Exclusive: SLTDA පුද්ගලික සමාගමකට නොමිලේ ඉඩමක් දීලා! - නීතිපතිවත් තුට්ටුවට දමන සභාපතිනියගේ පවුල් සංග්‍රහය තවදුරටත් කරළියට

Exclusive: SLTDA පුද්ගලික සමාගමකට නොමිලේ ඉඩමක් දීලා! - නීතිපතිවත් තුට්ටුවට දමන සභාපතිනියගේ පවුල් සංග්‍රහය තවදුරටත් කරළියට

21 July 2020 09:13 am

යාල පලටුපාන වනජීවී නිකේතන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පවතින‍ ඉඩමක් ඩිල්මා සමාගමට නොමිලේ ලබාදීමට සියල්ල සූදානම් කර තිබෙන බව අප වෙත වාර්තා වේ. පෙර සිටි SLTDA සහ SLTPB නිලධාරීන් විසින් මුල පුරා ඇති මෙම කාර්යය, දැන් නව ජවයකින් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ නව ආණ්ඩුව බලයට පැමිණි පසු එහි සභාපතිනිය ලෙස පත් කර තිබෙන්නේ ඩිල්මා Dilmah/M J F සමාගම් ජාලයේ සභාපති මෙරිල් ජේ. ෆ්‍රනෑන්ඩෝ ගේ බාල පුත්‍රයාගේ භාර්යාව වන කිමාලි ෆ්‍රනෑන්ඩෝ වන හෙයිනි. 

පසුගිය ආණ්ඩුව යටතේ පවා සංචාරක ඇමති ජෝන් අමරතුංගගේ ද කණින් රිංගා යමින් SLTDA සහ SLTPB මුල්පුටු සහ එහි සිටින ඉහළ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් මේ වන විට එම රාජ්‍ය දේපළ මංකොල්ල කෑම ජයටම සිදුවෙමින් පවතියි. 

මේ ජවනිකාව දිග හැරෙන්නේ  SLTDA විසින් 2019 ඔක්තෝබර් 4 වැනිදා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව මගින් අපූරු තීරණයක් ගැනීමත් සමග ය.  ඒ, දිවියන් පිළිබඳ පර්යේෂණය කිරීමේ මධ්‍යස්ථානයක් රූඩ් එකක් සහ පර්චස් 15.5 ක ඉඩමක පිහිටුවන්නට ය. ‘‘Leopard Research Centre‘‘ යනුවෙන් එයට නමක් ද යොදනු ලබයි. මෙම ඉඩම් කොටස පිහිටා තිබෙන්නේ  මේ වන විට SLTDA ට එරෙහිව නඩුවක් ද  පවරා තිබෙන ලංකා රියල්ටි ලෙෂර් (පුද්) සමාගම ට අයත් ඉඩමට යාබද ඉඩම (මෙය Dilmah Tea සමාගමට අයත් ය) ට යාබද ඉඩමේ ය. 

මෙම අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ SLTDA හි සංචාරක සැලසුම් හා සංවර්ධන අධ්‍යක්ෂවරයා වන ප්‍රසාද් ජයසූරිය විසිනි. ප්‍රසාද් ජයසූරිය ගේ සහ මෙවැනි වංචනික ක්‍රියාවන්ට උදව් කරන තවත් සගයෙකු වන පී.යූ. රත්නායකගේ වෘත්තීයභාවය පිළිබඳ හෙළි කිරීම මදකට පසෙක තබා දැන් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවේ අන්තර්ගතය වෙත හැරෙමු. 

මෙම සාකච්ඡාවේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙන්නේ යාල වනජීවී රක්ෂිතයේ මෙම සංචාරක ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් දැනටමත් හෝටල්කරුවන් සමග සාකච්ඡා කර ඇති බව ය. ඒ අනුව හෝටල්කරුවන් මෙම ව්‍යාපෘතිය කරගෙන යාමට එකඟ වී ඇති බව ය. (එම හෝටල්කරු/සමාගම කවුදැයි මෙහිදී හෙළි නොකරයි)

එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් දැනුම් දෙන්නේ, අධීක්ෂණ කටයුතුවලදී ‘කැබිනට් මණ්ඩලයේ අනුමැතිය‘ට භාජනය කළ යුතු බව සඳහන් වන්නේ වැරදීමකින් බවත් එනිසා එය ඉවත් කළ යුතු බවත් ය!

