෙත් 09 වැනිදා පැවති බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී නිලන්ත ජයවර්ධන මහතා විසින් ඒ සම්බන්ධයෙන් කතා නොකළ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කරන ලදී. 

කෙසේවෙතත් අප්‍රේල් 04 වැනිදා ලද තොරතුර නිශ්චිත බුද්ධි තොරතුරක් නොවන බව පැවසූ හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ එය අඩුපාඩු සහිත අසම්පූර්ණ බුද්ධි තොරතුරක් බවයි. 

තමන් එම තොරතුර නිශ්චිත බුද්ධි තොරතුරක් නොවන බව සඳහන් කරන්නේ කුමන පදනමකින්ද යන්න කොමිසම කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ නිශ්චිත බුද්ධි තොරතුරක් වීමට නම් ප්‍රහාරය එල්ලවන වේලාව,දිනය, නිශ්චිත ලෙසම ප්‍රහාරය  එල්ල කරන ආකාරය සම්බන්ධයෙන් නිවැරදි ලෙසම දැක්විය යුතු බවයි. 

තමන් එවැනි බුද්ධි තොරතුරු දැක තිබේදැයි කොමිසම් විසින් ප්‍රශ්නයක් නගන ලදී. එම අවස්ථාවේ හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි දෙමින් පැවසුවේ ''ඔව් ස්වාමීනි, මම දැකල තියෙනවා'' යනුවෙනි.   

තමන් නාවික හමුදාවේ සේවය කරන සමයේ කුච්චිවේලි නාවික හමුදා අනුඛණ්ඩයේ කඳවුරට LTTE ප්‍රහාරයක් එල්ල වෙන බවට අද ගහනවා යනුවෙන් නිශ්චිත ලෙසම තොරතුරු ලැබුණු බවයි. තමන් එම බුද්ධි සටහනද දුටු බවත් ඔහු සාක්ෂි දෙමින් පැවසුවේය. 

එම සටහන දැකීමෙන් පළමු වරට මරණ බිය දැනුණු බවද හේමසිරි ප්‍රනාන්දු මහතා  පවසන ලදී. 

ඒ අනුව එම තොරතුර හා අප්‍රේල් 04 වැනිදා ලද තොරතුර සසඳා බලන ලෙස පැවසූ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, අප්‍රේල් 4 වැනිදා ලද තොරතුර තුළද ප්‍රහාරය එල්ල කරන තැනැත්තන් 6 දෙනෙකුගේ නම්,ප්‍රහාරය එල්ල වන ස්ථාන ලෙස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ වැදගත් පල්ලි,ප්‍රහාරය එල්ලවිය හැකි ආකාර 4ක් සහ ප්‍රහාරය එල්ල වන කාලය Shortly ලෙස දක්වා තිබෙන අතර එය නිශ්චිත තොරතුරක් නොවන්නේ කෙසේද යන්නයි. 

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ 04 වැනිදා ලද තොරතුර නිශ්චිත තොරතුරක් නොවන බවයි.

කොළඹ ප්‍රදේශය තුළ පල්ලි පමණක් 1500ක් පමණ තිබෙන අතර ඒ සම්බන්ධ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශය සතුව නොතිබුණ බවත් පල්ලි සම්බන්ධ විස්තර තමන් සොයා ගත්තේ ප්‍රහාරයෙන් පසුව බවයි. 

එමෙන්ම එහි සඳහන්ව ඇත්තේ ප්‍රහාරයක් එල්ල වනවා නොව එල්ල විය හැකි බවට වන තොරතුරක් බවද ප්‍රනාන්දු මහතා කියාසිටියේය. 

කෙසේවෙතත් එය වැදගත් තොරතුරක් බවට තමන් හඳුනාගැනීම නිසා ඒ සම්බන්ධයෙන් සාකච්ජා කළාද යන්න කොමිසම විසින් හේමසිරි ප්‍රනාන්දු  මහතාගෙන් විමසන ලදී.

