ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු උපසභාපති මාරුකර යැව්වේ පරිසරයේ කොරෝනා මර්දනයටද ?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු උපසභාපති මාරුකර යැව්වේ පරිසරයේ කොරෝනා මර්දනයටද ?

14 August 2020 06:32 am

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ප්‍රධානතම භූමිකාව ඉටු කළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව පරිසර අමාත්‍යාංශයේ ලේකම් තනතුර සඳහා පත්කර මාරුකර යවා තිබේ. 

ඒ මහතා 2020 පෙබරවාරි 06 වනදා සිට මාස කිහිපයක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි උප සභාපති තනතුරක් ද හෙබවූ අයෙකු වීම විශේෂත්වයකි. 

මෙරට කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ පසුව නිරෝධානය පනතට අනුව සෞඛ්‍ය සම්බන්ධ නිසි බලධාරියා වශයෙන් වගකීම දැරුවේ ද අනිල් ජාසිංහ මහතා විසිනි. මෙරට කොරෝනා මර්දනය සඳහා ක්‍රියාත්මක වුණු සමස්ත යාන්ත්‍රණය පිළිබඳ පියවරෙන් පියවරට සම්පූර්ණ දැනුම සහ අත්දැකීම් ඇත්තේ ද ඒ මහතාටය.

 

විවිධ දුෂ්කර තත්වයන් හමුවේ උදේ පාන්දර පටන් රූපවාහිනී නාලිකා සමඟ සම්බන්ධ වෙමින් කොරෝනා තත්වය පිළිබඳ ජනතාව දැනුවත් කළේත් ආණ්ඩුවට එල්ල වූ නොයෙකුත් විවේචනවලට ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දුන්නේත් සෞඛ්‍ය අංශ වෙතින් ම එල්ල වූ චෝදනා දරාගෙන ඒවාට ආණ්ඩුව වෙනුවෙන් කරුණු පැහැදිලි කළේත් මේ ජාසිංහ මහතාමය. 

ශ්‍රී ලංකාව කොරෝනාවලින් තොර රටක් වශයෙන් ද මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත. මීට දින 9කට පෙර මහමැතිවරණය පැවැත්වූයේ ද අමතර රුපියල් බිලියන ගණනක් වැය කර සැකසූ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන මධ්‍යයේය. ඒ, පැහැදිලිවම කොරෝනා ව්‍යාප්තියක යම් අනතුරක් තිබිය හැකි නිසාය. 

එසේ තිබියදී කොරෝනා මර්දනයෙහි ප්‍රධානතම භූමිකාව ඉටුකළ නිලධාරියාව පරිසර අමාත්‍යාංශයට මාරු කර යවන්නේ සමාජය තුළ කොරෝනා නොමැති නිසා පරිසරයේ කොරෝනා මර්දනය කරන්නදැයි යන ප්‍රශ්නය මතුව තිබේ.