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය Leopard Research Centre ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය ලබාදෙයි!  

ඩිල්මා/මෙරිල් ජේ. පවුල ඩීල් එක පිටුපස

Dilmah/M J F සමාගම් ජාලයේ සභාපති මෙරිල් ජේ. ෆ්‍රනෑන්ඩෝ ගේ බාල පුත්‍රයා වන්නේ මලික් ෆ්‍රනෑන්ඩෝ ය. මලික් ෆ්‍රනෑන්ඩෝ ගිය ආණ්ඩුව සමයේ ද SLTPBA හෙවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ හි සිටි අධ්‍යක්ෂවරයෙකි. මෙම ආයතනය දැන් STTDA යටතේ පවතියි. 

පී.යූ රත්නායක නැමැත්තාට එරෙහිව ගොනුවී තිබූ විවිධ අක්‍රමිකතා චෝදනා හේතුවෙන් සංචාරක සංවර්ධන අධිකාරියට පැමිණීමට පවා තහනම් ව තිබූ අතර, ඔහුව නැවතත් මේ ආයතනය තුළට කැඳවාගෙන එන්නේ එහි සභාපතිනිය බවට පත් වූ කිමාලි ප්‍රනාන්දු විසිනි. 

නිසි අනුමැතීන්, වියදම් ඇස්තමේන්තු, ප්‍රතිෂ්ඨාවන්ගෙන් තොරවමෙම ඉඩම ඩිල්මා සමාගම් ජාලය වෙත ලීසිං (කල්බදු) ගිවිසුමකින් පවරා දෙන්නට කටයුතු කිරීමේ කොන්ත්‍රාත්තුව පිටුපස එකල මෙන්ම දැන් ද සභාතිනිය සමග එක්ව අපසහායකත්වයෙන් කටයුතු කරන්නේ ඔවුන් ය. 

වැරදිලා කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලුවාද?

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත යුතු බව කලින් කියා තිබුණේ වැරදීමකින්/දෝෂයකින් යැයි SLTDA පවසන්නේ විශේෂ හේතුවක් නිසා ය. ඒ, මෙම ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් ඒ වන විටත් ඔවුන්ට එසේ කරන ලෙස නීතිපති උපදෙස් ලැබී තිබෙන නිසා ය. එනම්, 2018 නොවැම්බර් 26 SLTDA විසින් මෙම කාරණය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති අතර, එයට 2019 ජනවාරි මාසයේ ඔවුන්ට නීතිපති උපදෙස් ලැබේ. එහිදී කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව, මෙම ගනුදෙනුව සිදුනොකළ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලිවම උපදෙස් දෙයි. එසේ තිබියදීත් 2019 ඔක්තෝබර් 4 දා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවකින් මෙයට කැබිනට් අනුමැතිය ලබාගැනීමට තමන් අපේක්ෂා නොකරන බව ඔවුහු අදහස් කරති.  

නීතිපතිගේ මතය විමසා - රිසි පරිදි කටයුතු කිරීම නොහොත් ‘නීතිපති ව තුට්ටුවකට මායිම් නොකිරීම‘

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසන්නේ 2018 නොවැම්බර් 26 වැනිදා ය. එම ලිපියට 2019 ජනවාරි මාසයේ ප්‍රතිචාර ලබාදෙමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම්, පහත වැදගත් කාරණා අවධාරණය කරයි. 

1.  කල්බදු ගිවිසුමේ සඳහන් ගිවිසුම්ගත අරමුණු අතර ‘ලෙපර්ඩ් රිසර්ච් සෙන්ටර් හොටෙල්‘ නමැති ‘‘හෝටලයක්‘‘ ඉදිකිරීම සඳහා ප්‍රශ්නගත ඉඩම ලබා දී ඇත.

