ලංකා බැංකුවේ අභ්‍යන්තර අර්බුදය: සුදත්ව ගෙදර යවන්න හදන්නේ රසල් මහ බැංකු බැඳුම්කර වංචාවට හවුල් නිසාද?

ලංකා බැංකුවේ අභ්‍යන්තර අර්බුදය: සුදත්ව ගෙදර යවන්න හදන්නේ රසල් මහ බැංකු බැඳුම්කර වංචාවට හවුල් නිසාද?

2 September 2020 01:51 pm

ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව තුළ මේ වන විට හටගෙන තිබෙන පරිපාලනමය අර්බුදයන් සම්බන්ධයෙන් අපි පසුගිය 30 වැනි දින වාර්තාවක් ගෙන ආවෙමු. 

ලංකා බැංකුවේ නව සාමාන්‍යාධිකාරී ලෙස පසුගිය මාර්තු 05 වැනිදා වැඩභාර ගනු ලැබූ එම බැංකුවේම සේවය කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදත් ගුණසේකර මහතාට මේ වන තෙක් සිය නව පත්වීමට අදාළව ලිපිය මහ බැංකුව විසින් විවිධ හේතු පෙන්වමින් ප්‍රමාද කරමින් තිබෙන බව අපි එහිදී අවධාරණය කර සඳහන් කර තිබේ. 

එහෙයින් ඔහු තවදුරටත් වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරමින් හිඳියි.  

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා ඇතුළු කණ්ඩායමක් විසින් ලංකා බැංකුව තුළ පරිපාලන අර්බුදයක් නිර්මාණය කරමින් සුදත් ගුණසේකර මහතාට සිය රාජකාරී කටයුතු නිසිලෙස සිදුකිරීමට අවස්ථාව අහුරමින් සිටින බවද එම ලිපියෙන් පැහැදිලි කර ඇත. 

ඒ අනුව මෙම පරිපාලනමය ගැටුම රසල් ෆොන්සේකා කල්ලිය විසින් නිර්මාණය කර නඩත්තු කරමින් සිටින අතර ඊට බැංකු ක්‍රමවේදය පවා අවභාවිතා කරමින් සමස්ත සේවකයන් ද ඊට ඈදා ගැනීමට දැඩි උත්සාහයක තවදුරටත් නිරතවෙමින් සිටියි. 

ඊට මහ බැංකුවෙනද සහය ලැබෙමින් පවතින බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ. 

මෙම අර්බුදයට හේතු වී තිබෙන්නේ රසල් ෆොන්සේකාගේ මෙහෙයවීමෙන් බැංකුව තුළ සිදු වූ අක්‍රමිකතා වසා ගැනීමට බව තතු දන්නෝ පවසති. 

මෙහි ප්‍රධානම හේතුවක් ලෙස 2015 මහ බැංකු බැඳුම්කර වංචාවට ද එවකට ප්‍රධාන මුල්‍ය නිලධාරී ලෙස රසල් ෆොන්සේකා සම්බන්ධයක් පැවතීම හේතු වී තිබේ. 

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සඳහා අර්ජුන් ඇලෝසියස්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ වෙත රු.බිලියන 10ක් ලංකා බැංකුව විසින් නිදහස් කරන්නේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස රසල් ෆොන්සේකාය. 

එවකට භාණ්ඩාගාරයේ අනුදැනුම සහිතව ලංකා බැංකුව විසින් එම ණය මුදල නිදහස් කර තිබෙන්නේ ද කිසිදු වගකීමකින් නොවීම මෙහි බරපතලම වරදකි.

මෙතෙක් ඒ සම්බන්ධයෙන් ලංකා බැංකුව තුළ වගවිභාගයක් නොවුණද නිසි පටිපාටියට එරෙහිව යමින් රු. බිලියන 10ක්  නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සමාන්යධිකාරී ලෙස සුදත් ගුණසේකර මහතා විමර්ශනයක් කිරීමට සූදානමින් පසුවන හෙයින් එය කෙසේ හෝ වළක්වා ගැනීම රසල් ෆොන්සේකාගේ වෑයම වී ඇත. 

රසල් ෆොන්සේකාගේ එම විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවුවහොත් ඔහුගේ වස්ත්‍ර ඉබේම ගැලවී යන බව දන්නා හෙයින් කෙසේ හෝ සුදත් ගුණසේකර පාලනය කරගැනීම පරම අභිලාශය වී තිබෙන අතර ඒ අනුව සුදත් ගුණසේකරට කිසිදු බාධාවකින් තොරව සාමාන්‍යාධිකාරී තනතුරේ වාඩි වීමට ඇති ඉඩ අහුරමින් ඇති බව සඳහන්. 

නිල පත්වීම ප්‍රමාද කර බැංකුවේ කටයුතු අඩපණ වීමට සලස්වා සුදත් ගුණසේකර අසමත් බව පෙන්වීම රසල් ෆොන්සේකාගේ හා ෆොන්සේකා කල්ලියේ  වුවමනාවය. 

රසල් ෆොන්සේකාට දැන් අවශ්‍ය වී ඇත්තේ ලංකා බැංකුව ඈලීයාවට ගියත් තමන්ගේ විලි වසාගැනීමටය. 

මේ, රටේ ප්‍රධානම රාජ්‍ය බැංකුවක් පත්ව තිබෙන  ලැජ්ජා සහගත තත්ත්වයයි. මෙය මෙසේ සටහන් කර තබන්නේ තවදුරටත් රසල් ෆොන්සේකා වැනි අවස්ථාවාදී හා කල්ලිවාදී නිලධාරීන්ට අවස්ථාව ලබා දෙමින් සිටින වගකිවයුත්තන්ගේ දැන ගැනීම සඳහාමය.  

සබැඳි පුවත් :ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව කල්ලිවාදී උගුලක - CID විමර්ශනයක අවශ්‍යතාවත් මතුවෙයි