අගමැති අනිද්දා දිවුරුම් දෙයි - කැබිනට් මණ්ඩලය 10 වැනිදා

අගමැති අනිද්දා දිවුරුම් දෙයි - කැබිනට් මණ්ඩලය 10 වැනිදා

7 August 2020 12:22 pm

පසුගිය 05 වැනිදා පැවති මහ මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා (09) නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර එය උත්සවාකාරයෙන් පැවැත්වීමට සූදානම්ව සිටී.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත් වන්නේ සිව්වැනි වරටයි. 2004 වසරේදී ඔහු පළමු වැනි වරට අගමැති ධුරයට පත් වූ අතර 2005 වසරේදී ජනාධිපති ධුරයට තේරී පත් විය. 2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණි අතර 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී ඔහු දෙවැනි වරට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. කෙසේ වෙතත් එම තනතුර මාස දෙකකට වඩා අඩු කාලයක් පැවති අතර ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය. 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා නැවතත් අගමැති තනතුරට පත්විය.

මහින්ද රාජපක්ෂ මහතා අනිද්දා දිවුරුම් දීමෙන් අනතුරුව නව රජයේ කැබිනට් මණ්ඩලය 10 වැනිදා දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ. බොහෝදුරට නව ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් විය හැකිය. පොදුජන පෙරමුණට මහ මැතිවරණයෙන් සෘජුම තුනෙන් දෙක බලයක් නොලැබුණු අතර එම පක්ෂයට සහයෝගය ලබාදෙන පක්ෂ කිහිපයක් සමග එක්ව තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව ලැබී තිබේ.

UN