2. එසේ ලබාදීමට නම්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වැනි අදාළ අධිකාරීන් විසින් එම ඉඩම පරීක්ෂා කර බැලිය යුතුව තිබේ. නමුත් මෙය ඉටුකර නැත.

3. තවද තාක්ෂණික සහ මූල්‍ය අංශ පිළිබඳ එම කල්බදු ගිවිසුමේදී කිසිවක් සඳහන් නොවේ. 

4. මෙම හෝටලය ඉදිකිරීම සඳහා ඉඩම ලබාදීමට පිහිටුවා ගත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින්නේ රජයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පමණි.

5. ඒ අනුව පුද්ගලික අංශයේ අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාව රජයේ අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාව ඉක්මවා යයි. 

6.  අධ්‍යක්ෂ මණ්ඩලයේ ආධිපත්‍යය හැමවිටම පුද්ගලික සමාගම් විසින් දරණ බව ද පැහැදිලි ය. එහි සභාපතිත්වය හැමවිටම නාමයෝජනා කරනු ලබන්නේ පුද්ගලික සමාගමක් විසිනි.

7. මේ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නොමිලේ (at zero cost) ඉඩමක් පුද්ගලික සමාගමකට ලබාදෙන හෙයින්  සිය ලීසිං ගිවිසුමේ වගන්ති නැවත සමාලෝචනයට ලක් කළ යුතුය. 

8. මෙම ගිවිසුම ක්‍රියාවට නැංවීමට පෙර කැබිනට් අනුමැතිය ලබාගත යුතුය. 

මේ අනුව SLTDA විසින් යාල පලටුපාන සංචාරක කලාපයට අයත් මෙම ඉඩම නොමිලේම ලබාදෙන්නේ නීතිපතිවරයාගේ මතය සැලකිල්ලට නොගනිමින් ඒ සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා සිටිමිනි. නමුත් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවල එසේ කැබිනට් අනුමැතිය ඉල්ලා සිටීම ‘දෝෂයකින්‘ සිදුවූවක් බව දක්වයි. මෙය අප වටහාගත යුත්තේ කෙසේද? ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය සිය ප්‍රථම රාජකාරිය බවට පත් කර ගත යුතු SLTDA, මේ රටේ වනජීවී සම්පත, තමන්ට විශේෂ සබඳතා තිබෙන පවුල් ඥාතීන් වෙතට ලබාදෙන්නට දිවා රෑ නැතිව කටයුතු කරන බව නොවේද?

එසේම මෙහිදී නීතිපතිවරයා විසින් පැහැදිලිවම සඳහන් කර තිබෙන්නේ ‘ලෙපර්ඩ් රිසර්ච් සෙන්ටර් යන නමින් හෝටලයක් ඉදිකිරීමට යෝජිත බව ය. තවද අධ්‍යක්ෂ මණ්ඩලයේ ආධිපත්‍යය පුද්ගලික අංශය විසින් තබාගැනීම පිළිබඳව ද ඔහු සිය අප්‍රසාදය පළ කරයි. එපමණක් නොව, මෙම ව්‍යාපෘතිය සඳහා කිසිදු නිසි අධිකාරියක අනුමැතිය ලබාගෙන නොමැති බව ද එම ලිපියෙන් අපට හෙළි වේ. 

වෙරළ සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ අධිකාරීන් හා දෙපාර්තමේන්තුවල අනුමැතිය පවා ලබා නොගෙන රුපියල් මිලියන ගණනක් වටිනා ඉඩමක් තමන්ගේ පවුලේ අයට නොමිලේ විකුණමින් SLTDA රටේ ජනතාවගේ මහජන මුදල් සමග මේ කෙළින සූදුව කුමක්ද?  

දිවියන් නරඹන ගල !