ඊට පිළිතුරු ලෙස, ''ඒ කොළ කෑල්ලේ තොරතුරු ඇරෙන්න වෙන විස්තරයක් අපි දන්නේ නැහැ. ඒ ගැන සොයන්න බලය දීලා තිබුණේ රාජ්‍ය බුධි සේවයට. ඔහු ඒක 09 වැනිදා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේ කතා කරන්න ඕනේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හමුදාපතිවරු තිදෙනා,යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේ සියලු දෙනා එතන හිටියා. ඒ අයටත් මේක දැනගන්න තිබුණා. රැස්වීම අවසාන මොහොතේ මම ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහත්මයාගේ අතේ තිබෙන කොළ දෙක දැකලා නිලන්තගෙන් ඇහුවා අරක දාන්නේ නැද්ද නිලන්ත කියලා. ඒ වෙලාවේ නිලන්ත කිව්වේ සර් මම වාර්තාවක් Draft කරලා තියෙන්නේ පොලිස්පතිතුමාට යවන්න. මගේ කණ්ඩායමක් යැව්වා රහසිගතව තොරතුරු බලන්න. අද රෑ තමයි ඔවුන් එන්නේ. මම සම්පූර්ණ වාර්තාවක් එවන්නම් කියල කිව්වා. මම ඒකෙන් සෑහීමකට පත් වුණා ස්වාමීනි. නිලන්ත කියන්නේ මාත් එක්ක සුහදව වැඩ කරපු අවුරුදු හතරක් විතර බුද්ධි තොරතුරු ගැන අත්දැකීම තිබෙන පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. ඒ නිසා වැඩිදුරටත් ඒ වෙලාවේ ඒ ගැන කතාකරන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ.'' යනුවෙන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 

මෙම තොරතුර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙත එම විදෙස් බුද්ධි අංශයකින් තොරතුර දන්වා තිබුණු අතර අප්‍රේල් 08 වැනිදා සිසිර මෙන්ඩිස් මහතා සහ ඔබ අතර ඇත්තටම සිදු වූ සාකච්ජාව පැහැදිලි කරන ලෙසද කොමිසම හේමසිරි ප්‍රනාන්දු  මහතාට පැවසුවේය. 

එහිදී ඔහු කියා සිටියේ 08 වැනිදා ඉන්දීය ආරක්ෂක ලේකම් ඇතුළු පිරිස පැමිණ සිටි හෙයින් ඉතා කාර්ය බහුල දිනයක් වුවත් සිසිර මෙන්ඩිස් මහතා තමන් හමු වී මේ ගැන කතා කළ අතර එය දුටු විට එය ඉතා වැදගත් තොරතුරක් බව තමන් වටහා ගත් හෙයින් පසුදා පැවැත්වෙන බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී නිලන්ත ජයවර්ධනට මේ ගැන කතා කරන්න කියමු යනුවෙන් තමන් පැවසූ බවයි. 

ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකට ඒ ගැන කතා කිරීමට බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී අවස්ථාව ලබා දුන්නාද යන්න කොමිසම පෙරළා ප්‍රශ්නයක් නගන ලදී.

''අවස්ථාව දුන්නා. නමුත් කතා කළේ නැහැ'' යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් පිළිතුරු දුන්නේය. 

කොමිසම: 08 වැනිදා මේ තොරතුර ගැන ඔබ දැනගන්න විට ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා සිටියේ ලංකාවේ. ඔබට හිතුණේ නැද්ද මේ වගේ බැරෑරුම් තොරතුරක් එද්දී ඉන්දීය ආරක්ෂක ලේකම් ලංකාවේ ඉන්න එක භයානක, අනතුරුදායක දෙයක් බවක් දැනුණේ නැද්ද?

සාක්ෂිකරු : නැහැ ස්වාමීනි. රාජ්‍ය බුද්ධි සේවය විශ්ලේෂණය කළ තොරතුරක් නොවෙයි දුන්නේ. විශ්ලේෂණය කරලා දුන්නොත් තමයි නිවැරදිව වැටහෙන්නේ. නිලන්තට තිබුණා මා එක්ක  කතා කරන්න. මේ බුද්ධි තොරතුර ආපු රටවත් මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නැහැ. 

කොමිසම : මේ තොරතුරේ තිබෙනවා Shortly කියලා. එහෙම තියෙද්දීත් මේක බැරෑරුම් තත්ත්වයක් කියලා ඔබේ කාර්ය බහුල තත්ත්වයත් එක්ක හිතුණේ නැද්ද? 

