ශශීට හොර පාස්පෝට් හැදූ හිටපු ආගමන විගමන පාලක විමල්ගේ අමාත්‍යාංශ ලේකම් ධුරයට !

ශශීට හොර පාස්පෝට් හැදූ හිටපු ආගමන විගමන පාලක විමල්ගේ අමාත්‍යාංශ ලේකම් ධුරයට !

14 August 2020 09:39 am

විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට දැනුවත්වම එය නොසලකා ඇයට රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කළ බව අධිකරණය හමුවේ පිළිගත් එවකට ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතාව විමල් වීරවංශ මහතා යටතේ පවතින කර්මාන්ත අමාත්‍යාංශයෙහි නව ලේකම්වරයා වශයෙන් පත්කර තිබේ. 

මෙම සිද්ධිය පිළිබඳ නඩු විභාගය තවමත් අවසන්ව නොමැති අතර එහි සාක්ෂි කැඳවීමේදී චූලානන්ද පෙරේරා මහතා ප්‍රකාශ කර තිබුණේ ශෂී වීරවංශ මහත්මියගේ රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය ඉක්මනින් ලබාදෙන ලෙස විමල් වීරවංශ මහතා තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත් ඇයගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයෙහි සහ රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පතෙහි උපන් දිනයන් වෙනස් බව දැන දැනත් එය නොසලකා හැර තමන් විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කළ බවත්ය. 

තම රාජකාරිය අනුව එසේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතුව තිබුණත් තමන් මානුෂික හේතූන් මත එසේ නොකළ බව ද ඒ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි. 

ඒ අනුව තවමත් විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂිකරුවකු විත්තිකාරියගේ සැමියාගේ අමාත්‍යාංශ ලේකම් ලෙස පත්කෙරෙන්නේ ද කවර හෝ මානුෂික හේතුවක් මතදැයි අපට වැටහෙන්නේම නැත.