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ මේ වන විට දිසා අධිකරණය ඉදිරියේ SLTDA ට එරෙහිව නඩු පවරා තිබෙන ලංකා රියල්ටි ලෙෂර් (පුද්) සමාගම (Lanka Realty Leisure (Pvt.) Ltd)ට අයත් මැදින් මෙම ඉඩම් කොටසට යා යුතු යුතු වීමයි. අප මේ බව විශේෂයෙන් සඳහන් කරන්නේ SLTDA විසින් Lanka Realty Leisure සමාගමට අයත් ඉඩම නීතිවිරෝධී ලෙස නැවත පවරාගැනීමට කටයුතු කිරීම සහ, මෙම දිවියන් නැරඹුම් ඉඩම අතර සුවිශේෂී සම්බන්ධයක් තිබෙන බව පැහැදිලිවම පෙනී යන නිසා ය. එනම්, ලංකා රියල්ටි ලෙෂර් සමාගමට අයත් ඉඩම (නීතිවිරෝධී ලෙස හෝ) නැවත පවරාගතහොත් ඔවුන්ට ‘දිවියන් නැරඹීම‘ පහසු වනු ඇත! 

පහත රූපසටහනෙන් දක්වා තිබෙන්නේ මෙම ඉඩම් කට්ටි 3 පිහිටා ඇති ආකාරයයි. 

මලික් ෆ්‍රනෑන්ඩෝ ජෝන් අමරතුංගටත් කොකා පෙන්නයි!

මලික් ෆ්‍රනෑන්ඩෝ එවකට සංචාරක අමාත්‍යවරයා වූ ජෝන් අමරතුංග හට කොකා පෙන්වන්නේ, එම අමාත්‍යවරයාගෙන් අනුග්‍රහය ලබමින් ‘මීළඟ ආණ්ඩුවෙන්‘ ද වරදාන වරප්‍රසාද ගැනීම සඳහා තිබූ සිය අරමුණ පුවත්පත් ලිපියක් මගින් හෙළිකිරීම නිසා ය. 

එහිදී 2019 ඔක්තෝබර් 6 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ‘බිස්නස් ටයිම්ස්‘ හි පළවූ ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ජෝන් අමරතුංග අමාත්‍යවරයා විසින් ඔහු වෙත යවන ලද ලිපිය පහත දක්වමු. 

එහිදී TPB හෙවත් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් තමන් විසින් THASL හි අනුමැතිය මත මලික් ෆ්‍රනෑන්ඩෝ ව පත් කිරීම පිළිබඳව අදහස් දක්වන අමාත්‍යවරයා මලික්ගේ දෙබිඩි පිළිවෙත දැඩි සේ හෙළා දකියි. ‘‘ඊළඟ ආණ්ඩුව ආවිට... TPB සම්පූර්ණයෙන්ම විසුරුවා හැර එයට විශේෂඥයන් ගෙන එන බවත් ප්‍රවර්ධන කටයුතු කාර්යක්ෂම කරන බවත් මලික් පවසන්නේ නියම දේශපාලන දෙපිටකාට්ටු බවක් පෙන්නුම් කරමිනි. එහිදී අමාත්‍ය ජෝන් අමරතුංග, අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ඔහු සිය සාමූහික වගකීම අතපසු කර කටයුතු කිරීම සම්බන්ධයෙන් දෝෂාරෝපණය කරයි.

 

එයට පිළිතුරු ලිපියක් යවමින් මලික් ෆනෑන්ඩෝ අවධාරණය කරන්නේ තමන් ලියූ කරුණු අදාළ ලිපිය ලියූ මාධ්‍ය වේදිනිය විසින් විකෘති කර ඇති බව ය. 