සාක්ෂිකරු: මේක විය හැකි ප්‍රහාරයක්. ඒ නිසා අවදානමක් තිබුණේ නැහැ. පහුවදා කතාකරන්න තීරණය කළේ ඒ නිසා. 

කෙසේවෙතත් අදාළ 09 වැනිදා බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී නිලන්ත ජයවර්ධන මහතාට කරුණු දැක්වීමට ලැබෙන අවස්ථාවේ ඔහු  විසින් විදෙස් බුද්ධි සේවාවකින් ඔහු වෙත ලැබී තිබුණ එම ප්‍රහාරයක අවදානම ගැන වූ තොරතුර සම්බන්ධයෙන් කතා නොකළ අතර රැස්වීම අවසානයේ එය කතා කිරීමට තමන් සිතා ගත් බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි දෙමින් ප්‍රකාශ කරන ලදී. 

එම තොරතුර වැදගත් තොරතුරක් බවට තමන් විසින් හඳුනාගෙන තිබියදීත් එය පස්සට දැමීම ගැන කොමිසම ප්‍රනාන්දු මහතාගේ අසා සිටි අතර එහිදී ඔහු පැවසුවේ ''බුද්ධි තොරතුරු හාරාඅවුස්සනවට බුද්ධි අංශ කැමති නැහැ. කොහොමත් මට ඒ වෙද්දී හමුදා බුද්ධි අංශ දෙකක් කියල තිබුණේ මෙහෙම කරන්න බැහැ. SIS එක අපි එක්ක තොරතුරු බෙදා ගන්නේ නැහැ කියල'' යනුවෙනි. 

''එවකට හමුදාපතිව සිටි මහේෂ් සේනානායක මහතා වරක් මා සමඟ පැවසුවා රාජ්‍ය බුද්ධි සේවය අපිට තොරතුරු දෙන්නේ නැහැ. අපිව බයිපාස් කරලා වැඩකරන්නේ කියලා. මම ඒ වෙලාවේ ඔහුට කිවේ කලබලවෙන්න එපා අපි ජනාධිපතිතුමා එක්ක කතා කරලා විසඳුමකට එමු කියලා''

කොමිසම: ජනාධිපතිතුමා එක්ක කතා කළාද?

සාක්ෂිකරු: නැහැ. බැරි වුණා. මම උත්සහ කළෙත් නැහැ. මොකද පිට අය විසින් ඇති කර තිබුණු ගැටළු නිසා ජනාධිපතිතුමා මා එක්ක කතාකරන්න කැමැත්තක් දැක්වූයේ නැහැ.

කොමිසම: බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදී  සහරාන් ගැන කතා කළේ නැද්ද?

සාක්ෂිකරු:සහරාන් ගැන කතා කළා. අන්තවාදියෙක් කියල කිව්වා. අන්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් ත්‍රස්තවාදයට යනවා කියලා කිව්වේ නැහැ.

මම එද්දිත් අගමැති ආරක්ෂක කවුන්සිලයට ආවේ නැහැ

තමන් ආරක්ෂක ලේකම් ධූරයට පත්වන විටත් අගමැතිවරයා සහ රාජ්‍ය ආරක්ෂක ඇමති ආරක්ෂක කවුන්සිලයට නොපැමිණි බව හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේය.  

ව්‍යවස්ථා අර්බුදයෙන් පසු නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් වූ අතර ඔහුව හෝ ආරක්ෂක මණ්ඩලයට කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කර නැත. 

ආරක්ෂක කවුන්සිලයේ සභාපති ලෙස එය පැවැත්වීම  මෙන්ම සහභාගී වන අය කවුරුන්ද යන්න තීරණය කරන්නේ ජනධිපතිවරයා වන අතර කෙසේවෙතත් ආරක්ෂක කවුන්සිලයට  සහභාගී විය යුතු නිත්‍ය සාමාජිකයින් කිහිප දෙනෙකුම ඊට පැමිණිම එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වළක්වා තිබේ. 

