මහජන බැංකු සභාපති සිය ප්‍රතිරූපය නංවන්න බැංකුවේ මුදල් මිලියන ගණනක් වෙන්කර ගන්න යයි

මහජන බැංකු සභාපති සිය ප්‍රතිරූපය නංවන්න බැංකුවේ මුදල් මිලියන ගණනක් වෙන්කර ගන්න යයි

14 July 2020 04:30 pm

 
මහ මැතිවරණය ආසන්න වීම නිසා මේ දිනවල දේශපාලනඥයන්ට අමතරව තවත් පිරිසක් අතිශය කාර්යබහුල වී තිබේ. ඒ රාජ්‍ය ආයතන සඳහා පත්කර සිටින ආයතන ප්‍රධානීන්ය. මැතිවරණයෙන් පසුව රාජ්‍ය ආයතන සඳහා අලුතෙන් ආයතන ප්‍රධානීන් සහ අධ්‍යක්ෂක මණ්ඩල පත් කිරීම සිදු කරන අතර මේ වනවිට ඔවුන් සිය පුටු ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ මෙහෙයුම් දියත් කරමින් සිටී.
 
මැතිවරණයෙන් පසුව ඇතැම් ආයතන ප්‍රධානීන්ගේ තනතුරට ගැලවී යාමටද ඉඩ තිබේ.
 
ඇතැම් ආයතන ප්‍රධානීන් තමන් සිටින තැනින් පියවරක් හෝ ඉදිරියට තැබීම සඳහා ද මෙහෙයුම් දියත් කර තිබේ. මේ අතර ඉදිරියෙන්ම සිටින්නේ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාය.
 
ඔහු අගෝස්තු 05 වැනිදායින් පසු පත්වන ආණ්ඩුවේ භාණ්ඩාගාර ලේකම් තනතුර අපේක්ෂාවෙන් සිටී. එය ලබාගත නොහැකි වුවහොත් අවම තරමින් මහ බැංකුවේ අධිපති තනතුර හෝ ලබා ගැනීම ඔහුගේ අපේක්ෂාව වී ඇති බවයි මහජන බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.
 
භාණ්ඩාගාර ලේකම් හෙවත් මුදල් අමාත්‍යංශ ලේකම් තනතුර ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිත අතර මහ බැංකු අධිපති තනතුරටද වත්මන් අධිපතිවරයා නැවත පත් නොවීමට බොහෝදුරට ඉඩ තිබේ.
 
සුජීව රාජපක්ෂ මහතා විසින් මේ වනවිටත් සිය අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති අතර අවධානය යොමු කළයුතු කරුණ වන්නේ ඔහු ඒ සඳහා මහජන බැංකුව සතු මුදල් භාවිතා කිරීමට සූදානම් වීමයි. සුජීව රාජපක්ෂ මහතා සිය ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර එම වැඩපිළිවෙල වක්‍රාකාරයෙන් බැංකුවේ ප්‍රචාරණ කටයුතු හරහාම සිදු කිරීම ඔහුගේ අරමුණ වේ.
 
ඊට අදාල මුදල් වෙන් කරන්නැයි සභාපතිවරයා මේ වනවිටත් මහජන බැංකුවේ වෙළඳ හා ප්‍රචාරණ අංශය වෙත නියෝග කර තිබේ.
 
මේ සම්බන්ධයෙන්, ලංකා බැංකු සංගමය ඇතුළු මහජන බැංකුවේ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති දැඩි විරෝධය පළකර තිබේ. වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ සභාපතිවරයාගේ ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා මහජන බැංකුව සතු මුදල් භාවිතා කිරීමට කිසිසේත්ම ඉඩ නොතබන බවයි.