එයට නැවත පිළිතුරු ලිපියක් යවන ජෝන් අමරතුංග අමාත්‍යරවරයා, සෙසු කරුණු අතර සඳහන් කරන්නේ එසේ නම් ඔහු කළ යුතුව තිබුණේ එම නිවැරදි කිරීම පුවත්පත වෙත යැවිය යුතු බවයි! ‘‘ඔබ ජාතික අභිලාෂයෙන් මෙවැනි දේකට ක්‍රියා කළ යුතුව තිබුණා. නමුත් ඔබට තිබෙන්නේ පුද්ගලික අරමුණු බව තේරුම් ගන්නට අපට කාලයක් ගත වුණා..‘‘ යැයි අමාත්‍යවරයා සිය දෙවැනි ලිපියේ සඳහන් කරයි. 

මලික් ෆ්‍රනෑන්ඩෝ , යෝජිත Leopard Research Centre සඳහා  රූඩ් 1 ක් සහ පර්චස් 15.5 ක ඉඩම ලබාගැනීමට යන Dilmah Tea සමාගමේ ද අධ්‍යක්ෂවරයෙකු බව ද එම ලිපියෙන් හෙළි වේ.   

ඩිල්මා සමාගම වෙනුවෙන් මහජන මුදල් අයථා ලෙස යෙදවූයේ කවුද?

අප විසින් සිදුකළ විමර්ශනවලදී මේ සම්බන්ධයෙන් නම් දෙකක් කරළියට ආවේය. එනම් ප්‍රසාද් ජයසූරිය, පී.යූ. රත්නායක යන නම් දෙක ය. මෙහි ඇති උත්ප්‍රාසයට කාරණය වන්නේ ආණ්ඩු මාරු වුණත්, මුල් පුටු මාරු වුණත් මේ දෙපළ ලේ උරා බොන කූඩැල්ලන් මෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය තුළ අවශ්‍ය පරිදි පිනුම් ගසමින් සිටින බවයි. ප්‍රසාද් ජයසූරිය මේ වන විටත් SLTDA අධ්‍යක්ෂවරයෙක් වන අතර, යූ.පී. රත්නායක SLTPB හි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ය. ඔහුව SLTPB න් ඉවත් කරනු ලැබුවේ අක්‍රමිකතාවක් හේතුවෙන් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව ය. මේ දෙදෙනාම මෙරිල් ජේ. ෆ්‍රනෑන්ඩෝගේ බාල පුත්‍රයා වන මලික් ජේ ෆ්‍රනෑන්ඩෝගේ ගජ මිතුරන් ය. 

SLTDA විසින් යාල පලටුපාන සංචාරක නිකේතන ව්‍යාපෘතියක් බවට පත් කිරීම සම්බන්ධයෙන් අපගේ කිසිදු විරෝධයක් නොමැත. නමුත් ලංකාවේ අසීරුවෙන් ජීවත් වන සංචාරක මගපෙන්වන්නන්ට ලබාදෙන රු. 10,000 දීමනාව පවා ලබාදීම අසීරු තත්වයකට තමන් පත්ව සිටින බව පෙන්වන, දැන් SLTDA යටතේ පවතින  SLTPB, නොමිලේම මිලියන ගණනක් වටිනා ඉඩමක් ඩිල්මා සමාගම වෙත ලබාදීමට සැරසෙයි. 

ඡායාරූපයේ වම් පස සිට මලික් ජේ. ෆ්‍රනෑන්ඩෝ, වත්මන් සභාපතිනී කිමාලි, මෙරිල් ජේ. ෆ්‍රනෑන්ඩෝ 

පොදු දේපළ මංකොල්ල කන, මහජන මුදල් අයථා ලෙස භාවිතා කරන SLTDA වැනි ආයතන පවතින තාක්කල්, පුරවැසියන් මෙවැනි අක්‍රමිකතාවලට එරෙහි නොවනතාක් කල්, ලංකාවට දියුණුවක් නම් නැත.

පෙර ලිපි - 

Exclusive: අලුත් සභාපතිනියගේ පවුල් සංග්‍රහය නිසා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) එරෙහිව වාරණ ආඥාවක්

Update : සංචාරක සංවර්ධන අධිකාරියේ අලුත් සභාපතිනිය වෙනුවෙන් පෞද්ගලික නීතීඥයෙක් පෙනී සිටියි!