අළුත් අගමැතිව හෝ ආරක්ෂක කවුන්සිලයට කතා කරමු යනුවෙන් ආරක්ෂක ලේකම් ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාට පවසා ඇති අතර එවිට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිචාරය වී ඇත්තේ ''දැනට අවශ්‍ය නැහැ. පස්සේ බලමු'' යනුවෙනි. 

කොමිසම: ඔබ ඇහුවේ නැද්ද ඒ ගැන?

සාක්ෂිකරු: ඇහුවා. ජනාධිපතිතුමා මොනවත් කිව්වේ නැහැ. 

කොමිසම:මොකක්ද ඔබ වටහා  ගත්තේ?

සාක්ෂිකරු: මොනවත් වටහා ගත්තේ නැහැ ස්වාමීනි. විධායක ජනධිපතිතුමා මොනවහරි කිව්වම ලේකම් එය ක්‍රියාත්මක කරන එකයි වැඩේ. 

පොලිස්පති පූජිත් ජයසුන්දරත් ආරක්ෂක කවුන්සිලයෙන් එළියට දැම්මේ ජනාධිපති මෛත්‍රී 

එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද ආරක්ෂක කවුන්සිලයට පැමිණීම නතර කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. 

මේ සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි දෙමින් පැවසුවේ ආරක්ෂක කවුන්සිලයේ සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබුණේ තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කටයුතු කරමින් හිඳින බවත් ඒ අනුව පහුවදාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම මාරු කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කළ බවයි. 

එහෙත් පැවති ක්‍රමවේදයට අනුව පොලිස්පතිවරයාට එම ස්ථාන මාරු කිරීමට අවකාශ නොතිබුණද ජනාධිපතිවරයාගේ නියෝගයක් හේතුවෙන් එය සිදුකර ක්‍රමවේදයට අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පොලිස් කොමිසමට මේ සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් කර තිබූ බවද හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

පසුව ජනධිපතිවරයා තමන්ට දුරකතනයෙන් කතා කර  ''කාගෙන් අවසර අරන්ද නිශාන්ත සිල්වාව මාරු කළේ''  යනුවෙන් විමසූ බවත් එවිට තමන් කියා සිටියේ ''සර්නේ සර් කිව්වේ'' කියලා යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි දෙමින් පැවසුවේය. 

''මං එහෙම දෙයක් කිව්වේ නැහැ'' කියා ඉතා කෝපයෙන් දුරකථනය විසන්ධි කළ බවද ප්‍රනාන්දු මහතා සඳහන් කරන ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට කතා කළ ආකාරයට පොලිස්පතිවරයාටද කතා කර ඇති අතර පොලිස්පතිවරයාද තමන් දුන් පිළිතුරම දී ඇති බවත් එවිට සිරිසේන මහතා තමන්ට දැක් වූ ප්‍රතිචාරයම පොලිස්පතිවරයාටද දක්වා ඇති බව පසුකාලීනව තමන්ට ජයසුන්දර මහතා පැවසූ බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා කියාසිටියේය. 

ඒ අනුව එම හේතුව මුල්කරගනිමින් පොලිස්පතිවරය ආරක්ෂක කවුන්සිලයට පැමිණීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වළක්වා තිබේ. 

එහෙත් පොලීසිය පාර්ශවයෙන් ඉහළ නිලධාරියෙකු හෝ ආරක්ෂක කවුන්සිලයට පැමිණිය යුතු හෙයින් ඒ බව ජනධිපතිවරයාට දන්වා  තමන්ගේ දැනුවත් කිරීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ආරක්ෂක කවුන්සිලයට කැඳවූ  බවයි ප්‍රනාන්දු මහතා පැවසුවේ. 

කෙසේවෙතත් ආරක්ෂක කවුන්සිලය නිසි පරිදි සතිපතා පවත්වා නොමැති බවත් 2015 ට පෙර කාලයේ එය නිසි පරිදි පවත්වා ඇති බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවුවේය. 

දෙපාර්ශවය අතර තිබුණේ නයි පොළොන් වෛරයක් 

ව්‍යවස්ථා අර්බුදයෙන් පසු යළිත් වරක් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාලන තන්ත්‍රය භාරගත් අතර පසුව ජනවාරි 04 වැනිදා පැවති ආරක්ෂක කවුන්සිලයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එය දැනුම් දුන්නාද යන්න රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය නගන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ තමන් එසේ දැනුවත් නොකළ බවයි. 

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය: ඇයි ඒ?

සාක්ෂිකරු : කියලා වැඩක් නැහැ 

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය : පැහැදිලි කරන්න?

සාක්ෂිකරු: පසුව ඇති වුණ තත්ත්වය එක්ක මේ දෙපාර්ශවය අතර තිබුණේ නයි පොළොන් වෛරයක්. අපි මැදි වුණා මේකට. ඒ නිසා අපි කතා කළේ නැහැ ඒවා ගැන. ඒ ගැන මමත් ජනාධිපති ලේකම්තුමාත් දැනගෙන හිටියා. අර්බුද සමනය කරන්න ඕන නිසා රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාටත් අපි කතා කළේ නැහැ. අර්බුදයෙන් පසු ඇති වුණ අමිහිරි තත්ත්වය නිසා අපි කතා කළේ නැහැ.  

කොමිසම: අගමැතිට වගකීමක් තිබෙනවා ආරක්ෂක කවුන්සිලයට පැමිණෙන්න?

සාක්ෂිකරු: ඔව්,නමුත් ඔවුන් ආරාධනාවක් නැතිව පැමිණෙන්නේ නැහැ ස්වාමීනි.   

එමෙන්ම 2001 ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ සමයේදී පවා අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක කවුන්සිලයට පමිණ ඇති බව තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවසූ බවද මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරන ලදී.

ඊට පිළිතුරු ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ,'' ඒකට කමක් නැහැ මම මේකට එන්න දෙන්නේ නැහැ'' යනුවෙනි. 

කොමිසම: නමුත් ඔවුන්ට සහභාගී විය හැකි නේද?

සාක්ෂිකරු :අවශ්‍යයෙන්ම ඔව්. නමුත් ඔවුන් සහභාගී වුණේ නැහැ 

මේ අතර එම ආරක්ෂක මණ්ඩල රැස්වීමට එහි නිත්‍ය සාමාජිකයින් නොවන මන්ත්‍රීවරු 4 දෙනෙක් සහභාගී වූ අතර සාමාන්‍යයෙන් ඊට මන්ත්‍රීවරු සහාභාගී නොවන බවද  සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියේය. 

ඔවුන් කුමන පක්ෂයකද යන්න කොමිසම විසින් නගන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු බවයි. 

ඒ අනුව දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න,මහින්ද අමරවීර සහ තිලංහ සුමතිපාල යන මන්ත්‍රීවරු ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වී ඇත. 

ඔවුන් සාකච්ජා සඳහා සහාභාගී වුයේද යන්න කළ විමසීමට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ ''නැහැ'' යනුවෙනි. එම මන්ත්‍රීවරු කැඳවීමට හේතුව කුමක්ද යන්න හෝ ජනාධිපතිවරයා පවසා  නැති අතර ජනාධිපතිවරයාට දකුණු පසින් වූ අසුන්වල ඔවුන් සිටි බව පැවසූ හිටපු ආරක්ෂක ලේකම් පැවසුවේ ඔවුන් පැමිණෙන බව හෝ නොදැන සිටි බවයි. 

මේ අතර හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම්ව සිටි කාලය තුළ පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීම් 4 තුළ අන්තවාදී මුස්ලිම් කොටස් විශේෂයෙන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ පිබිදීම ගැන කතා කර තිබුණද ප්‍රහාරයක් සම්බන්ධයෙන් කතා කර නොමැති බවද ඔහු සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සාක්ෂි මෙහෙයවීම රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් සිදුකරනු ලබයි.

තුන්වන දිනටත් අද (18) හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් සාක්ෂි විමසීමට නියමිතය. 

( මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් දෙදෙනකු නිදහස් වීම දේශපාලඥ අසාද් සාලි මහතාගේ මැදිහත්වීමෙන් සිදු වූ බවට පළ වූ කාරණය සම්බන්ධයෙන්ද  ඊයේ දින හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන්  සාක්ෂි විමසීම සිදුවිය. ඒ සම්බන්ධ වාර්තාව බලාපොරොත්තු වන්න.)